ශ්‍රී ලංකා වොලිබෝල් පසු බැසීම පිළිබඳ ආන්දෝලනයක්? | දිනමිණ

ශ්‍රී ලංකා වොලිබෝල් පසු බැසීම පිළිබඳ ආන්දෝලනයක්?

ප්‍රින්ස් ගුණසේකර

ආසියානු අභියෝගතා තරගාවලි පරාජයේ සුල මුල සොයන්න විශේෂ පරීක්ෂණයක්

ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාව මූලික වටයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පරාජයවීම සම්බන්ධ සුලමුල සෙවීම වෙනුවෙන් විශේෂ වාර්තාවක් කැඳවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා නියෝග කරයි. වොලිබෝල් සම්මේලනයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දී ඇත්තේ මෙම පරාජය පිළිබඳ සර්බියානු ජාතික පුහුණුකරුගෙන් හා සහය පුහුණුකරුවන් ඇතුලු අදාල වගකිව යුත්තන්ගෙන් කරුණු විමසා වාර්තාව කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මූලික වටයේ සහභාගීවූ තෙවැනි තරගයෙන් සෞදි අරාබිය හමුවේ වට 3-1ක් ලෙස පරාජයට පත්වූ අතර, මේ හේතුවෙන් ශ්‍රී ලංකාව ‘ඒ‘ කාණ්ඩයේ දෙවැනි තැනට පත්විය. එබැවින් ශ්‍රී ලංකාවට පහසුවෙන් තරගාවලියේ පළමු හා දෙවැනි ස්ථාන වෙත යෑමේ අවස්ථා අවහිරවූ බව තරගාවලිය මුල සිටම නැරැඹූ වොලිබෝල් ප්‍රවීණයින්ගේ මතයවී තිබේ. සෞදි අරාබියාව සමග තරගයේදී ශ්‍රී ලංකා පිලේ පසුබැසීම දැඩි කතාබහට ලක්වූ අතර, එම තරගයේ පෙන්වූ දුර්වල ක්‍රීඩා විලාශය පුදුම සහගත එකක්වූ බව වොලිබෝල් ප්‍රවීණයෝ පෙන්වා දෙති.

සෞදි අරාබියාව සමග තරගයේදී ශ්‍රී ලංකා පිලේ දීප්ති හා මෙත්මාල් මෙන්ම වසන්ත යන ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින් ක්‍රීඩා නොකළ අතර මේ හේතුවෙන් සෞදි අරාබියාව පහසුවෙන් ලකුණු අතරට පිවිසියේය. දීප්ති හා මෙත්මාල් තරගය පැවැත්වෙද්දී ක්‍රීඩා කළ යුතුබවට ප්‍රකාශ කර ඇතත් ඔවුන්ට අවස්ථාව උදා නොවූ බව ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ ආරංචි මාර්ග පවසයි. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක වසන්ත තරගයට ආදේශ නොකිරීම පිළිබඳ වගකීම කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය භාරගත යුතු බවට චෝදනාවක්ද පවතී.

සෞදි අරාබියාව සමග තරගය මෙම ආසියානු අභියෝගතා කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට වැදගත්ම තරගය බවට පත්ව තිබියදී ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ දක්ෂතම මුල් පෙළ ක්‍රීඩකයින් හයදෙනා ක්‍රීඩා නොකොට කනිෂ්ඨ ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමත්, ඇතැම් ක්‍රීඩකයන් ක්‍රීඩා කිරීමට නුසුදුසු ආබාධ තත්ත්වයේ පසුවූ බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධවත් මෙම පරීක්ෂණයේදී ගැඹුරින් සොයා බලන බව අප කළ විමසීමකදී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතා පැවැසීය.

“අප මේ සම්බන්ධව කරුණු සොයා බැලීමට විශේෂ දැනුමැති සාමාජිකයන් කිහිප දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කරනවා. මේ සතියේදී විධායක සභාව රැස්වී මේ සම්බන්ධ තීරණවලට එළැඹෙනවා. පළමු පෙළ ක්‍රීඩකයින් ක්‍රීඩා නොකිරීමේ පසුබිම සොයා බැලීම මූලික කරුණක්. ඒක පැහැදිලි කරුණු අනුව සොයා බැලිය යුතුයි. යම් විදිහකින් මේ සම්බන්ධ වැරදිකරුවෙකු හදුනා ගතහොත් ඔහුට උපරිම දඩුවම් දෙනවා“ වොලිබෝල් ලේකම්වරයා පැවැසීය.

ශ්‍රී ලංකා වොලිබෝල් පිල සර්බියානු ජාතික පුහුණුකරු ඩේජෑන් වුල්සෙවික් මහතා යටතේ පුහුණුවන චාල්ස් තිලකරත්න මහතා කණ්ඩායමේ සහය පුහුණුකරු වේ. සර්බියානු ජාතික පුහුණුකරු වසරක කොන්ත්‍රාත් කාලයකට ශ්‍රී ලංකා පිල භාරව සිටින අතර දැනට මාස 7ක කාලයක් ගෙවී ගොස් ඇත.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ආසියානු අභියෝගතා කුසලාන තරගාවලියේ තුන්වැනි හා සිවුවැනි ස්ථාන තොරා ගැනීමේ සටනේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරග වට 3-0කින් බංග්ලාදේශය පරාජය කොට තෙවැනි තැනට පත්විය.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ අංක එක හෝ දෙක ස්ථාන වාර්තා කොට ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ආසියානු වොලිබෝල් ශූරතාවලියට උසස්වීම කෙරෙහි තබා තිබූ බලාපොරොත්තු ශ්‍රී ලංකාවෙන් ඉවතට ගිය අතර අවසන් මහා තරගයේදී පළමු වටයේදී ශ්‍රී ලංකාව පරාජය කළ සෞදි අරාබිය ශූරතාවට හිමිකම් කීය. තරගාවලියේ දෙවැනි තැනට කටාර් පත්විය.

මෙම තරගාවලියට ‘ඒ‘ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, මැලේසියාව, හොං කොං, කසකස්තානය හා ‘බී‘ කාණ්ඩයෙන් මොන්ගෝලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය. බංග්ලාදේශය, ඉරාකය යන රටවල් එක්ව සිටියහ.

නව අදහස දක්වන්න