ආසියානු වොලිබෝල් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තෙවැනි තැන | දිනමිණ

ආසියානු වොලිබෝල් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තෙවැනි තැන

ප්‍රින්ස් ගුණසේකර
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තෙවැනි ස්ථානය තෝරා ගැනීමේ තරගයේ උණුසුම් අවස්ථාවක්.

ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාව තුන්වැනි ස්ථානයට පත්වෙයි. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ඊයේ තරගාවලියේ අවසන් දිනයේ පැවැති තුන්වැනි ස්ථානය තේරා ගැනීමේ සටනේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග වට 3-0කින් බංග්ලාදේශය පරාජයට පත් කළේය.

ශ්‍රී ලංකා - බංග්ලාදේශ අතර තරගයේ මුල සිටම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අණසක පැතිරවූ අතර ලකුණු තත්ත්වය වූයේ 25-16, 25- 17 හා 25- 17ක් ලෙසය. එම ප්‍රතිඵලය අනුව බංග්ලාදේශය මේ තරගාවලියේ සිවුවැනි ස්ථානයට පත්විය.

ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියේ 8වැනි ස්ථානය මොන්ගෝලියාව, 7වැනි ස්ථානය මැලේසියාව, 6වැනි ස්ථානය හොංකොං හා 5වැනි ස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් අත්කර ගත්හ.

ශ්‍රී ලංකාව මේ තරගාවලියේ අංක එක හෝ දෙක ස්ථාන වාර්තා කොට ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ආසියානු වොලිබෝල් ශූරතාවලියට උසස්වීම කෙරෙහි තබා තිබූ බලාපොරොත්තු ඉවතට ගිය අතර අවසන් තරගයට පිවිසි කටාර් හා සෞදි අරාබි යන රටවල් දෙක එම තරගාවලියට උසස්වීම් ලැබූහ.

පළමු ආසියානු අභියෝගීතා කුසලාන පිරිමි වොලිබෝල් තරගාවලිය අද අවසන් වන අතර පළමු හා දෙවැනි ස්ථානවලට පත්වන රටවල් දෙක ආසියානු කුසලාන තරගාවලියට උසස් වේ. මේ තරගාවලියට ‘ඒ’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, මැලේසියාව, හොං කොං, සෞදි අරාබිය හා ‘බී’ කාණ්ඩයෙන් මොන්ගෝලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය. බංග්ලාදේශය, ඉරාකය යන රටවල් එක්ව සිටියහ.

නව අදහස දක්වන්න