ජේසන් දිසානායකට විනය පරීක්ෂණයක් | දිනමිණ

ජේසන් දිසානායකට විනය පරීක්ෂණයක්

ෆවුස් මොහොමඩ්

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයකු වන ජේසන් දිසානායකට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට රග්බි ආයතනය තීරණය කරයි. මේ විනය පරීක්ෂණය පැවැත්වීමට තීරණය වූයේ පෞද්ගලික හේතු මත ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ පළමු අදියර වූ හොංකොං තරගාවලියට සහභාගි නොවන බව තේරීම් කමිටුවට දන්වා පසුව ඔහු නියෝජනය කරන මහනුවර ක්‍රීඩා සමාජය සමග අබුඩාබි නුවර පැවති බටහිර ආසියානු රග්බි තරගාවලියට ක්‍රීඩා කිරීම හේතුවෙනි.

එපමණක් නොව විනය පරීක්ෂණ කටයුතු නිමාවනතුරු නැවත ජාතික කණ්ඩායමට ජේසන් දිසානායක ඇතුළත් නොකිරීමට ද තීරණය වී තිබේ. මීට මාසයකට පෙර ජාතික කණ්ඩායම සමග ආසියානු ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියට ක්‍රීඩා කළ ජේසන්ට ඒ අනුව මේ මස අගභාගයේ දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ දෙවැනි අදියරේ තරගාවලිය අහිමිවනු ඇත.

රග්බි තේරීම් කමිටු ප්‍රධානී රොහාන් අබේකෝන් මහතාගේ නිර්දේශවලට අනුව ජේසන් දිසානායක කණ්ඩායම තෝරාගැනීමේදී නොසළකා හැරිය යුතු ක්‍රීඩකයකු බව රග්බි ආයතනයේ ප්‍රකාශයකු සඳහන් කළේය.

‘රග්බි ආයතනයේ විධායක කමිටුව මේ සම්බන්ධව වැඩිදුරටත් විනය පරීක්ෂණයක් පවත්වයි. මෙය කණ්ඩායමේ අනික් ක්‍රීඩකයන්ටත් නරක ආදර්ශයක්. ඒ නිසා පවුලේ කටයුතු වෙනුවෙන් කණ්ඩායම නියෝජනය කිරීමෙන් ඉවත්වන බව කියා පසුව ඔහු නියෝජනය කරන ක්‍රීඩා සමාජය සමග අබුඩාබි නුවර රග්බි තරගාවලියකට ක්‍රීඩා කිරීම ගැන රග්බි ආයතනයට පැහැදිලි කිරීමක් කළ යුතුයි.‘ එම ප්‍රකාශකයා වැඩි දුරටත් කියා සිටියේය.

නව අදහස දක්වන්න