චීන - අමෙරිකා බදු හටන | දිනමිණ

චීන - අමෙරිකා බදු හටන

ධම්මික සෙනෙවිරත්න

අමෙරිකා ආර්ථික ප්‍රතිපත්තිය තම රටට බලපෑම් කරන්නට පටන් ගැනීමත් සමඟ චීනය ද ඒ පිළිබඳ සංවේදී විය. ඒ අනුව අමෙරිකාවේ චීන ආයෝජන යම් ප්‍රමාණයකින් අඩු කිරීමට පියවර ගැනිණි. ඉකුත් ජූලි මාසයේදී එලෙස ඉවත්කරගත් ආයෝජනවල වටිනාකම ඇ. ඩො. බිලියන 8කි. ජනාධිපති ට්‍රම්ප්ගේ බදු තීරණය චීන ආර්ථිකයට යම් බලපෑමක් ඇති කරනු ඇති අතර අමෙරිකාවේ සිය ආයෝජන සම්බන්ධයෙන් චීනය ගනුලැබූ මේ තීරණයද අමෙරිකා ආර්ථිකයට බලපෑම් ඇතිකරන්නකි.

චීනයෙන් තම රටට ගෙන්වන භාණ්ඩ මත පනවන බදු 25% දක්වා ඉහළ දැමීමට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් අඟහරුවාදා තීරණය කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් චීනය ද අමෙරිකානු ආනයන මත බදු 25% දක්වා ඉහළ නංවන බව ප්‍රකාශ කර තිබේ. මේ වාතාවරණය දෙරට අතර “වෙළෙඳ යුද්ධයක්” (Trade War) දක්වා වර්ධනය වනු ඇතැයි මත පළවේ. එවැනි තත්ත්වයක් ලොව සෙසු රටවලට ඇතිකරන බලපෑම ගැනද මේ වනවිට අවධානය යොමුව තිබේ.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු ආර්ථිකය සම්බන්ධයෙන් ද ආරක්ෂණවාදී පිළිවෙතක් අනුගමනය කිරීමට පටන්ගත්තේය. චීන භාණ්ඩ මත බදු ඉහළ දැමීමේ තීරණය ද ඊට අනුගතව ගත් එකක් බව පෙනෙන්නට ඇත. දැනට ක්‍රියාත්මක එම බදු අනුපාතය 10% කි. මේ වසර අග දක්වාම එය බලපැවැත්වෙනු ඇති අතර 2019 වර්ෂයේ සිට 25%ක බදු අනුපාතය ක්‍රියාවට නැංවේ.

2017 වර්ෂයේදී අමෙරිකාව චීනයෙන් ඇ. ඩො. බිලියන 500කට වැඩි භාණ්ඩ ආනයනය කළේය. චීනය ඇ. ඩො. බිලියන 130ක් වටිනා භාණ්ඩ අමෙරිකාවෙන් ආනයනය කළේය. තම රටට ගෙන්වන අමෙරිකානු භාණ්ඩ 128ක් සම්බන්ධයෙන් 25% බදු ඉහළ දැමීම ක්‍රියාත්මක කරන බව චීනය ප්‍රකාශ කර තිබේ. එම භාණ්ඩ අතර පලතුරු, ඌරුමස් වැනි දෑ තිබේ. දැනට චීනය එම භාණ්ඩ මත අය කරන්නේ 5% - 10% බදු අනුපාතයකි. අමෙරිකා ඌරුමස් වෙළෙඳ පොළේ තුන්වැනියා චීනයයි.

දෙරටේ ආර්ථික බලපෑම

අමෙරිකා ආර්ථික ප්‍රතිපත්තිය තම රටට බලපෑම් කරන්නට පටන් ගැනීමත් සමඟ චීනය ද ඒ පිළිබඳ සංවේදී විය. ඒ අනුව අමෙරිකාවේ චීන ආයෝජන යම් ප්‍රමාණයකින් අඩු කිරීමට පියවර ගැනිණි. ඉකුත් ජූලි මාසයේදී එලෙස ඉවත්කරගත් ආයෝජනවල වටිනාකම ඇ. ඩො. බිලියන 8කි. ජනාධිපති ට්‍රම්ප්ගේ බදු තීරණය චීන ආර්ථිකයට යම් බලපෑමක් ඇති කරනු ඇති අතර අමෙරිකාවේ සිය ආයෝජන සම්බන්ධයෙන් චීනය ගනුලැබූ මේ තීරණයද අමෙරිකා ආර්ථිකයට බලපෑම් ඇතිකරන්නකි. එලෙස ආයෝජන ඉවත්කරගැනීමෙන් පසුව ද චීනය තවමත් අමෙරිකා බැඳුම්කරවල ආයෝජන කර ඇති අංක එකේ රටය. එම වටිනාකම ඇ. ඩො. ට්‍රිලියන 1.1 කි. දෙවැනි තැනට සිටින්නේ ජපානයයි. එය ට්‍රිලියන 1ක ආයෝජනයකි. ඇ. ඩො. බිලියන 300ක ආයෝජනවලට හිමිකම් කියන අයර්ලන්තය 3 වැනි තැනට සිටී.

ඉකුත් මාර්තු මාසයේදී අමෙරිකාවට ගෙන්වන වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදන මත බදු ඉහළ දැමීමටද ජනාධිපති ට්‍රම්ප් පියවර ගත්තේය.

ජනාධිපති ට්‍රම්ප් ආර්ථිකය සම්බන්ධයෙන් අනුගමනය කරන ආරක්ෂණවාදී පිළිවෙත ඔහුගේ මැතිවරණ පොරොන්දුවකි. එම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට යාමේදී ඔහුගේම ආර්ථික උපදේශකයන් සමඟ ඔහු මතවාදීමය වශයෙන් ගැටුම් ඇතිකරගත්තේය.

බදු ගැන විවේචන

අමෙරිකා ජාතික ආර්ථික කවුන්සිලයේ අධ්‍යක්ෂ ගැරී කොහෙන් ඉල්ලා අස්වීමට තරම් එම තත්ත්වය දරුණු විය. එපමණක් නොව අමෙරිකා රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ද ඉවත්විය. ඉකුත් මාසයේදී ධවලමන්දිරයේ වත්මන් ආර්ථික උපදේශක ලැරී කුඩ්ලෝ කියාසිටියේ එරට ආර්ථිකයට චීනයෙන් එල්ලවන තර්ජනය බලසම්පන්න එකක් නොවන බවය. එහෙත් චීනයේ ඇති අමෙරිකා සමාගම්වලට බලපෑම් කිරීමට ඔවුන්ට හැකි බව ඔහුගේ අදහස විය. නමුත්, මේ වනවිට දක්නට ඇත්තේ ඔහුගේ අනුමානය නිවැරදි විය නොහැකි බවකි. “වෙළෙඳ යුද්ධයක” ප්‍රතිඵල දෙරටට දැනෙනු ඇත. එපමණක් ද නොවේ එය ලෝක ආර්ථිකයටද බලපෑම් ඇති කරයි. අමෙරිකා සමාගම් සම්බන්ධයෙන් කුඩ්ලෝ පළකළ අදහස් එනම් දැනටමත් ක්‍රියාවේ යෙදවී ඇති බවක් පෙනෙන්නට ඇත.

චීන සමාජවිද්‍යා ඇකඩමියේ, අමෙරිකා අධ්‍යයන ආයතනයේ ප්‍රධානී වූ බායි යි පවසන පරිදි, සාමාන්‍ය චීන ජනයාද අන්තර්ජාතික අර්බුද සම්බන්ධයෙන් සංවේදීය. බදු ඉහළ දැමීමේ අමෙරිකා තීරණ හමුවේ ඔවුන් තවත් කොපමණ කාලයක් නිහඬව බලාසිටිනු ඇතිදැයි කිව නොහැකි බව ‘වූ’ පෙන්වාදේ. “අමෙරිකාව මේ ප්‍රතිපත්ති ඉදිරියටම ගෙනගියහොත් චීන මව්පියන් අමෙරිකාවේ උසස් අධ්‍යාපනය ලැබීමට තවදුරටත් තම දරුවන් යැවීම ගැනත් තීරණයක් ගනීවි. අමෙරිකාවට යැවීම වෙනුවට ඔවුන් එක්සත් රාජධානියට, ජර්මනියට විතරක් නෙවෙයි බ්‍රසීලයට හා ඉන්දියාවට යැවීමට පවා කටයුතු කරාවි” ඔහු පවසයි. සාමාන්‍යයෙන් වසරකට චීන සිසුහු 350,000ක් පමණ අමෙරිකාවේ උසස් අධ්‍යාපනය සඳහා යොමුවෙති. මේ ප්‍රමාණය අමෙරිකා විශ්වවිද්‍යාලවල ආදායමට බෙහෙවින් තීරණාත්මකය. අමෙරිකාවට ඇදීඑන චීන සංචාරකයන්ගේ සංඛ්‍යාවද විශාලය.

ජනාධිපති ට්‍රම්ප් බදු ඉහළ නැංවීමට ගත් තීරණයත් සමඟ චීනය තමන්ට නතුකරගැනීමට හැකිවේය යන්න අමෙරිකාවේ විශ්වාසයයි. සුදු කොඩිය වනන තෙක් ඔවුන් බලාසිටින බවක් පෙනෙන්නට තිබේ. එහෙත් සැබැවින්ම චීනය ඒ අන්දමින් යටත්වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. අමෙරිකාව වැඩියෙන්ම ණයවී ඇත්තේ චීනයට බව අවධානයට ගැනීම පමණක් වුවද එලෙස සිතීමට බලපෑම් ඇති කරයි. බෝයිං වැනි සමාගම්වල නිෂ්පාදනයන්ගෙන් ¼ ක්ම යොමුවී ඇත්තේ චීනයට බව කල්පනා කරනවිටද මේ යටත්වීමේ අපේක්ෂාව එතරම් ප්‍රායෝගික නොවන බව පැහැදිලිය.

ආරක්ෂණවාදී පිළිවෙත

අමෙරිකාව වෙළෙඳාම අරබයා අනුගමනය කරමින් ඇති ආරක්ෂණවාදී ප්‍රතිපත්තිය එරට ශ්‍රමිකයන්ට වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරනු ඇතැයි ද එරට අපනයන ඉහළ නංවනු ඇතැයි ද ට්‍රම්ප්ගේ ආර්ථික උපදේශකයෝ කියති. ඊට වෙනස් මතයක් දරන ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහස මෙම වෙනස්කම් අමෙරිකා ආර්ථිකයට නොව ජනාධිපති ට්‍රම්ප්ට නම් හිතකර බවය. වත්මන් ධවල මන්දිර ආර්ථික උපදේශකයෝ ජනාධිපතිවරයා ආර්ථිකය සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටින ආරක්ෂණවාදී පිළිවෙතට සහාය දක්වන්නෝ වෙති.

සිය ආරක්ෂණවාදී ප්‍රතිපත්තිය මඟින් අමෙරිකාවේ වෙළෙඳ හිඟය අඩු කර ගැනීම ට්‍රම්ප්ගේ අපේක්ෂාවය. වැඩිවන ආරක්ෂක වියදම් ධනවත් සමාගම් මත වැඩි බදු පැනවීම වැනි පියවර මගින් පියවා ගැනීම ඔහුගේ පිළිවෙතය. එමෙන්ම ඇතැම් වෙළෙඳ ගිවිසුම්වලින් ඉවත්වීමට ද ඔහු පියවර ගත්තේය.

එපා වූ ගිවිසුම්

නිදසුනක් ලෙස දකුණු කොරියා අමෙරිකා වෙළෙඳ ගිවිසුමෙන් ඉවත්වන ලෙස ඔහු මීට වසරකට පෙර සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ප්‍රමුඛත්වය දිය යුත්තේ අමෙරිකානු භාණ්ඩ වැඩිවැඩියෙන් අලෙවි කිරීමට බව ඔහු පෙන්වාදී ඇත. කැනඩාව සහ මෙක්සිකෝව සමඟ අත්සන් කළ වෙළෙඳ ගිවිසුම් ද ඔහු මෙලෙසම යළි සමාලෝචනය කළේය. ලොව විශාලතම වෙළෙඳ සම්මුතිය වන උතුරු අත්ලන්තික් වෙළෙඳ සම්මුතියෙන් (NAFTA) ගිවිසුමෙන් ඉවත්වන බවට ද තර්ජනය ක‍ෙළ්ය.

යුරෝපා සංගමය (Eu) හා ලෝක වෙළෙඳ සංවිධානය (WTO) නිදහස් වෙළෙඳාම වෙනුවෙන් දැඩිව පෙනීසිටී. වෙළෙඳාමට ඇති සීමා මායිම්, බාධක ඉවත්කළ යුතු බව ඔවුන්ගේ ප්‍රතිපත්තියය. ට්‍රම්ප් පාලනය යටතේ අමෙරිකාව ඉන් බැහැර පිළිවෙතක පිහිටා ක්‍රියාකරන බව පෙනෙන්නට තිබේ. විවෘතභාවය පිළිබඳ සීමා පණවාගනිමින් අමෙරිකාව වෙළෙඳ ගනුදෙනු සඳහා යොමුවෙමින් සිටී. අමෙරිකානුවන් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති අනුමත කළ පරිදිම, බ්‍රිතාන්‍ය ජනයාද යුරෝපා සංගමයෙන් ඉවත්වීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ ආරක්ෂණවාදී පිළිවෙතකට යොමුවීම අනුමත කරමිනි. මෙහිදී ඔවුන් විවෘතභාවය දෙස බලන්නේ තමන්ගේ රට ප්‍රමුඛත්වයේ ලා සළකමින් බව පැහැදිළිය.

බලවත් රටවල් විසින් ගනිමින් ඇති ප්‍රතිපත්තිමය තීන්දු, තීරණ හා පියවර පරිධියේ රටවලටද යම් යම් ප්‍රමාණවලින් දැනෙමින් තිබේ. අමෙරිකාව ආරක්ෂණවාදී වෙළෙඳ ප්‍රතිපත්තියකට මාරුවී ඇත්තේ ලෝක ආර්ථික අර්බුදයේ බලපෑම්වලින් පාඩම් ඉගෙනගැනීමෙන් පසුවය. තමන් ආරක්ෂණවාදී පිළිවෙතක පිහිටමින් පරිධියේ රටවල් සිය වෙළෙඳපොළ මුළුමනින් විවෘත කළ යුතු බවට කරන බලපෑම්වලට ඇති වලංගුභාවය ප්‍රශ්නයකි.

ලොව පළමු සහ දෙවැනි ආර්ථික බලවතුන් අතර ඇතිවී තිබෙන “වෙළෙඳ යුද්ධය” හමුවේ සෙසු රටවල් ක්‍රියාකළ යුත්තේ කෙසේද යන්න ඉදිරි දිනවල පුළුල්ව සංවාදයට ලක්වනු ඇත. අප වැනි රටවලටද එම බලපෑම්වලින් දුරස්ව සිටීමට බොහෝදුරට නොහැකිවනු ඇති බව දැනටමත් පැහැදිලිවී තිබේ.

නව අදහස දක්වන්න