ඇෆ්ගනිස්තානුවෝ හෙට සුපිරි හත­‍රෙදී යළිත් හැප්පෙති | දිනමිණ

ඇෆ්ගනිස්තානුවෝ හෙට සුපිරි හත­‍රෙදී යළිත් හැප්පෙති

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය නිමාකරමින් බංග්ලාදේශය සමග පැවැති තරගය ලකුණු 136කින් ජය ගැනීමට පෙරළිකාර ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ සමත්වූහ.

ඔවුන් මූලික වටයේ පළමු තරගයේ ශ්‍රී ලංකාව පිල පරදවා ලකුණු 91ක ජයක් ලැබූහ.

ඇෆ්ගනිස්තානය හෙට (23) යළිත් බංග්ලාදේශය සමගින් තරග බිමට පිවිසෙන්නේ සුපිරි හතර වටයේ සිවුවැනි තරගයෙනි. එම තරගය අබුඩාබිහි හිදී පැවැත්වෙයි.මේ අතර ඉන්දියාව හා පාකිස්තානය අතර සුපිරි හතර වටයේ තෙවැනි තරගයත් හෙට (23) ඩුබායිහිදී පැවැත්වීමට නියමිතය.

මූලික වටයේ අවසන් තරගයේදී ඇෆ්ගනිස්තානය පළමුව පන්දුවට පහරදෙමින් ලකුණු 255ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය බංග්ලාදේශයට ඕවර 42.1කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 119ක් පමණි.

මෙය ඇෆ්ගනිස්තානය බංග්ලාදේශයට එරෙහිව ලබාගත් තෙවැනි එක්දින ජය මෙන්ම ඔවුන්ට එරෙහිව ලබාගත් ඉහළම

ජයග්‍රහණයද විය.

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන ඉනිමේ ලකුණු 160කට කඩුලු 7ක් දැවී තිබියදී පිටියේ එක්වූ රෂීඩ් ඛාන් සහ ගුල්බදීන් නයිබ් පන්දු 55කදී ලකුණු 95ක නොබිදුණු සබඳතාවක් පිහිටුවමින් මුළු ලකුණු සංඛ්‍යාව 255 දක්වා ඉදිරියට ගෙන ගියහ.

වේගවත් ඉනිමක් දියත් කළ රෂීඩ් ඛාන් සිය තෙවැනි එක්දින අර්ධ ශතකය ලෙස නොදැවී ලකුණු 57ක් රැස්කළේ පන්දු 32ක් පමණක් වැය කරමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 8කින් සහ හයේ පහරකින් වර්ණවත් විය. ගුල්බදීන් හතරේ පහර 5ක් සමගින් පන්දු 38කදී නොදැවී ලකුණු 42ක් රැස් කළේය. හෂ්මතුල්ලා ශහිඩි ලකුණු 58ක් ඉනිමට එක් කළේය. පන්දු යැවීමේදී සකීබ් අල් හසන් කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 32ක් රැස්කළ සකීබ් අල් හසන් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර මහමුදුල්ලා ලකුණු 27ක් සහ මොසැඩෙක් හුසේන් ලකුණු 26ක් ඉනිමට එක් කළහ. සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසුකිරීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබිණි.

පන්දු යැවීමේදී රෂීඩ් ඛාන්, මුජීම් රහ්මන් සහ ගුල්බදීන් නයිබ් කඩුලු 2 බැගින් දවාගත්හ. තරගයේ වීරයා සම්මානය රෂීඩ් ඛාන්ට හිමිවිය.

 

නව අදහස දක්වන්න