ආබාධිත සහිත වූවන්ගේ ප්‍රඥාප්තිය පාර්ලිමේන්තුවට | දිනමිණ

ආබාධිත සහිත වූවන්ගේ ප්‍රඥාප්තිය පාර්ලිමේන්තුවට

ආබාධ සහිත වුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් සුරැකෙන ප්‍රඥාප්තිය මේ වසර අවසාන වීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

අමාත්‍යවරයා එසේ පැවසුවේ මේ මස 6 වැනි දින නෙළුම් පොකුණ රඟහලේ දී පැවති, දිවයින පුරා විසිරී සිටින ආබාධ සහිත දරු දැරියන්ගේ නර්ථන හැකියා එළිදැක්වීම හා ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් කටයුතු කරන හොඳ ම ස්වශක්ති සංවිධානය තේරීම ඇතුළු විශේෂිත සම්මාන රැසක් පිරිනැමෙන ආබාධ සහිත තැනැත්තන්ගේ ජාතික සංස්කෘතික ප්‍රසංගය "සිත් රූ 2018" හා ආබාධ සහිත වූවන්ගේ ස්වශක්ති සංවිධාන ඇගයීමේ ජාතික සම්මාන උළෙල "ස්වශක්ති අභිමානී 2018" සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

"විශේෂ අවශ්‍යතා සහිත (ආබාධිත) පුද්ගලයන් වෙනුවෙන් විදේශීය රටවල ක්‍රියාත්මක වන අණ පනත් පිළබඳ ව මම අධ්‍යයනය කරමින් සිටිනවා. රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියා සඳහා 3%ක ප්‍රතිශතයක් ලබා දීමේ වැඩපිළිවෙළක් මෙම පනත හරහා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අද දින මේ ආබාධ සහිත දරුවන්ගේ හැකියාවන් දුටු විට මම විශ්මයට පත් වුණා. මොවුන්ගේ හැකියාවන් තවත් වර්ධනය කරගතහොත් ඔවුන්ව ජාත්‍යන්තර තලයට රැගෙන යා හැකියි. ඒ තුළින් ඔවුන්ගේ කායික හා මානසික තත්ත්වය තවදුරටත් පුළුල් කරගැනීමෙන් මෙම විශේෂ හැකියාවන් සඳහා ඔවුන්ගේ ආර්ථිකය නංවාලීමේ වැඩපිළිවෙළක් සකස් කර දීමට අමාත්‍යාංශයට හැකියාව තිබෙනවා. ආබාධ සහිත උදවිය ලක්ෂ 20ක් සිටින බව ජන හා සංඛ්‍යා ලේඛන වාර්තා අනුව පෙනී යනවා. ඔවුන්ගේ වගකීම මගේ අමාත්‍යාංශය වෙත පැවරී තිබෙනවා." යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය.

1948 පෙබරවාරි 01 දින ආචාර්ය අයිවෝ ජෙනින්ස් ආරම්භ කළ සමාජ සේවා දෙපාර්තමේන්තුවට මේ වන විට වසර 70ක් ගත වී ඇති අතර, වසරකට වරක් මෙවැනි සංස්කෘතික උත්සව පවත්වා ඔවුන් වෙනුවෙන් අප යමක් කළා යැයි සෑහීමකට පත්විය නො හැකි බව ද අමාත්‍යතුමා අවධාරණය කළේය. 2016 වසරේ දී එක්සත් ජාතීන්ගේ ආබාධිත වූවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥාප්තිය සඳහා මේ වන විට අනුමැතිය ලැබී ඇති අතර, මේ වසරේ දී ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මට අස්සන් තබා තිබීම මොවුන්ගේ අනාගතයට ඉතා විශාල පිටුවහලක් බව ද පැවසූ අමාත්‍යවරයා ආබාධ වූවන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සඳහා ඔවුන් සතු කුඩා ඉඩම්වල අඹ, කටු අනෝදා හා ඉඟුරු වැනි පැළ රෝපණය කිරීමේ ක්‍රමවේදයන් ද තමා මේ වන විට හඳුන්වා දී ඇති බව පැවසීය.

සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු බන්දුල වික්‍රමාරච්චි මහතා අදහස් දක්වා සිටියේ,

"ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආබාධ සහිත දරු දැරියන්ගේ දස්කම් දැකීමෙන් අපි මවිතයට පත් වුණා. මේ අයගේ හැකියාවන් වඩා වර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දෙන්න සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය විදියට අපි පියවර ගනිමින් සිටිනවා. ස්වශක්ති සම්මාන ලබන සෑම ආබාධ සහිත පුරවැසියෙක් ම, සිත් රූ ප්‍රසංගය හරහා ඉතා ම විශිෂ්ට ලෙස නර්ථන නිර්මාණ ඉදිරිපත් කළ දරු දැරියන් වගේම ඒ දරු දැරියන් කරළියට ගෙන එන්න කටයුතු කළ ගුරුවරු හා පුහුණුකරුවන්ට අපගේ ගෞරවයත්, ප්‍රණාමයත් පිරිනමනවා. ජාතික තලයේ දස්කම් දැක්වීමට සමත් වූ මේ අයගේ හැකියාවන් වඩා වර්ධනය කර ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට අවශ්‍ය වටපිටාව සකස් කරදෙන්න පියවර ගන්නවා. ආබාධ සහිත වූවන් වෙනුවෙන් ඉතා ඕනෑකමින් හා කැපවීමෙන් රාජකාරී කටයුතු කරන නිලධාරීන්ට පහසුකම් සැපයීමටත් සමාජ සුභසාධන අංශය ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා."යනුවෙනි.

ඛණිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ, සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීන් වන වෛද්‍ය තුසිතා විජේමාන්න, චන්දිම ගමගේ, සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු බන්දුල වික්‍රමාරච්චි හා සමාජ සේවා අධ්‍යක්ෂ වජිර කඹුරුගමුව මහත්ම මහත්මීහු ඇතුළු දිවයින පුරා විසිරී සිටින ආබාධ සහිත පුද්ගලයන් හා ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් කටයුතු කරන ස්වශක්ති සංවිධාන හා අමාත්‍යාංශ නිලධාරීහු රැසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.


ප්‍රමිතා රන්දලී පබසරා
ඡායාරූප - ගයාන් පුෂ්පික

 


නව අදහස දක්වන්න

Or log in with...