සම්බන්ධන්ට ඇහුම්කන්දීම! | දිනමිණ

සම්බන්ධන්ට ඇහුම්කන්දීම!

විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහත්තයා සිංහලෙන් කතා කරන්නේ කලාතුරෙකින් ය. එහෙත් එතුමාට හොඳින් සිංහල භාෂාව හැසිරවීමේ හැකියාව තිබේ. අද අපගේ අවධානයට ලක්වන්නේ සම්බන්ධන් මහත්තයා සිංහලෙන් කතා කරමින් පළකළ වටිනා අදහසක් වෙතට ය. ජනාධිපතිවරයා ද සහභාගි වූ රැස්වීමක දී ඒ මහතා ඉතා පැහැදිලි සිංහලෙන් කියා සිටියේ රට නොබෙදා බලය පමණක් බෙදමින් රටේ සාමය හා සමෘද්ධිය ගොඩනැඟීමේ අවස්ථාවක් දැන් උදා වී ඇති බව ය. එම වැඩපිළිවෙළ සාර්ථක කර ගත හැකි නායකයකු දැන් සිටින බව ද සම්බන්ධන් මහතා පෙන්වා දෙයි.

මේ අතර ලෝකය සාමය හා සංහිඳියාව දෙසට යෑම සඳහා දරන වෑයම ද අපගේ අවධානයට ලක්වීම වැදගත් ය. දකුණු කොරියා නායකයා උතුරු කොරියාවේ සංචාරයක යෙදෙමින් එහි ඓතිහාසික ස්ථාන නැරඹීය. මේ සංචාරය පසුපස ඇත්තේ දෙරටේ මානුෂීය සබඳතා පිළිබඳ කතාන්දරයකි. පාකිස්ථානයේ නව අගමැතිවරයා ඉන්දීය අගමැතිවරයා වෙත හසුනක් යවමින් කියා ඇත්තේ බිඳවැටුණු සාකච්ඡා යළි ආරම්භ කරමු යන්නය. මේ ලිපිය ඉන්දීය අගමැතිවරයා අතට පත්වන්නේ කාශ්මීරයේ වෙඩි හුවමාරු සිදුවන අතරය. ගැටුම් පවතින අතර ම සාමය පිළිබඳ ප්‍රයත්න ක්‍රියාත්මක විය යුතු බව ඉහත ලිපිය අපට සනාථ කරයි.

සම්බන්ධන් මහතාගේ කතාව දෙස දෘෂ්ටිකෝණ දෙකකින් බලන්නට පුළුවන. එක දෘෂ්ටිකෝණයක් වන්නේ සාමය යි. අනෙක් දෘෂ්ටි කෝණය වන්නේ සංවර්ධනය හෙවත් සමෘද්ධිය යි. මේ දෙක එකිනෙකට සම්බන්ධ ය. සාමය නැතිව සංවර්ධනයක් ළඟාකරගත නො හැකි ය. අනෙක් අතට සංවර්ධනයක් නැති තැන සාමය අල්ලා සිටින්නේ නැත. වසර තිහක් යුද්ධය සඳහා වැය කළ සම්පත් රටේ දියුණුව සඳහා යොදාගත්තේ නම්; ආසියාවේ දියුණු ම රාජ්‍යය ශ්‍රී ලංකාව වීමට ඉඩ තිබිණි. එහෙත් එය සිදුවූයේ නැත. දැන් අපට උදා වී ඇත්තේ අවසන් අවස්ථාව යැයි කියන්නට පුළුවන. මේ අවස්ථාව මඟහැරී ගියහොත් අනාගතයක් නැත.

අප ඉහතින් සඳහන් කළ රැස්වීමේදී ජනාධිපතිවරයා කළ කතාව ද ඉතා වැදගත් ය. එතුමා කියා සිටියේ සෑම දිස්ත්‍රික්කයකට ම කැබිනට් අමාත්‍යවරයකු පත්වන ලෙස රාජ්‍ය පරිපාලන ව්‍යුහය වෙනස්විය යුතු බව ය. මේ කාරණය මූලිකකොට උතුර හා නැ‍ඟෙනහිර දෙස බැලුවහොත් උදා වී ඇති ශෝචනීය තත්ත්වය වටහාගත හැකි ය. උතුරට ඇති කැබිනට් ඇමැතිවරුන්ගේ ගණන කීය ද? නැ‍ඟෙනහිරට ඇති කැබිනට් ඇමැතිවරුන්ගේ ගණන කීය ද? උතුර හා නැ‍ඟෙනහිර දීර්ඝ කාලයක සිට ම නොසැලකිල්ලට ලක් වී ඇති බව ඉහත කාරණය ඔස්සේ විග්‍රහ කර ගත හැකි ය. ඉතිහාසය පුරාවට සිදු වී ඇත්තේ උතුරේ හා නැ‍ඟෙනහිර ජනතාවගේ ඡන්දය කොල්ලකා ගැනීම පමණි.

මේ අයුක්තිය තවදුරටත් පැවැතිය යුතු ද යන්න දකුණේ දේශප්‍රේමීන් තමන්ගේ හෘද සාක්ෂියට තට්ටුකොට විමැසිය යුතු ය. අද පවතින දේශපාලන තත්ත්වය විමැසිල්ලට ගතහොත්; නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම තබා විසිවන සංශෝධනය සම්මත කරගැනීම ද ඇත්තේ අඩමාන තත්ත්වයක යැයි කියන්නට පුළුවන. විධායක ජනාධිපති ක්‍රමය, බලය බෙදීම, පෙඩරල් හා සන්ධීය යන වචන පවා ඉතා නරක අයුරින් විග්‍රහයට ලක්කරනු දැකිය හැකි ය. දේශප්‍රේමීන් විධායක ජනාධිපති ක්‍රමය ආරක්ෂා කිරීමට වෑයම් කරන්නේ එය බෙදුම්වාදයට හා ත්‍රස්තවාදයට එරෙහි හොඳ ම ප්‍රති-උත්තරය ලෙස සලකාගෙනය. මෙය තරම් දේශපාලන මුලාවක් තවත් නැතැ’යි කිව හැකිය.

දේ‍ශප්‍රේමී නායකයෝ ඉන්දියාවට ගොස් එකක් කියති. නැවත ලංකාවට පැමිණ තව එකක් කියති. ඉන්දියාවේ දී දහතුනට එහා ගිය බලය බෙදීමක් අවශ්‍ය බව කියන මෙරට දේශප්‍රේමී නායකයෝ දකුණේ ජනතාව අමතමින් පෙඩරල් යන වචනයටත් ශාප කරති. අන්තවාදී නායකයෝ ඒවා අසා අත්පොළසන් දෙති. ඔල්වරසන් ‍නඟති. දේශපාලන බලය උදෙසා ආගම්වාදය හා ජාතිවාදය පාවිච්චි වෙන ආකාරය මෙයින් සනාථ වෙයි. ආගම්වාදය නිසා වළපල්ලට යන රටක් හැටියට යේමනය පෙන්වා දිය හැකි ය. අද එම රාජ්‍යය අරාජිකය. දරුවෝ ලක්ෂ පනහකට වැඩි පිරිසක් මන්දපෝෂණයෙන් මිය යෑමට ආසන්න මොහොතේ සිටිති.

සම්බන්ධන් මහතා සිය කතාවේදී අවධාරණය කළේ මේ අපගේ රටය. භේදයකින් තොරව එය ගොඩනැඟීම සඳහා සියලු දෙනා එකතු විය යුතු බව ය. මෙබඳු කතාවක් අපට අසන්නට ලැබෙන්නේ කලාතුරෙකින් ය. හැමවිටම පාහේ උතුරෙන් හා නැ‍ඟෙනහිරෙන් අසන්නට ලැබෙන්නේ අයුක්තියක් පිළිබඳ අ‍ඳෝනාවකි. නැතහොත් බලය බෙදීමට අදාළ තර්ජනයකි. මෙබඳු කතා අසන්නට ලැබෙන්නේ රටේ පොදු දේශපාලන සන්දර්භයට අනුව ය. අප දකුණ දෙස හැරී බැලුවහොත්, උතුරෙන් නැ‍ඟෙන හඬට කන්දීමට දකුණ සූදානම් නැත. මෙය දීර්ඝ කාලයක පටන් පවතින අරෝවකි. පාකිස්ථානයේ නව අගමැතිවරයා පෙන්වා දෙන්නේ එබඳු අ‍රෝවන් මඟින් කිසිදු රටකට යහපතක් සිදු නො වන බව ය. අප ද එම සත්‍යයට මුහුණදිය යුතුය.

දෙමළ ඩයස්පෝරාව මේ දිනවල සිය ව්‍යාපාරය සඳහා කොපමණ මුදලක් වැය කරන්නේ ද? සිංහල ඩයස්පෝරාව සිය ව්‍යාපාරය සඳහා කොපමණ මුදලක් වැය කරන්නේ ද? මේවා ගිනි ගොඩකට හෙළන මුදල් නෝට්ටු ලෙස සැලැකිය හැකිය. මේ මුදල නියඟයෙන් බැටකන ජනතාවගේ සුබ-සාධනය සඳහා යොදාගත හැකි ය. නැතහොත් උතුරු - නැ‍ඟෙනහිර සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදාගත හැකි ය. එය සිදුකිරීමට නම්; ජාතීන් අතර විශ්වාසය ගොඩනැඟිය යුතුය. ජාතීන් අතර විශ්වාසය ගොඩනැඟීමට අදාළ දේවල්වලට වඩා වැඩි දේවල් අප විසින් අවිශ්වාසය ගොඩනැඟීම සඳහා යොදවනු ලැබේ.

මානව හිමිකම් කොමිසමේ තිස්නමවන සැසිය මේ දිනවල පැවැත්වෙයි. මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගැන වාර්තා දෙකක් සකස් වී ඇත. ජනාධිපතිවරයා මේ කොමිසමට අලුත් යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට ද නියමිතය. මානව හිමිකම් කොමිසම අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බලන කාර්යාලයක් පිහිටුවීම සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළකර ඇත. එහෙත් වන්දි ගෙවීම දක්වා මේ වැඩසටහන් ව්‍යාප්ත විය යුතු බව කොමිසම පෙන්වා දෙයි. දේශප්‍රේමීන් කුමන විවේචන ඉදිරිපත් කළ ද එබඳු තැනකට යෑමට සිදු වේ. සාමය හා සංවර්ධනය ඇතිකළ හැකි මාර්ගය එය පමණි. සම්බන්ධන් මහතාගේ කතාව ද ඊට අදාළ ය.

 

නව අදහස දක්වන්න