ශ්‍රී ලන්කන් සමඟ කටයුතු කර ආදායම් ලැබූ සමාගමක සේවය නවතා වෙනත් සමාගමකට පවරලා | දිනමිණ

ශ්‍රී ලන්කන් සමඟ කටයුතු කර ආදායම් ලැබූ සමාගමක සේවය නවතා වෙනත් සමාගමකට පවරලා

කමනි අල්විස්

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමඟ එක්ව කටයුතු කිරීමෙන් ආදායම් ඉපැයූ සමාගමක ගිවිසුම වසර 2012 දී හිටිහැටියේම අවලංගු කර දමා එම කර්තව්‍ය ඉටු කිරීමට වෙනත් ස්වාධීන ආයතනයකට සියලු ක්‍රියාදාමවලට පටහැනිව බලය පවරා මාස හයක් ගත වනතුරු එකම කාර්යභාරයක් වෙනුවෙන් ආයතන දෙකකට ගෙවීම් සිදුකිරීම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සිදුවීමේ පුවතක සුලමුල පෙරේදා (20) ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ අනාවරණය වූයේ ලබා දුන් සාක්ෂිවලිනි.

මේ වෙනුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට වැය කිරීමට සිදු වු මුදල් කොමිසම හමුවේ සාක්ෂි සහිතව ඉදිරියේ දී හෙළි කරන බව ර‍ජයේ අධිනීතිඥ චතුර ගුණතිලක මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

රජයේ අධිනීතිඥ චතුර ගුණතිලක මහතාගේ විමසීම් හමුවේ කොමිසම ඉදිරියේ මේ තොරතුරු අනාවරණය වූයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවාවේ ඊ කොමර්ස් කළමනාකාර උපුල් තිස්ස ද සොයිසා අබේසිරිවර්ධන සහ ඊ කොමර්ස් හිටපු ප්‍රධානී අජිත් වසන්ත වීරසේකර මහත්වරුන් ලේඛන ඉදිරිපත් කරමින් ලබා දුන් සාක්ෂිවලිනි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමඟ එක්ව ඊ ෆියුචර්ස් (E Futures) ආයතනය ක්‍රියාකරද්දී වසර 2011 දෙසැම්බර් මාසයේ දී ගමනාන්ත ගුවන් ගමන් වෙනුවෙන් වසර 2011 දෙසැම්බරයේ දී රුපියල් මිලියන පන්සිය අනූහයක ආදායමක් ද, අන්තර්ජාල ගුවන් ටිකට්පත් වෙන්කිරීමෙන් සියයට දහයයි දශම දෙකයි පහක් ද ආදායම් ලැබූ බව සාක්ෂිකරු අජිත් වීරසේකර මහතා සාක්ෂි දෙමින් පැවැසීය.

වසර 2010 දී වසර තුනකට ගිවිසුම් ගතව සිටි ඊ ෆියුචර්ස් ආයතනයේ ගිවිසුම වසර 2012 දී අත්හිටුවා මුළුමහත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝණය කරමින් එච්. ගෲප් (H. Group) නැමති ආයතනයකට ගුවන් සේවයේ දායකත්වයක් නොමැතිව තනිවම අදාළ කර්තව්‍ය කරගෙන යෑමට බලය පවරා තිබෙන බව කොමිසම ඉදිරියේ පෙරේදා සාක්ෂිකරුවන් ඉදිරිපත් කළ ලේඛනවලින් අනාවරණය විය.

එච්. ගෲප් සමඟ ගිවිසුමට අත්සන් තබා තිබෙන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ එච්. ගෲප් සභාපති රවි රවීන්ද්‍රන් මහත්වරුන්ය. ගුවන් සේවයේ ෆසිල් සහ ජයසීලන් මහත්වරු සාක්ෂිකරුවන් ලෙස අත්සන් තබා තිබෙන බවත් සාක්ෂිකාර වීරසේකර මහතා පැවැසීය.

වසර 2012 ජනවාරි මස සිට ජූනි මස දක්වා මාසිකව අන්තර්ජාල ගුවන් ටිකට්පත් වෙන් කිරීමෙන් එච්. ගෲප් ආයතනය ලබා ගත් අලෙවි ප්‍රතිශතය සියයට 9.5, 7.26, 7.25, 7.6, 6.22, 6.99 බවත්, 2011 දෙසැම්බරයේ ඊ ෆියුචර්ස් ලද ප්‍රතිශතය සියයට දහයයි දශම දෙකයි පහක් බවත්, ඊ ෆියුචර්ස් ගිවිසුම හිටිහැටියේ අහෝසි කිරීමට හේතුව නොදන්නා බවත්, අදාළ ගිවිසුම අහෝසි කිරීමට හේතුවක් නොතිබුණ බවත්, මාස හයකට පෙරාතුව ගිවිසුම අවසන් කිරීම නිසා එකඟ වු මූල්‍ය වියදම එම සමාගමට දැරීමටත්, අලුතින් ගිවිසුම් අත්සන් තැබූ එච්. ගෲප් ආයතනයට ඒ ආකාරයටම ගෙවීම් සිදුකරන්නටත් ගුවන් සේවයට සිදු වු බවත් සාක්ෂිකාර වීරසේකර මහතා පැවැසීය.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සභාපතිත්ව‍යෙන් අභියාචනාධිකරණ විනිසුරු ඒ. ජී. ආර්. අමරසේකර, විශ්‍රාමලත් ‍නියෝජ්‍ය විගණකාධිපති එච්. ඩී. ඒ. හැරල්ඩ් මහත්වරුන්ගෙන් හෙබි ශ්‍රී ලන්කන් ගුවන් සේවය ශ්‍රී ලන්කන් කේටරින්, මිහින් ලංකා පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ සාක්ෂිකරුවෝ සාක්ෂි දුන්හ.


නව අදහස දක්වන්න

Or log in with...