ප්‍රසන්නට මාසයක් විමල්ට සති දෙකක් පාර්ලිමේන්තුව අත්හිටුවයි | දිනමිණ

ප්‍රසන්නට මාසයක් විමල්ට සති දෙකක් පාර්ලිමේන්තුව අත්හිටුවයි

ස්වර්ණා විජේකෝන්
සන්ධ්‍යා කරුණාරත්න

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩ කළ බවට චෝදනා එල්ල වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාගේ පාර්ලිමේන්තු සේවා කාලය මාසයකටත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාගේ පාර්ලිමේන්තු සේවා කාලය සති දෙකකටත් අත්හිටුවීමට පාර්ලිමේන්තුව ඊ‍යේ (21) පියවර ගත්තේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාගේ පාර්ලිමේන්තු සේවා කාලය අත්හිටුවීම සඳහා ඡන්ද විමසීමක් සිදුකළ අතර, ප්‍රසන්න රණවීර මහතාගේ යෝජනාවට පක්ෂව ඡන්ද 41ක් සහ විරුද්ධව ඡන්ද 21 ක් ද, විමල් වීරවංශ මහතාගේ යෝජනාවට පක්ෂව ඡන්ද 29 ක් විරුද්ධව ඡන්ද 21ක් ද ලැබිණි.

යෝජනාවට පක්ෂව එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධා‍නයේ මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කළහ. ඡන්දය පැවැති අවස්ථාවේ දී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු සභා ගැබේ නොසිටියහ. කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිවරිය ලෙස කටයුතු කළ විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදුකර තිබූ ප්‍රකාශයකට විරෝධය පළ කරමින් පසුගිය ජූලි තුන්වැනි දා පාර්ලිමේන්තු සබාගැබ මැදට විත් සටන් පාඨ කියමින් විරෝධතාවෙහි නිරත වෙමින් සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ කළ බවට ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී තිබූ අතර, මුලසුනට අපහාස වන අයුරින් කටයුතු කළ බවට විමල් වීරවංශ මහතාට චෝදනා එල්ල වී තිබිණ.

මේ සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් 05 වැනිදා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව වෙත සිදුකරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකෙරිණ.

ප්‍රසන්න රණවීර හා විමල් වීරවංශ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගෙන ඇති මේ තීරණය සභාවට දැනුම් දීම සඳහා සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (21) නැ‍ඟී සිටි මොහොතේ දී ඒ සඳහා ඡන්ද විමසීමක් සිදු කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලීමක් කළේය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාගේ පාර්ලිමේන්තු සේවා කාලය මාසයකට හා විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු කාලය සති දෙකකට අත්හිටුවීම සඳහා වෙන වෙනම ඡන්ද විමසීමක් පැවැති අතර, ප්‍රසන්න රණවීර මහතාට සති හතරක් ද විමල් වීරවංශ මහතාට සති දෙකක් ද වශයෙන් එම යෝජනාව සභා සම්මත කෙරිණි.

ඒ අනුව මේ මන්ත්‍රීවරුන් දෙදෙනාට පෙරේදා (20) සිට පාර්ලිමේන්තුවේ කිසිදු කටයුත්තකට සහභාගීවීමට අවසර නොලැබේ.


නව අදහස දක්වන්න

Or log in with...