පිළිගන්නවාද මේවා ඉවතලන ප්ලාස්ටික් | දිනමිණ

පිළිගන්නවාද මේවා ඉවතලන ප්ලාස්ටික්

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමට මට්ටක්කුලියේ කාක දූපතේ හා කල්පිටියේ නාවික හමුදා කඳවුරු දෙකේ විශේෂ අංශ දෙකක් ස්ථාපිත කළා. ඒ කඳවුරු දෙක හරහා සැලකිය යුතු ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කර ගැන්මට හැකි වුණා.

රී ලංකාවට පමණක් නොව ලෝකයටම ප්ලාස්ටික් අප ද්‍රව්‍ය විශාල ගැටලුවක් වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ. ප්ලාස්ටික් අප ද්‍රව්‍ය ටොන් මිලියන ගණනාවක් මේ වන විට දිනකට ලෝකයේ ගොඩ ගැසෙන බවටද වාර්තා පළ‍වෙනවා.

වර්ග සැතපුම් 25332ක් පමණ වන ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ගොඩ ගැසීමේ ශීඝ්‍රතාවයද ඉතා ඉහළ තත්ත්වයක පවතිනවා. ඔබ විශ්වාස කරනවාද වසරකට ප්ලාස්ටික් ටොන් මිලියන 8ක් අපේ රටේ එකතු වන බව. එයින්ද 70%ක් පමණ මුහුදට එකතු වන බව මේ වන විට නාවික හමුදාවෙන් හෙළි කරගෙන තිබෙනවා.

මේ තත්ත්වයට විසඳුමක් ලෙසින් ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය අවම කර ගැනීමට ජනතාවට කොතරම් දැනුම් දුන්නත් ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය දිනෙන් දිනම වැඩිවීම හැරෙන්නට අඩුවීමක් දක්නට තිබුණේ නැහැ.

රාජ්‍ය මට්ටමින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට උත්සාහ කළද එම කාර්යය අවම තත්ත්වයකට පත් වුණේ සැහැල්ලු බව මෙන්ම පරිහරණයේදී උපරිම ආරක්ෂාවද ප්ලාස්ටික් භාවිතයේදී තිබූ හෙයින්.

උදාහණයක් ලෙසින් වීදුරු බෝතල් භාවිතයට වඩා බරින් අඩු වීම මෙන්ම බිඳීම් අවම මට්ටමකට ප්ලාස්ටික් බෝතල් පැවතීම නිසා ප්ලාස්ටික් බෝතල් සඳහා වන ඉල්ලුම ඉහළ ගිය අතර සිලි සිලි මලු භාවිතයද කඩදාසි බෑග්වලට වඩා ඉහළ ඉල්ලුමකට පත් වුවත් ඒවා භාවිතය බහුල වීම නිසා ඩෙංගු වසංගතයටද එය මහත් පිටිවහලක් වුණා.

ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය අවම කිරීමට ජනතාව දැනුවත් කිරීමෙන් මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් සොයා ගැනීමට නොහැකි වූ හෙයින් ඒ කාර්යයට ස්ථිරසාර විසඳුමක් ලබා දෙන්නට නාවික හමුදාව මුල් තැනක් ගත්තා.

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ක්‍රමවේදය වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදේශකත්වයෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් පියල් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබුවා.

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමට මට්ටක්කුලියේ කාක දූපතේ හා කල්පිටියේ නාවික හමුදා කඳවුරු දෙකේ විශේෂ අංශ දෙකක් ස්ථාපිත කළා. ඒ කඳවුරු දෙක හරහා සැලකිය යුතු ලෙසින් ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රතිචක්‍රීකරණය කර ගැන්මට හැකි වුණා.

මේ සම්බන්ධව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් පියල් සිල්වා මහතාගෙන් කරුණු විමසුවා. නාවික හමුදාව මේ කාර්යයට දායක වෙන්නට තීරණය කෙළේ වෙරළ සංරක්ෂණයට නිරතුරුවම දායක වන ආයතනයක් නිසා බවත් ඒ මහතා පෙන්වා දුන්නා.

පසුගියදා උස්වැටකෙයියාව ආශ්‍රිත වෙරළ තීරයේ සිදු වූ තෙල් කාන්දුවේදීද දින ගණනාවක් පුරා වෙහෙසී එම තෙල් ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කෙළේ වෙරළ හා මුහුද හා සම්බන්ධිත සංරක්ෂණ කටයුතු නාවික හමුදාව විසින් සිදු කරනු ලබන නිසයි .

‘ප්ලාස්ටික් වගේම සිලි සිලි මලු නිසා පරිසරයට හානි වනවා පමණක් නෙමෙයි ඒවා ජලය ගසා බහින කානුවල මෙන්ම ගලිවල සිරවීම නිසා සුළු වැස්සකදී පවා ගංවතුර තත්ත්වයක් ඇති වෙනවා. අපි භාවිතා කරන ප්ලාස්ටික් අප ද්‍රව්‍ය කුඩා දිය පහර දිගේ ගංගාවලට ඇදී යනවා. ඒ හරහා මුහුදට ඇදී යනවා. ප්ලාස්ටික් මුහුදට ඇදී යන එක හොඳ දෙයක් නෙමෙයි. ඒ තුළින් සාගර සම්පත වැනසෙනවා. මුහුද හා සම්බන්ධිත රාජකාරි කරනු ලබන අපට ඒ ගැන ලොකු කැක්කුමක් ඇති වූ නිසා මේ ආකාරයෙන් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයට පියවර ගත්තා.මේ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය හරහා අපට යම් ආදායමක් උපයා ගන්නට පුළුවන්. ඒ ආදායමත් අප වෙන් කරන්නේ මේ පරිසර සංරක්ෂණ කටයුතු සඳහායි.’

කාක දූපතේ ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රතිචක්‍රීකරණ ඒකකයට ගිය අපට දැක ගන්නට ලැබුණේ සුළු ශ්‍රම දායකත්වයකින් විශාල සේවාවක් සිදු කරනු ලබන බවයි.

හිස් ප්ලාස්ටික් ‍බෝතල් මෙන්ම විවිධාකාර ප්ලාස්ටික් අප ද්‍රව්‍ය එහි ගොඩ ගසා තිබුණා. මේ අප ද්‍රව්‍යවලින් පිරිසිදු තත්ත්වයේ පවතින ප්ලාස්ටික් වර්ග පෞද්ගලික ආයතන වෙත කිලෝ එකක් රුපියල් 25ක් බැගින් අලෙවි කරනු ලබනවා. එසේම ඉතාම අපවිත්‍ර තත්ත්වයේ පවතින ජරා ජීර්ණ වූ තැලී පොඩි වී මඩ තැන් පත් වූ ප්ලාස්ටික් අප ද්‍රව්‍ය හා පොලිතින් යන්ත්‍රානුසාරයෙන් කුඩා කැබලි බවට පත් කර ඒවා පසුව විශාල බඳුනකට බහා භාවිතයට ගෙන ඉවත දමන තෙල් සමඟ මිශ්‍ර කර උණු කර ගන්නා මිශ්‍රණයෙන් විවිධ අච්චු භාවිත කරමින් නිර්මාණ සාදා ගැනීමට මේ වන විට කටයුතු කර තිබෙනවා.’

කිසිදු ආකාරයක ප්ලාස්ටික් යැයි සිතිය නොහැකි මේ නිර්මාණ අතර කිලෝ 35ක පමණ බරින් යුත් සිංහ නිර්මාණ, පුන්කළස් ඇතුළු කලාත්මක නිර්මාණ මෙන්ම මල් පෝච්චිද අඩංගු වනවා.

සාමාන්‍යයෙන් වෙළෙඳ පොළේ රුපියල් 8500ක් පමණ මිලකින් යුක්ත වන මේ රූප සඳහා නාවික හමුදාවට නිෂ්පාදන වියදම වන්නේ රුපියල් 500ක් පමණ මුදලක් පමණයි. එහෙත් මේ වන තුරු මේ නිෂ්පාදන අලෙවි කිරීමට ‍කටයුතු යොදා නැහැ. ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබා ගත යුතු බවද රියර් අද්මිරාල්වරයා පවසනවා.

‘අපි ප්ලාස්ටික් මිලදී ගෙන මේ නිර්මාණ තැනීමට යන වියදමයි අප සඳහන් කෙළේ. නමුත් අපි බොහෝ විට ප්ලාස්ටික් හා පොලිතින් නොමිලේම වෙරළේදී ලබා ගන්නවා. උදෑසන ‍වෙරළාසන්නයට ට්‍රැක්ටරයකින් නාවික සෙබළුන් රැගෙන ගොස් දැමූ විට විනාඩි 45ක පමණ කාලයකදී කිලෝමීටරයක් දෙකක පමණ ප්‍රදේශයක තිබෙන සියලුම පොලිතින් හා ප්ලාස්ටික් ඉවත් කර දෙන්නට ඔවුන් සමත් වෙනවා. අප බොහෝ විට ප්‍රතිචක්‍රීකරණයට ගන්නේ එසේ සොයා ගක් ප්ලාස්ටික් හා පොලිතින්. මේ නිසා නිෂ්පාදන සඳහා අපට වැය වන්නේ ඉතාම සුළු මුදලක් පමණයි. ඒ සඳහා උණු කිරීමට ගන්නේත් ආහාර බැද ඉවත ලන කළු තෙල් මෙන් වර්ණ ගැන්වී ඇති දැවි තෙල්. ඒ වගේම ඒ සඳහා ඉන්ධන ලෙස යොදා ගන්නේ මුහුදේ පාවී එන දැව කොට පොල් අතු වගේ දේවල්. අපට හොඳ දාහක උඳුනක් තිබෙනවානම් මීට වඩා කාර්යක්ෂමව මේ කාර්යය කරන්න පුළුවන් වේවි’

මේ වන විට බොහෝ ජනතාවද ප්ලාස්ටික් අප වෙත ලබා දෙන්නට කටයුතු කරමින් ඉන්නේ. ඒ අයට කිලෝ එකක් සඳහා රුපියල් 20ක් අප විසින් ලබා දෙනවා. අප මිල දී ගන්නා ප්ලාස්ටික් රුපියල් 25 බැගින් අලෙවි කරනවා. එම ප්ලාස්ටික් මිල දී ගන්නා සමාගමක් ඒවා බුරුසු සෑදීමට ගන්නා කෙඳි නිෂ්පාදනය කර ඇමරිකාවට යවනවා. ඒකත් රටක් වශයෙන් අපට ලැබෙන ආදායමක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ආදායමක් ලැබෙන නිසා මහජනතාවත් මේ වන විට ප්ලාස්ටික් එකතු කරන්න පුරුදු වෙලා ඉන්නෙ. නමුත් මේ ක්‍රමවේදය නාවික හමුදාවට දිගින් දිගටම කළ හැකි විශේෂ ව්‍යාපෘතියක් නෙමෙයි. එම නිසා ඉදිරියේදී මේ ක්‍රමය ප්‍රාදේශීය සභා හා නගර සභා වෙත හඳුන්වා දෙන්නයි අදහස් කර ඇත්තේ. ’

රියර් අද්මිරාල්වරයා එසේ පවසන්නේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය මෙන්ම ‍ප්ලාස්ටික් පොලිතින් ගෙනවිත් නාවික හමුදා කඳවුරු වෙත පැමිණීම ජනතාවට මෙන්ම ආරක්ෂක අංශවලටද යම් අපහසුතාවක් ඇති ‍වන නිසා විය යුතුය.

කෙසේ වුවත් දැන් ප්ලාස්ටික් හා පොලිතින් ඉවක් බවක් නැතිව විසි කළ යුතු නොවේ. ප්ලාස්ටික් දිරා යාම ආරම්භ වීමටත් වසර 200ක් පමණ ගත වන බව විද්‍යාඥයෝ පෙන්වා දී තිබෙනවා. අප ප්ලාස්ටික් පරිසරයට විසි කරනවා යනු වසර 200ක්ම ඒ ප්ලාස්ටික් කැබැල්ල ඒ ලෙසින්ම පරිසරයේ හානිදායක ලෙසින් පවතිනවා යන්නයි. එසේ නම් දැන් ආදායම් මාර්ගයක් සහිතවම ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රතිචක්‍රීකරණයට පාර සැකසී ඇත.

දැන් ප්‍රාදේශීය සභා හා නගරසභා සභාපතිවරුන් ක්‍රියාත්මක විය යුතු කාලයයි. වහාම මේ තාක්ෂණය ක්‍රමවේදය හරහා තම බල ප්‍රදේශවල එකතු වන ප්ලාස්ටික් හා පොලිතින් මුදල් කර ගැනීමට කටයුතු කිරීම වැදගත් වනවා. අවම වශයෙන් ආදායම් මාර්ගයක් ලෙසින් හෝ ඇස් ඇර මේ ක්‍රියාදාමයට එළඹීම පමා කළහොත් තවත් වසර කිහිපයකින් අපට කනගාටුදායක ඉරණමකට මුහුණ පාන්නට සිදුවන බව නම් ඒකාන්ත බව අමතක නොකර මතක තබා ගැනීම වැදගත් වනවා!

තාරක වික්‍රමසේකර
සේයාරූ - විපුල අමරසිංහ


නව අදහස දක්වන්න