සුව ඇමැති අද ජිනීවා යයි | දිනමිණ

සුව ඇමැති අද ජිනීවා යයි

එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ක්ෂය රෝගය මර්දනය කිරීම සහ බෝනොවන රෝග පාලනය කිරීම පිළිබඳ ජගත් සමුළුවට සහභාගිවීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා අද (22 අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සහභාගි වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මේ සමුළුවට එක්වීමට නියමිතව ඇත. ක්ෂය රෝගය පාලනය කිරීම පිළිබඳ සමුළුව ලබන 26 වැනිදා ද බෝනොවන රෝග පාලනය කිරීම පිළිබඳ සමුළුව ලබන 27 දා පැවැත්වීමට නියමිතය. ලෝකයේ එක් එක් රටවල් ක්ෂය රෝගය සහ බෝනොවන රෝග පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. බෝ නොවන රෝග පාලනය කිරීම සඳහා රජය ගෙන ඇති වැඩපිළිවෙළ පිළිබඳ සෞඛ්‍ය ඇමැතිවරයා මෙහිදී දේශනයක් පැවැත්වීමට ද නියමිතව තිබේ.

මේ සමුළුවෙන් පසු සෞඛ්‍ය ඇමැතිවරයා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන දුම්කොළ පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ ප්‍රධාන සමුළුවට සහභාගිවීමට නියමිතව ඇත. එම සමුළුව ආරම්භ වන්නේ ඔක්තෝබර් මස 01 දායි.

දුම්කොළ පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ සඳහන් කොන්දේසි 06 ඉටුකිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා මේ වනවිට සියලු පියවර ගෙන ඇත. එම කොන්දේසිවලින් තනි සිගරට්ටුව අලෙවි කිරීම තහනම් කිරීමේ කොන්දේසිය හැර අනෙකුත් සියලුම කොන්දේසි ඉටු කර ඇති අතර, ඒ පිළිබඳව ජගත් ප්‍රජාව දැනුවත් කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා මෙහිදී බලාපොරොත්තු වෙයි. සිගරට් පැකට් තුළ රූපමය අවවාද සියයට 80 දක්වා වැඩි කිරීම, දුම්කොළ බදු සියයට 90 දක්වා වැඩි කිරීම, දුම්වැටි දැන්වීම් තහනම් කිරීම , ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් කිරීම, ගොඩනැගිලිවල දුම්බොන කලාප සැකසීම, දුම්කොළ වගාව වෙනුවට වෙනත් බෝග වගා ගොවීන්ට හඳුන්වාදීම එම කරුණු අතර වේ. ඉදිරියේ දී සෞඛ්‍ය ඇමැතිවරයා දුම්වැටි පැකට්ටුව ප්ලේන් පැකේජින් ක්‍රමයට වෙළෙඳ පොළට හඳුන්වා දීම සඳහා වූ නීති රීති ද ගෙනඒමට නියමිතය. දුම්කොළ පාලනය කිරීම් සඳහා වූ ප්‍රඥප්තියට අනුව කොන්දේසිවලින් සියයට 90ක් පමණ නීතිගත කර ඇති අග්නිදිග ආසියානු එකම රට ශ්‍රී ලංකාව වෙයි. නීති විරෝධී සිගරට් ආනයනය තහනම් කිරීමේ ප්‍රඥප්තියට ද ශ්‍රී ලංකාව අත්සන් කර ඇත. අග්නිදිග ආසියානු රටවලින් එම ප්‍රඥප්තියට අත්සන් කළ ප්‍රථම රට ශ්‍රී ලංකාව වීම ද විශේෂත්වයක් වෙයි.

නව අදහස දක්වන්න