රුපියලේ - කතාව! | දිනමිණ

රුපියලේ - කතාව!

අමෙරිකන් ඩොලරයේ අගය දිගින් - දිගට ම වර්ධනය වීම ගැනත්; රුපියල දිගින් - දිගට ම අවප්‍රමාණය වීම ගැනත් සාකච්ඡා පැවැත්වෙයි. අද වන විට අමෙරිකන් ඩොලරයක් සඳහා ගෙවිය යුතු රුපියල් ගණන එකසිය හැත්තෑවක් පමණ වෙයි.

හෙට වනවිට මෙහි තත්ත්වය අඩු - වැඩි වන්නට පුළුවන. කෙටි කාලීන ලෙස රුපියලේ අගය ශීඝ්‍රයෙන් පිරිහෙන්නට පටන් ගෙන ඇති බවක් ද පෙනෙන්නට තිබේ. ඉන්දියානු රුපියලේ අවප්‍රමාණය 11%ක් ලෙස ද ඉන්දුනීසියාවේ 9%ක් ලෙස ද සටහන් වී ඇත. ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය 8%කි. ඒ අතින් බලන විට ශ්‍රී ලංකාව යම් සැනසිලිදායක තත්ත්වයක පසුවන්නේ යැයි කිව හැකි ය.

රුපියලේ අවප්‍රමාණය කරුණු දෙකක් මුල් කොට විවේචනයට හසුවේ. පළමු විවේචනයෙන් කියැවෙන්නේ රුපියලේ අවප්‍රමාණය මඟින් ආර්ථිකයේ කඩාවැටීමක් පෙන්නුම් කරන බව ය. දෙවන විවේචනයෙන් කියැවෙන්නේ රුපියලේ අවප්‍රමාණයෙන් ආර්ථික කළමනාකරණයේ දුර්වලතාව පෙන්වන බව ය. මේ විවේචන දෙකම මහ බැංකුව ප්‍රතික්ෂේප කරන අතර එම විවේචන හුදු දේශපාලන ප්‍රහාරයක් බවද පෙනී යයි.

අමෙරිකන් ඩොලරයේ අගය ශීඝ්‍රයෙන් ඉහළ යෑම ලෝක ආර්ථිකය ට ම බලපා තිබේ. ඊයේ වන විට එංගලන්ත පවුම ද අවප්‍රමාණය වීමට පටන්ගෙන තිබේ. ඉන් පෙනීයන්නේ ඩොලරයේ වටිනාකම් වර්ධනය අපට පමණක් නොව; බොහෝ රටවලට අහිතකර ලෙස බලපාන බව ය.

අමෙරිකාව සිය විනිමය අනුපාත ඉහළ දමන්නට පටන්ගෙන තිබේ. එය ජනාධිපති ට්‍රම්ප්ගේ හිතුවක්කාරී තීරණයකි. මේ අතර චීනය හා අමෙරිකාව ද, කැනඩාව හා අමෙරිකාව ද වෙළෙඳ තරගයක නිරතව සිටිති. එය හැඳින්වෙන්නේ ලෝක වෙළෙඳ යුද්ධයක මුල් අවස්ථාව හැටියට ය. දැනට පවතින තත්ත්වයට අනුව එහි සම්පූර්ණ වාසිය කාන්දුවන්නේ අමෙරිකා එක්සත් ජනපදය වෙත ය.

ඉන් හැ‍ඟෙන්නේ ඩොලරය පිළිබඳ ගැටලුව අමෙරිකාවට හැර අන් සෑම රටකට ම පාහේ පීඩාකාරී ලෙස දැනෙන බව ය. ලෝකයේ මුල්‍ය ගනුදෙනුවලින් 90% ක් පමණට සිදුවන්නේ අමෙරිකන් ඩොලරය පාදක කරගෙන ය. ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන් මහතා ඉන්ධන ගනුදෙනු ඩොලරයෙන් මුදාගැනීම සඳහා වෑයමක් දැරී ය. එය නිමාවට පත් වූයේ අමෙරිකාව ඉරාකය ආක්‍රමණය කිරීමෙන් ය.

ලෝක ආර්ථික රටාව වෙනස් කිරීමේ හැකියාවක් අපට නැත. අපට තබා චීනයටවත් එය කළ නොහැකි ය. සිදුවිය යුත්තේ රුපියල ආරක්ෂා කිරීම සඳහා වෙනත් ආර්ථික උපාය මාර්ග සෙවීම ය. අපනයනය වැඩි කිරීමෙන් හා ආනයන සීමා කිරීමෙන් රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගත හැකිය යන්න පිළිගත් ප්‍රායෝගික විසැඳුමකි. අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ ආනයනය නැවැත්විය නොහැකි ය.

එහෙත් රථවාහන ආනයනය සීමා කළ හැකි ය. අපේ විදේශ විනිමය වැයවීම්වලින් සැලැකිය යුතු ප්‍රතිශතයක් වාහන ආනයනය සඳහා‍වෙන් වෙයි. මීට තාවකාලික ලෙස හෝ සීමා පැනවීම බුද්ධිමත් ක්‍රියාවකි. අපගේ අපනයන ආදායම් ශීඝ්‍රයෙන් පහළගොස් ඇත. මේ මොහොතේ කළ යුත්තේ අපනයන සඳහා වන බදු අයකිරීම් අඩු කොට අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇති කිරීම ය.

1948 සිට 1977 පමණ වන තෙක් අපට තිබුණේ ස්ථාවර වූ විනිමය අනුපාතයකි. එදා අපගේ අපනයන ක්ෂේත්‍රය ඉතා ශක්තිමත් වූ අතර රටේ ආර්ථිකය ද හොඳ මට්ටමක පැවැතිණි. එකල ආසියාවේ ආර්ථිකය අතින් අප දෙවන වූයේ ජපානයට පමණක් යැයි කියති.

එදා ඩොලරයක් සඳහා ගෙවූ රුපියල් ගණන එකයි ශත ගණනකට සීමා විය. ඩොලරය පිළිබඳ කම්පනයක් එකල නොවූ අතර මහ බැංකුව මාස හයකට වරක් හෝ වසරකට වරක් හෝ විනිමය අනුපාත සමාලෝචනය කොට දැක්වීය. ඒ ගැන උනන්දුවක් ද මහජනයා තුළ පැවැතියේ නැත. එහෙත් පසුකලෙක දී අපගේ ලෝක ගනුදෙනු පුළුල් විය. ආනයන ප්‍රසාරණය විය. මේ අනුව පාවෙන විනිමය අනුපාතයක් පවත්වාගැනීමට අපට සිදුවිය. 1995 - 1999 කාලය තුළ දී රුපියලේ අවප්‍රමාණය 5%ක් පමණ විය.

2011 – 2012 වර්ෂවලදී රුපියලේ අවප්‍රමාණය වාර්තාගත අයුරින් ඉහළ ගියේ ය. මහ බැංකු වාර්තාවල එය දැක්වෙන්නේ 14%ක් ලෙස ය. එදා රටේ ආර්ථිකය හොඳ මට්ටමක පැවැතියේ ද නැත. මහින්ද රාජපක්ෂ මහතාගේ එම පාලන සමය තුළ රුපියලේ අවප්‍රමාණය සම්බන්ධයෙන් මෙතරම් විවේචන ඉදිරිපත් වූයේ නැත. එදා විදේශීය සංචිත භාවිත කරමින් රුපියලේ අවප්‍රමාණය අඩුකරගැනීමට වෑයම් කළ ද සාර්ථක වූයේ නැත.

සාමාන්‍යයෙන් විදේශීය සංචිත භාවිත කළ යුත්තේ ඉතා පරෙස්සමෙන් ය. එසේ නොවුණහොත්; වෙනත් මුල්‍ය ගැටලුවලට මුහුණදීමට සිදු වේ. නැතහොත් වැඩි වැඩියෙන් විදේශ ණය ගැනීමට සිදු වේ. ගිය ආණ්ඩුව වැඩියෙන් ණය ගැනීමට පෙලඹුණේ ය. එහි ප්‍රතිඵලය වූයේ ණයභරිත ආර්ථිකයක් ඉතිරි වීම ය.

විදේශ ණය ගෙවීම රුපියලේ අවප්‍රමාණයට බලපාන තවත් ප්‍රධාන සාධකයකි. මේ වසර මෙන්ම ලබන වසර ද ණය හෝ පොලී හෝ ගෙවීම සඳහා විශාල විදේශ විනිමයක් වැය කළ යුතුව තිබේ. ඒවා ගෙවිය යුත්තේ රුපියල්වලින් නොව; ඩොලර්වලින් ය. ඩොලර් වැයකරන තරමට රුපියල බාල්දු වෙයි. රුපියලේ අවප්‍රමාණය ගැන වැඩි ම විවේචන එල්ලවන්නේ ඒකාබද්ධ විපක්ෂය වෙතින් ය.

එහෙත් රුපියල බාල්දුවීමට හිටපු ආණ්ඩුව කෙළින් ම වගකිවයුතු බව කිසිවෙක් සඳහන් කරන්නේ නැත. ඔවුන්ගේ විග්‍රහවලින් කියැවෙන්නේ මෙය ආර්ථික කඩාවැටීමක් හැටියට ය. රුපියලේ බාල්දුව ආර්ථිකයට බලපාන බව සත්‍යයෙකි. එහෙත් ඒ නිසා රටේ ආර්ථිකය මුළුමනින් ම කඩා වැටෙන්නේ නැත. සිදුවිය යුත්තේ උපායමාර්ගික ලෙස එයට මුහුණදීම ය.

ඩොලරයේ ගැටලුව පාදක ‍කොට ගෝලීය වශයෙන් ආර්ථික කම්පනයක් පවතී. ඉන්දියානු රුපියල 11%කින් අවප්‍රමාණය වීම දීර්ඝ කාලයකට පසු වාර්තා වූ නරක තත්ත්වයකි. ඉන්දියාව මේ තත්ත්වයට මුහුණ දෙන්නේ මැතිවරණයක් ආසන්නව තිබිය දී ය. මේ තත්ත්වය යටතේ ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දීමට ද ඉන්දියාවට සිදු විය.

ඉන්දියාවේ තෙල් මිල දවසින් - දවස වෙනස් වෙයි. මේවාට උද්ඝෝෂණ කිරීමෙන් විසැඳුම් නොලැබෙන බව ඉන්දීය රජය ජනතාවට පහදා දී ඇත. ඒ රට මේ තත්ත්වය හමුවේ සිය අපනයන ක්ෂේත්‍රය කෙරෙහි දැඩි අවධානයක් යොමු කර තිබේ. අපට ද ඇති එක ම විසැඳුම අපනයන ක්ෂේත්‍රයේ ක්ෂණික වර්ධනය බව පෙනී යයි. එහෙත් අපගේ අපනයන ක්ෂේත්‍රය තුළ ඇත්තේ මන්දගාමී වර්ධනයකි.

තත්ත්වය සමාලෝචනය කරන විට පෙනී යන්නේ ගෝලීය ආර්ථික කම්පනයෙන් පැන යෑමේ හැකියාවක් අපට නැති බව ය. අගමැතිවරයා පෙන්වා දෙන ලෙස මේවාට ඉතා බුද්ධිමත්ව මුහුණදිය යුතු ය.

 


නව අදහස දක්වන්න

Or log in with...