තරග තහනම ජේසන්ට අත වනයි | දිනමිණ

තරග තහනම ජේසන්ට අත වනයි

ෆවුස් මොහොමඩ්

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ ප්‍රබල ෆ්ලෑන්කර් ක්‍රීඩක ජේසන් දිසානායකට එරෙහිව හෙට පැවැත්වෙන විනය පරීක්ෂණයේ දී තරග තහනමක් පැනවෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉබ්‍රාහිම් හමීඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු රග්බි ආයතනයේ විනය කමිටුව හෙට ජේසන් දිසානායකට එරෙහිව විනය පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර එහිදී ඔහුට තරග තහනමක් පැනැවීමේ වැඩි ඉඩකඩක් ඇතැයි රග්බි ආයතනයේ ප්‍රකාශකයකු ‘දිනමිණ‘ට පැවැසීය. කෙසේ වුවත් මේ තරග තහනම පනවනු ලබන කාලසීමාව පිළිබඳ මෙතෙක් තහවුරු වී නොමැත.

ජාතික සත් සාමාජික රග්බි පිලේ කැපී පෙනෙන දස්කම් දක්වන 26 හැවිරිදි ජේසන් දිසානායකට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වීමට රග්බි ආයතනය තීරණය කළේ පවුලේ කටයුතු වෙනුවෙන් කාලය වැය කිරීමට අවශ්‍ය බව සඳහන් කරමින් ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ පළමු අදියර ලෙස පසුගියදා හොංකොං හී පැවැති තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමෙන් වැළකී පසුව ඔහු නියෝජනය කරන මහනුවර ක්‍රීඩා සමාජය සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර පැවැති බටහිර ආසියානු රග්බි තරගාවලියට සහභාගි වීම හේතුවෙනි.

මේ හේතුව නිසා ඔහුට මේ මස අගභාගයේ දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ දෙවැනි අදියරේ තරගාවලිය පමණක් නොව ලබන මස කොළඹ පැවැත්වීමට නියමිත එම තරගමාලාවේ අවසන් අදියරේ තරගාවලියත් අහිමිවනු ඇතැයි වාර්තා වෙයි.

රග්බි තේරීම් කමිටු ප්‍රධානී රොහාන් අබේකෝන් මහතාගේ නිර්දේශවලට අනුව ජේසන් දිසානායක කණ්ඩායම තෝරාගැනීමේදී නොසළකා හැරිය යුතු ක්‍රීඩකයකු බව රග්බි ආයතනයේ ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය.

පවතින තත්ත්වය මත ජේසන් දිසානායක ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් නොකිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. එසේ වුවත් ඉදිරියේදී සෙසු ක්‍රීඩකයන් මෙවැනි විනය විරෝධී ක්‍රියාවක නිරතවීම වළක්වාගැනීමේ අරමුණින් ජේසන්ට ජාතික කණ්ඩායම නියෝජනය කිරීම තහනම් කිරීම පමණක් නොව දේශීය තරග බිමේ ද තහනමක් පැනවීම කෙරෙහිද රග්බි ආයතනයේ අවධානය යොමුවී තිබේ.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ විනය කමිටුවට නීතිඥ ශහීඩ් සංගානි සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් එච්.එම්.එන්. ක්‍රිෂ්ණරත්න මහත්වරුද ඇතුළත් වෙති.


නව අදහස දක්වන්න

Or log in with...