උතුරත් දකුණත් විරුද්ධයි | දිනමිණ

උතුරත් දකුණත් විරුද්ධයි

රජීව් ගාන්ධි මහතාට ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාව

මඟ හැරුණු මිනිසා 80

“බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුවේ ‘මධ්‍යස්ථවාදී’ ස්ථාවරය ගැන ඉන්දියන් ආණ්ඩුව සතුටෙන් හිටියා. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලනය යටතේ විදේශීය නැව්වලට ත්‍රිකුණාමලයට ඇතුළු වෙන්නට දමා තිබුණු තහනම ඉවත් කළා. ඒ එක්කම එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව එක්සත් ජනපදයට විවේක සහ විනෝද පහසුකම් සපයන්නට ගිවිසුමකුත් අත්සන් කළා.

අවස්ථා තිබියදීත්, අවස්ථා තමන් වෙත එද්දීත් ලයනල් බෝපගේ ඒවායින් ගෞරවාන්විතව ඈත්විය. එහෙත් බෝපගේ ‍ගේ සමකාලීන මෙන්ම පසුකාලීන ජනතා විමුක්ති පෙරමුණේ සමහරු ඉතාමත් කැමැත්තෙන් වරදාන සහ වරප්‍රසාද හඹා ගියහ. එකම දේශපාලන ගර්භාශයකින් බිහි වී වෙනස් ස්ථාවර වෙත ගමන් ගත් අයත් තමාත් අතර වෙනස බෝපගේ අවබෝධ කරගන්නේ වෙනස් ආකාරයකිනි.

“අප සමඟ ජනතා විමුක්ති පෙරමුණේ ඉදල වරදානවල අවනතව නොයෙක් තනතුරු වරප්‍රසාද බුහුමන්වලින් ආත්ම පවා විනාශ කර ගත් බොහෝ දෙනෙක් ගැන කල්පනා කරන විට මට හි‍තෙන්‍‍නේ එවැනි තත්ත්වයන්ට යට නොවීම මට ජනතා විමුක්ති පෙරමුණෙන් ම ලැබූ පන්නරයක් නොවන බව. වරදානයන්ට හිස නමා අසාධාරණය ආරක්ෂා කරන්නට නොපෙළඹීමේ ගති ලක්ෂණය මට මගේ තාත්තාගෙන් මෙන්ම මගේම වූ වාමාංශික දේශපාලන ආභාෂවලින් උරුම වුණු සහජ දේශපාලන ලක්ෂණයක් විය යුතුයි ජනතා විමුක්ති පෙරමුණේ අනෙකුත් පැරණි කේඩරයින් මෙන් වරදානයන්ට අවනත නොවිය යුතු බව මම හැම විටම පාහේ කල්පනා කළා.”

1980 දශකයේ මැද භාගයේ සිටම ශ්‍රී ලංකාව යුද්ධ පිළිබඳ පෙළ පොතක් බඳු වූ බව බෝපගේ ගේ අදහසයි. උතුරේ සහ නැගෙනහිර අවි ගැටුම් උග්‍ර විය. දකුණේ රජයේ හමුදා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර තවත් යුද්ධයක් හට ගැනුණි. 1987 ජුලි ඉන්දු ලංකා සාම ගිවිසුමත් සමඟ ඉන්දීය සාම සාධක හමුදාව පැමිණීමත් ඒ ගිවිසුම අනුව පළාත්වලට බලය බෙදන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් මීට බලපෑවේ ය.

1983 දෙමළ ජනතාවට එරෙහිව කරන ලද කෝලාහලය ස්ථිරව ම ඉන්දීය රජයට ශ්‍රී ලංකාව තුළ මැදිහත් වීමට අත්‍යවශ්‍ය මග විවර කළේය. එම කෝලාහලයේ ප්‍රතිඵලයක් වශයෙන් ලක්ෂයකට අධික දෙමළ සරණාගතයෝ පෝක් සමුද්‍ර සන්ධිය හරහා තමිල්නාඩුවට පලා ගියහ. මානුෂීය අර්බුදය පසෙක තිබිය දී තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුවේ සහ තමිල්නාඩු පුරවැසියන්ගේ කෝපයට මුහුණ දෙන්නට ඉන්දීය රජයට සිදු විය. ඉන්දියා‍වේ භූමිකාව තහවුරු කර ගන්නටත් කරුණු සොයා බැලීම සඳහාත් ඉන්දිරා ගාන්ධි අගමැතිනිය ඇගේ ආණ්ඩුවේ විදේශ ඇමැති පී. වී. නරසිම්හ රාඕ මහතා ලංකාවට එවන ලදි. පසු කලෙක එනම් 1991 සිට 1996 දක්වා ඉන්දියාවේ නමවන අගමැතිවරයා වූ‍යේද ඔහුය.

1987 වන විට තුන්වැනි ලෝකයේ අනෙකුත් බොහෝ රටවලට මෙන්ම ඉන්දියාවට ද එක්සත් ජනපදය සහ සෝවියට් සමූහාණ්ඩුව යන ප්‍රධාන සුපිරි බලවතුන් දෙදෙනා නිරත වන ක්‍රීඩාවේ ඉත්තෙක් බවට පත් වන්නට සිදු විය. මේ වනාහි සීතල යුද සමය විය. පකිස්තානය ඒ වන විටත් එක්සත් ජනපදය සහ චීනය සමඟ හමුදා, උපක්‍රමික සහ ආර්ථික ගිවිසුම් අත්සන් කොට තිබුණි. ඊට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව සෝවියට් සමූහාණ්ඩුව සමඟ ගිවිසුමක් අත්සන් කළේය. මේ දේශපාලනය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම අතිශයින් වැදගත් වුණි. සිතියමක් දෙස බැලීමෙන් ඊට හේතුව සරළව වටහා ගත හැකියැයි බෝපගේ කියයි.

“ඈත පෙරදිග තෙල් ප්‍රවාහන මාර්ගය වැටී තියෙන්නේ ශ්‍රී ලංකාව අසලින්. ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයෙන් පස්සෙ ඇන්ටාක්ටිකාව දක්වා සැලකිය යුතු ගොඩ බිමක් හමු වෙන්නේ නැහැ. අපේ රටේ නැගෙනහිර වෙරළ තීරයේ ඇති ත්‍රිකුණාමලය ලෝකයේ හොඳම ස්වාභාවික වරායන් ගෙන් එකක්. ඒ වරායෙ ගුවන් යානා ප්‍රවාහක නෞකා, න්‍යෂ්ටික සබ්මැරීන වැනි ප්‍රහාරක යාත්‍රා නතර කර තබන්න පුළුවන්. ඒ නිසා ඉන්දියාවේ දෘෂ්ටි කෝණයෙන් ගත්තම ඉන්දියාවේ ඕනෑ එපා කම්වලට හතුරු වන කිසිදු බලවේගයක් ඒ ප්‍රදේශයට ඇතුළු නොවන්නට වග බලා ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක්.

“බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුවේ ‘මධ්‍යස්ථවාදී’ ස්ථාවරය ගැන ඉන්දියන් ආණ්ඩුව සතුටෙන් හිටියා. ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලනය යටතේ විදේශීය නැව්වලට ත්‍රිකුණාමලයට ඇතුළු වෙන්නට දමා තිබුණු තහනම ඉවත් කළා. ඒ එක්කම එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව එක්සත් ජනපදයට විවේක සහ විනෝද පහසුකම් සපයන්නට ගිවිසුමකුත් අත්සන් කළා. ඇමෙරිකාව ත්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි සංවර්ධනය කරන්න ටෙන්ඩර ගණනාවකුත් ඉදිරිපත් කළා.”

“1983 දී ඇමරිකන් හඬ සම්ප්‍රේෂක ගිවිසුම අලුත් කළාම කාරණා උත්සන්න තත්ත්වයකට පත් වුණා . මේ සම්ප්‍රේෂකයෙන් ඉන්දියාවේ සියලුම වැදගත් සන්නිවේදන අධීක්ෂණය කරන්නට පුළුවන් වෙන බවට ඉන්දියාව චෝදනා කළා. 1983 ජූලි කෝලාහලයෙන් පසුව ආණ්ඩුව ජාත්‍යන්තර උදව් ඉල්ලුවා ම ඒක දිල්ලියට කරපු අනතුරු ඇඟවීමක් ලෙසයි ඉන්දියාව දැක්කේ. එක්සත් ජනපදයෙනුත් ඊශ්‍රායලයෙනුත් රහසේ උදව් ගන්නා බවට චෝදනා එල්ල වුණා. චීනය ලංකාවට ආයුධ වික්කා. පාකිස්තානය දිවයිනේ උසස් හමුදා භට කණ්ඩායම් පුහුණු කරන්න උදව් කළා. අන්න ඒ විදියට දැනුණු දේශපාලන අස්ථාවරභාවයත් දරුණු අතට හැරෙමින් තිබුණු සිවිල් යුද්ධයත් යන වාතාවරණය තුළ තමයි ඉන්දියාව මැදිහත් වු‍ණේ.

“කිහිප සැරයක් කරන්නට හදල වැරදුණාත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, එල්ටීටීඊ සංවිධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ විරෝධයත් නොසලකා ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කළා. මේ ගිවිසුම දිහා බැලුවම එයින් ශ්‍රී ලංකාවේ ඒකීය බවත් ස්වෛරී බවත් භෞමික අඛණ්ඩතාවයත් පිළිගෙන තියෙන බව පැහැදිලි වෙනවා. අනෙක් අතට ලංකාවේ සමාජයේ ඇති බහු වාර්ගික, බහු භාෂාමය, බහු ආගමික ස්වභාවය ලංකාණ්ඩුව පිළිගෙන තිබෙනවා.”

“වඩාත් අසුබ වු‍ණේ එල්.ටී.ටී.ඊ. සංවිධානයත් එහි නායකයාත් මුල ඉඳළම ගිවිසුමට විරුද්ධ වුණ එක. එල්.ටී.ටී.ඊ. සංවිධානය ඉන්දු - ලංකා ගිවිසුම පිළිගත්තේ ඉන්දීය රජය බලහත්කාරය පාවිච්චි කළ නිසයි. එල්ටීටීඊ සංවිධානය ඔවුන්ගේ ආධාරකරුවන්ට සිදු වන්නේ මොකක්ද කියල බලා සිටින ලෙස උපදෙස් දුන්නා.දෙමළ ජනතාව ගේ හෝ ඔවුන්ගේ නියෝජිතයන්ගේ අදහස් විමසන්නේ නැතිව ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් හදිසියේ ම තීන්දු කරල ලහි ලහියේ ගිවිසුමකට එළැඹුණ බවට ඔවුන් නිවේදනයක් නිකුත් කළා .

“මේ ගිවිසුම ඍජුව ම ඔවුන්ගේ ව්‍යාපාරවලටත්, ඔවුන්ගේ දේශපාලන අරමුණු සහ පරමාර්ථ වලටත් කෙළින්ම බල පාන බව එල්.ටී.ටී.ඊ. නායකයා කිව්වා. ඔහුගේ වචනවලින් කියා තිබු‍ණේ ‘එය (ගිවිසුම) අපේ අරගලයේ හැඩ රුවට බලපෑම් කරනවා. එය අපේ සන්නද්ධ අරගලයට නැවතීමේ තිතක් ද තියනවා.’ කියල. ඔහු තවදුරටත් කිව්වා ‘මේ ගිවිසුම අපට කාලය දෙන්නෙ නැතිව, අපේ සටන්කරුවන්ගේ කැමැත්ත ගන්නෙ නැතිව, අපේ ජනතාවගෙ ආරක්ෂාවත් රැකවරණයත් ගැන සහතිකයක් දෙන්නෙ නැතිව අපව හදිසියේ ම නිරායුධ කරනවා. ඒ නිසා අපි අපේ ආයුධ බාර දෙන එක ප්‍රතික්ෂේප කළා’ කියලා. ‘දෙමළ ඊළාම් ජනතාවට ස්ථිර විසඳුමක් දෙන්න පුළුවන් වෙන්නේ වෙන් වූ දෙමළ ඊළාම් රාජ්‍යයකින් පමණක්ය යන පැහැදිලි මතය මම සැලීමකින් තොරව විශ්වාස කරනවා. තමිල් ඊළාම් සාක්ෂාත් කර ගැනීමේ අරමුණ ඉටු කර ගන්නා තුරු මම සටන දිගටම කරගෙන යන බව කිසිම සැකයකින් තොරව මට ඔබට පැහැදිලි කරන්නට ඉඩ දෙන්න.’ කියලා ප්‍රභාකරන් තමන්ගේ ප්‍රකාශනයෙන් ඉල්ලුවා.

“ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කරන්න ඉන්දීය අගමැති රජීව් ගාන්ධි 1987 ජුලි 29 වන දා ලංකාවට ආවා. හමුදා ආචාර පෙළපාළියක් නිරීක්ෂණය කරමින් ඉන්දෙද් දී නාවික භටයෙක් තම රයිෆල් බඳෙන් ඔහුට පහර දෙන්නට උත්සාහ කිරීම සැලකිය යුතු කාරණයක්. ඒ නාවික භටයාගේ නම විජයමුණි රෝහණ ද සිල්වා. මේ ගිවිසුමට උතුරේ ප්‍රධාන දෙමළ සන්නද්ධ කණ්ඩායම වුණු එල්.ටී.ටී.ඊ. සංවිධානය විරුද්ධ වුණා. ඒ වගේම දකුණේ ජනතා විමුක්ති පෙරමුණත් ගිවිසුමට විරුද්ධ වුණා. නමුත් ඒ විරෝධයන් පදනම් වෙලා තිබුණේ මුළුමණින් වෙනස් පදනම් දෙකකින්. ඒවා අතර තිබුණේ පුදුම සහගත අසමාන තත්ත්වයක්. එල්.ටී.ටී.ඊ. සංවිධානය ඊට විරුද්ධ වු‍ණේ තමිල් ඊළාම් වෙනම රාජ්‍යය බිහි වෙන එක මෙම ගිවිසුම මගින් වැළැක්වූවා යන පදනමින්. ජනතා විමුක්ති පෙරමුණ ඒ ගිවිසුමට විරුද්ධ වෙන්නේ ගිවිසුම මගින් තමිල් ඊළාම් වෙනම රාජ්‍යය බිහි කරනවා යන පදනමින්. එකම ගිවිසුමකින් මේ එකට එකක් පටහැණි අරමුණු දෙකක් ඉෂ්ඨ වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරන්න කාටවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. එල්.ටී.ටී.ඊ. සංවිධානය උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට එක කතාවක් කිව්වා. ජනතා විමුක්ති පෙරමුණ දකුණේ සිංහල ජනතාවට ඊට මුළුමණින්ම පටහැනි කතාවක් කිව්වා.

“මේ කාලෙ මම හෙවිෆැබ් ආයතනයේ සේවයෙන් ඉවත් වෙලා සර්වෝදය ආර්ථික ව්‍යවසාය සංවර්ධන සේවා (SEEDS) ආයතනයේ සේවයට ගිහින්. මම ජනතා විමුක්ති පෙරමුණේ සිටිය දී ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සමඟ ගොඩනඟා තිබුණ පක්ෂය විසින් දැනුවත්ව පවත්වාගෙන ගිය සම්බන්ධකම් මත ඒ කාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වූ, 2013 පමණ කාලයේ ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා වූ පසුව එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ නිත්‍ය ඉන්දීය නියෝජිත ෂ්‍රී නිරූපම් සෙන් මහතා මා වැඩ කළ සේවා ස්ථානය සොයා ගෙන මට මේ ඇතිවෙලා තිබුණ තත්ත්වය ගැන සාකච්ඡා කරන්නට ආරාධනා කළා. ජනතා විමුක්ති පෙරමුණ ඉන්දු - ලංකා ගිවිසුමට විරුද්ධ වෙන්නේ මොන පදනමකින් ද යන්න තේරුම් ගන්නට ඔවුන්ට ඕන වුණා. ඒත්, ඒ වෙනකොට මට ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ඒ ගැන පිළිතුරු දෙන්නට දැනුමක්, හැකියාවක් හෝ අයිතියක් තිබුණේ නැහැ. නමුත් ඉන්දු - ලංකා ගිවිසුම තමිල් ඊළාම් රාජ්‍යයක් බිහි කරන්නට පදනම බිහි කරනවා කියා ජනතා විමුක්ති පෙරමුණ නඟන තර්කය මම පිළිගන්නෙ නැති බව ඔහුට පැහැදිලි කළා.”

සිසිර යාපා

සඳුදා රෝහණ විජේවීරගේ ඊළාම් ප්‍රශ්නයට වැරදි විසඳුම

නව අදහස දක්වන්න