ශ්‍රී ලාංකිකයකු මිලාන්හිදී අත්අඩංගුවට | දිනමිණ

ශ්‍රී ලාංකිකයකු මිලාන්හිදී අත්අඩංගුවට

දිනමිණ ඊයේ (20) පත්‍රයේ පළවූ පුද්ගල ජාවාරම් චෝදනා මත මිලාන් නුවරදී ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ පුවතට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය මෙසේය.

යෞවනයන් සිවු දෙනකු නීති විරෝධීව ඉතාලියට රැගෙන ඒමට උත්සාහ කළේය යන චෝදනාව මත රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකිකයකු මිලාන් නුවර මල්පෙන්සා ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බවට පළවූ ඉතාලි මාධ්‍ය වාර්තාවලින් අනතුරුව එහි සත්‍ය අසත්‍යබව තහවුරු කරගැනීම පිණිස විදේශ කටයුතු අමාත්‍යාංශය වහාම විමර්ශනයක් ආරම්භ කළේය.

ඒ අනුව, මිලාන් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා මුණගැසී ඇති අතර ඔහුගේ අනන්‍යතාව තහවුරු කොටගෙන තිබේ.

අත්අඩංගුවට පත් මේ පුද්ගලයා වර්තමානයේදී කිසිදු ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලයක හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හෝ සේවය නොකරන බව තහවුරු වී තිබේ. අදාළ පුද්ගලයා සතුව වලංගු රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් නොමැති අතර, ශ්‍රී ලංකාවේ රජයේ ආයතනයක සේවයේ නියුතු වීම පදනම් කරගෙන ඔහු වෙත නිකුත් කර ඇති නිල විදේශ ගමන් බලපත්‍රයක් මගින් මේ පුද්ගලයා ඉතාලිය බලා පිටත්ව ගොස් ඇත.

මේ පුද්ගලයා කොන්ත්‍රාත් පදනම මත 2012 – 2015 යන කාලය තුළ විදේශ රටක රාජ්‍ය තාන්ත්‍රික තනතුරක් දරා ඇති බවද කොන්ත්‍රාත් කාලය අවසානයේදී අවලංගු කරන ලද රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් මොහු සතුව තිබී ඇති බවද තහවුරු කරගෙන ඇත.

නව අදහස දක්වන්න