මාවුස්සාකැලේ ජලාශයේ නොදිරන අපද්‍රව්‍ය ඉවතට | දිනමිණ

මාවුස්සාකැලේ ජලාශයේ නොදිරන අපද්‍රව්‍ය ඉවතට

ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් ප්‍රධාන ජලාශයක් වන මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ මතුපිට ජලයේ තැන්පත්ව ඇති දිරා නොයන ඝන අපද්‍රව්‍ය රැස් කිරීමේ දෙවැනි පියවරේ ශ්‍රමදානය පසුගිය දා එම ජලාශයේ දී පැවැත්විණි.

මාවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන ශ්‍රීපාද රක්ෂිතයේ සිට නල්ලතන්නිය හරහා ජලාශයට ගලා බසින, සීත ගඟුල ඔයට බැහැර කර ඇති දිරා නොයන ඝන අපද්‍රව්‍ය ටොන් ගණනක් මවුස්සාකැලේ ජලාශයේ මෝහිණී දිය ඇල්ල පාමුල තැන්පත්ව ඇති අතර, එම ඝන අපද්‍රව්‍ය තොගය රැස් කිරීම මේ ශ්‍රමදානයේ දී සිදු කෙරිණි.

මාවුස්සාකැලේ ජලාශ ආරක්ෂාවට යොදවා ඇති බෝට්ටු හා ජලාශයේ ධීවර ප්‍රජාවගේ ඔරු උපයෝගී කර ගනිමින් මෙහි දී ඝන අපද්‍රව්‍ය එක් රැස් කිරීම සිදු කෙරිණි.

මෙහි දී එක් රැස් කරන ලද ප්ලාස්ටික් බෝතල් ඇතුළු දිරා නොයන ඝන අපද්‍රව්‍ය තොගය ජලාශයේ ආරක්ෂක අංශය මගින් මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සෞබ්‍ය අංශය වෙත භාර දෙන ලදී.

මෙහි දී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සී. ජී. එස්. ගුණසේකර මහතා කියා සිටියේ, ජාතික සම්පතක් වන මාවුස්සාකැලේ ජලාශයට දිරා නොයන ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් වැළකී සිටින ලෙස ජලාශය අවට පදිංචිකරුවන්ගෙන්, නල්ලතන්නිය නිවාඩු නිකේතන හිමියන්ගෙන්, ශ්‍රීපාද වන්දනාකරුවන්ගෙන් හා මස්කෙළිය, සාමිමලේ නගරවාසීන්ගෙන් ඉල්ලා සිටින බවය. ජලාශය හා පරිසරය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙවැනි ශ්‍රමදාන ලංකා විදුලිබල මණ්ඩලය මගින් දිගින් දිගටම ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා වැඩි දුරටත් පැවැසීය.


මස්කෙළිය සමූහ ගාමිණී
බණ්ඩාර ඉලංගන්තිලක


නව අදහස දක්වන්න

Or log in with...