ආචාර්ය කොලොන්නාවේ ශ්‍රී සුමංගලාභිධාන මහානායක හිමිපාණෝ | දිනමිණ

ආචාර්ය කොලොන්නාවේ ශ්‍රී සුමංගලාභිධාන මහානායක හිමිපාණෝ

අද 24 දිනට යෙදෙන මහා නාහිමි ජන්ම දිනය නිමිත්තෙනි.

අමරපුර සිරි සුමන මහා නිකායේ මහානායක පදවිය ආචාර්ය කොලොන්නාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේට පිළිගැන්වීමේ “ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය” පසුගිය සැප්තැම්බර් 16 දා තෛනිකායික මහා නායක වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඇතුළුව අමාත්‍යවරුන් හා දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ඉතා සිල්වත්, ගුණවත්, වියත්, සුපේශල, ශික්ෂාකාමී ධර්මධර, විනයධර, මධුරමනෝහර විචිත්‍ර ධර්මකථික සංඝ පීතෘන් වහන්සේ නමක් වූ ආචාර්ය කොලොන්නාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් සංඝ සමාජයේ, ශාසනයේ මෙන්ම පොදු ජනතාවගේ උන්නතිය වෙනුවෙන් උත්කෘෂ්ඨ සේවාවක් සිදුකළ හා සිදුකරන තෙරනමක් බව කෘතවේදීව සිහිපත් කළ යුතුය. මහානායක ධුරන්දර අපේ හාමුදුරුවන්ට අභිනව පදවි ප්‍රාප්තියත් සමඟ තව තවත් සිය ශාසනික හා සමාජ මෙහෙවරද පොදු ජනතාවගේ සැනසීම පිණිස බුදු බණ කියා දෙන්නට ද ඇති දැඩි අධිෂ්ඨානය මුදුන්පත් කරගැනීමට හැකිවනු ඇත.

මෙහිදී අමරපුර නිකාය වංශය පිළිබඳව කෙටි සඳහනක් කිරීමද වැදගත් ය. රාජ්‍ය වර්ෂ 1803 දී අමරපුර භික්ෂු වංශය ආරම්භ වූ අතර, විවිධ ශාසනික කරුණු මත අද වනවිට නිකාය 22 දක්වා ව්‍යාප්තව ඇත. ශ්‍රී බුද්ධ වර්ෂ 2354 දී හෙවත් රාජ්‍ය වර්ෂ 1811 දී දඩලු පරම්පරායත්ත අමරපුර සමාගම එනම් වත්මන් අමරපුර සිරිසුමන දඩලු මහා නිකාය පාර්ශ්වය ආරම්භ විය. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවටද මෙම සිරිසුමන නිකාය අයත් වේ. අධිරාජ්‍යවාදීන්ගේ ආක්‍රමණ හේතුවෙන් පිරිහෙමින් පැවති ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය යළි නගාසිටුවීමට විශේෂයෙන් දිවයිනේ මුහුදුබඩ පෙදෙස්වල සිංහල ජනයා සුරක්ෂිත කිරීම හා බෞද්ධ පුනර්ජීවනය වෙනුවෙන් “අමරපුර නිකාය වංශය” විසින් උදාර මෙහෙවරක් සිදුකරනු ලැබ ඇත. එම අමරපුර වංශය ගුරුකොට ගාල්ල දඩල්ලේ වාලුකාරාම මහා විහාරය මුල්කරගනිමින් බිහි වූ දඩලු පරම්පාරායත්ත අමරපුර සිරිසුමන නිකාය පාර්ශ්වය කපුගම ධම්මරක්ඛන්ධ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර සිය නිකායේ ප්‍රථම මහානායක පදවියද උන්වහන්සේ විසින් උසුලමින් උදාර මෙහෙවරක් සිදුකරන ලදී.

සිංහල බෞද්ධ පුනරුදයක දැඩි අවශ්‍යතාවක් පවතින වත්මන් යුගයේ ආචාර්ය කොලොන්නාවේ ශ්‍රී සුමංගල ස්වාමින්වහන්සේ අමරපුර සිරිසුමන නිකායේ 9 වන මහානායක පදවියෙන් පිදුම් ලැබීම ඓතිහාසික ආගමික හා සමාජ මෙහෙවර ඉදිරියට ගෙන යාම උදෙසා වූ කාර්යශූර උදාරතර නායකත්වයක සම්ප්‍රාප්තියක් ලෙස බොදු ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වනු ඇත. සිය නිකායේ මහානායක පදවිය මෙතෙක් දකුණේ මහානායක හිමිවරුන් විසින් උසුලාගෙන විත් අගනුවර කේන්ද්‍රකොට ගෙන ආචාර්ය කොලොන්නාවේ ශ්‍රී සුමංගල හිමිපාණන්ට පිරිනැමීමට හැකිවීම බෞද්ධ පුනර්ජීවනය නව මානයකින් සිරිලක සතර දිග්භාගයට පැතිරවීමටත් හා ජාත්‍යන්තරකරණයටත් මහත් පිටිවහලක් වන බව කිව යුතු ය. ශ්‍රී බුද්ධවර්ෂ 2354 හෙවත් රාජ්‍ය වර්ෂ 1811 සිට රාජ්‍ය වර්ෂ 2018 දක්වා වර්ෂ 207 ක ඇවෑමෙන් උදාවූ වත්මනේ ශ්‍රී සුමංගල නාහිමියන් මැදිවියේදීම සිය නිකායේ මහානායක පදවියට පත්වීම සුවිශේෂ ඓතිහාසික ශාසනික කටයුත්තක් වන අතර, බෞද්ධ ශාසන ඉතිහාසයට නව පිටුවක්ද වනු ඇත. නිකාය බෙදීම් වළක්වා එක්සත්ව ලොවට බුදුබණ කියා දෙමින් ශාසනික මෙහෙවරට දායකවීම උන්වහන්සේගේ ප්‍රාර්ථනයයි. කොලොන්නාව සාලමුල්ලේ ආනන්ද්‍රරාමයෙන් ඇරඹි ශ්‍රී සුමංගල හිමියන්ගේ පැවිදි මග ශ්‍රී දෙව්රම් මහා විහාරය ඔස්සේ බබළවමින් බොදු සසුනේ තිරජීවනය සහතික කරන්නට උන්වහන්සේට අවස්ථාවද වාසනා මහිමය උදාවී ඇත.

1969 සැප්තැම්බර් මස 24 වන දින කොලොන්නාව ප්‍රදේශයේදී ජන්ම ලාභය ලැබූ ශ්‍රී සුමංගල හිමියන්ගේ පියාණන් වහන්සේ වූයේ එවකට පූර්ණ චන්ද්‍ර විජේසිංහයන්ය. මෑණියන් වහන්සේ වූයේ සුමනා හෙට්ටිආරච්චි මහෝපාසිකාවය. ගිහි ජීවිතයේ සුජීව ශ්‍රී සරත්චන්ද්‍ර නම් පින්වත් කුමරුවා වයස 13 ළමා වියේදීම පූජ්‍යපාද පණ්ඩිත මිරිස්සේ පියදස්සී නාහිමියන්ගේ ශිෂ්‍ය රත්නයක් ලෙස “කොලොන්නාවේ ශ්‍රී සුමංගල” නමින් පැවිදි ජීවිතයට ඇතුළත් වූහ. පැවිදි පින්කමට වැඩම කළ විචිත්‍ර ධර්ම කථික නමක් වූ කොටිකාවත්තේ සද්ධාතිස්සාභිධාන නාහිමියන් “සිත්වලට දැනෙන හා කාවදින ලෙස මුළු රටටම බණ කියන්න හුරුවෙන්නැයි” ශ්‍රී සුමංගල හිමියන්ට අනුශාසනා කර ඇත. ආචාර්ය ශ්‍රී සුමංගල හිමියන්ගේ විචිත්‍ර ධර්ම දේශනාවන්ට සවන් දෙන අපට කොටිකාවත්තේ නාහිමි ප්‍රකාශය යථාර්ථයක් වී ඇති බව ප්‍රත්‍යක්ෂ වේ.

ඉන්දියාවට වැඩම කරමින් බුදුපියාණන් වහන්සේ වැඩ සිටි පරම පූජනීය ස්ථාන දැකබලා වන්දනා කරමින් තම ශාසනික හා සමාජ ජීවිතයට ඉමහත් පිටිවහලක් ලබාගත් සුමංගල හිමියන් යෝගී අභ්‍යාසද ප්‍රගුණ කළහ. සිත දියුණු කර ගනිමින් බුදුගුණ බලයෙන් රෝග සුවපත් කළ හැකි මහ තෙරනමක් ලෙස ප්‍රකට උන්වහන්සේගෙන් සෙත් ශාන්තිය උදාකරගැනීම පිණිස විවිධ ගැටලුවලින් පීඩාවට පත් පිරිස් නිරන්ත‍රයෙන් දෙව්රම් වෙහෙරට පැමිණෙන බව කිව යුතුය. සුමංගල හිමියන් මෙහෙය වූ “අධිෂ්ඨාන පූජාව” මහත් ඵල ගෙන දෙන ධාර්මික වැඩසටහනක් ලෙස ජනතාවට සමීප වූ අතර “ශීල සමාදාන” වැඩසටහන යොවුන් පරපුරට ආශිර්වාදයක් වූ බවද සඳහන් කළ යුතුය.

පන්නිපිටිය ප්‍රදේශයේ පර්චස් 14 ක කුඩා බිම් පියසක ඉදිකර වූ “ශ්‍රී දෙව්රම් වෙහෙර මහා විහාරය” වත්මනයේ අක්කර 12 ක් දක්වා ව්‍යාප්ත කර ශ්‍රී සුමංගල හිමියන්ගේ සංකල්පයන් ඔස්සේ නිර්මාණ කර්තෘත්වය දරමින් දැඩි අධිෂ්ඨානශීලීව බුද්ධාලම්භන ප්‍රීතිය වඩවන මනස්කාන්ත වූත්, දර්ශනීය වූත්, පුදබිමක් කෙටි කාලයක් තුළ ඉදිකර ඇත. පුදබිමේ සංවර්ධනයට සැදැහැවතුන්ගේ නොමසුරු ධන පරිත්‍යාග ලැබී ඇති බවද කෘතවේදීව සිහිපත් කළ යුතුය. විහාර පරිශ්‍රය තුළ ත්‍රිපිටකය ශිලා ලේඛන ගත කර ඇත. එය දුර්ලභ ශාසනික මෙහෙවරක් වන අතර බැතිමතුන්ගේ වන්දනාව පිණිස බෞද්ධ සාහිත්‍යාංග හා අදාළ පිළිරූ ආකර්ෂණීය ලෙස නිමවා ඇත. බුද්ධ වන්දනාව, මව්පිය වන්දනාව, මහාමායා වන්දනාව අ‍ාදී සංකල්ප ඇතුළත් මැදින් මහා පෙරහර රටටම ආශිර්වාදයක් ලබාදෙන පෙරහර මංගල්‍යයක් ලෙස හැඳින්විය හැකිය. බුදුන් වැඩ සිටි සැවැත් නුවර ජේතවනාරාමය එනම්, දෙව්රම් වෙහෙර සිහිගන්වන ජනසිත් සතන් සකසන හා සනසන පුද බිමක් වූ දෙව්රම් වෙහෙර මහා විහාරය අද අමරපුර සිරිසුමන මහා නිකායේ මූලස්ථානයද වෙයි.

දෙමව්පියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට සැලකීමේ හා ගරු බුහුමන් දැක්වීමේ ගුණ ධර්මය ප්‍රගුණ කර ඇති උන්වහන්සේ එම ගුණ ධර්මයන් මතු පරපුරටද උගන්වයි. සිය ගුරුදේවෝත්තම පූජ්‍ය පණ්ඩිත මිරිස්සේ පියදස්සී නාහිමියන් මෙන්ම අතිපූජ්‍ය මාතර විමලරතන නායක හිමියන්ද රැකබලා ගනිමින් ගිලන් වූ විට මහත් ඕනෑකමින් කැපවෙමින් ගිලා‍නෝපස්ථාන සිදුකිරීම සැමට ආදර්ශයක් සපයයි.

ලියුම්කරු විසින් අමරපුර සිරිසුමන නිකායේ මහානායක හිමිවරුන් සිව්නමකට සෙවණ දුන් බූස්ස ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහ විහාරයේ අටවිසි ‍බෝධි රෝපණය කර ඉදිකළ අටවිසි බෝධි මළුව ශාසනයට පූජා කිරීමේ පින්කමට වඩින ලෙසට සුමංගල හිමියන්ට ආරාධනා කළ විට කාර්ය බහුල වුවත්, මහත්තයලා ආරාධනා කරනවිට වඩින්නැතිව ඉන්නේ කොහොමදැයි” පවසා උත්සව දින වැඩම කර විශිෂ්ට දම් දෙසුමක් පවත්වමින් පින්කම පරිපූර්ණත්වයට පත් කළහ. පූජා කළ පිරිකරද එම විහාරස්ථානයටම පිරිනැමූහ. සිව්පස කිසිවක් කෙරෙහි නොබැඳි ඒවා ගිහි පැවිදි පිරිස් සඳහා දන්දීම උන්වහන්සේගේ බෝධි සත්ව ගුණයයි.

දිවයිනේ විවිධ නිකායන්ගෙන් මෙන්ම විවිධ සංවිධානවල ගෞරවාදරයට පාත්‍ර වූ ශ්‍රී සුමංගල නාහිමියන්, කම්මට්ඨාන විශාරද, ත්‍රිපිටක විශාරද, සද්ධර්ම වාගීශ්වර, ශ්‍රී සම්බුද්ධ ධර්ම විශාරද, සිරිසුමන ධම්මාධි ධම්ම රාජාධි රාජගුරු, පණ්ඩිතාචාර්ය ශ්‍රී පියදස්සී විමලරතන වංශාලංකාර ප්‍රවචන කීර්ති ශ්‍රී සම්බුද්ධ ශාසනජෝති විද්‍යා විශාරද ආදී ගරු සම්මාන රැසකින්ද පිදුම් ලබා දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙන්ද ගරු සම්භාවනාවට පාත්‍ර වී ඇති මහා නායක හිමිනමකි.

 

ශාස්ත්‍රපති දීපාල් ද සිල්වා
ශාසන විභූෂණ,
ශ්‍රී ලංකාතිලක දේශමාන්‍ය


නව අදහස දක්වන්න

Or log in with...