ආදායම් බදු නොගෙවන පැමිණිලි 5000ක් | දිනමිණ

ආදායම් බදු නොගෙවන පැමිණිලි 5000ක්

විජයානි එදිරිසිංහ

දැනට 2500ක් විභාගයේ

දෙස් විදෙස් වශයෙන් මහා පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන කෝටිපති ව්‍යාපාරිකයන් විසින් ලබන ලාභය වෙනුවෙන් රජයට ගෙවිය යුතු ආදායම් බදු පැහැර හැරීමට අදාළව ආදායම් බදු දෙපාර්තමේන්තුව මඟින් පවරන ලද පැමිණිලි පන්දහසක් පමණ තිබෙන අතර මේ වන විට ඉන් දෙදහස් පන්සියයක් පමණ විභාග වෙමින් පවතී.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු සහ අධිකරණ වාර්තාවලින් පෙන්නුම් කරනු ලබන තොරතුරුවලට අනුව ආදායම් බදු ගෙවීම පැහැර හරින කෝටිපති ව්‍යාපාරිකයින් විසින් රජයට ගෙවිය යුතු එහෙත් ගෙවීම් පැහැර හැර ඇති මුදල් ප්‍රමාණය ගණනය කරනු ලැබුවහොත් එය රුපියල් කෝටි පන්දහස ඉක්මවා යන බවද හෙළිදරව් වෙයි.

දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර සම්බන්ධතා ඇතිවද කරගෙන යනු ලබන මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාර ගණනාවක් වර්ෂයකට ඔවුන් විසින් ගෙවිය යුතු කෝටි ගණන් ආදායම් බදු ගෙවීම් පැහැර හැර ඇති බවද අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවලින්ද හෙළිදරව් වී ඇත.

කොළඹ අලුත්කඩේ මහාධිකරණ සංකීර්ණයේ ආදායම්බදු ගෙවීම පැහැර හරිනු ලබන ව්‍යාපාර වෙනුවෙන් පවරන ලද නඩු විභාග කිරීම සඳහා වෙනම මහාධිකරණයක් හමුවේ නඩු විභාග වෙයි.

ආදායම්බදු දෙපාර්තමේන්තුව විසින් පවරනු ලබන නඩුවලින් බො‍හෝ ප්‍රමාණයක් බොහෝ අවස්ථාවල එම දෙපාර්තමේන්තු නීතිඥවරුන් විසින් ඉල්ලා අස්කරගනු ලැබීමද නිරතුරුවම සිදුවේ.

ආදායම් බදු දෙපාර්තමේන්තු නීතිඥවරුන් විසින් අධිකරණයේදී එසේ නඩු ඉල්ලා අස්කරගැනීම සම්බන්ධයෙන් විවිධ මත ප්‍රකාශයට පත්වෙයි. එහිදී පසුගිය අවස්ථාවක එම මහාධිකරණයේ විනිසුරුවරයෙකු විසින් නඩු ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසූ විට එම නීතිඥවරයා කියා සිටියේ වැරදීමකින් එසේ නඩු පැවරීමක් සිදුවී ඇති බවයි.

මෙරට විශාල වශයෙන් ව්‍යාපාර පවත්වාගෙන යන සහ විවිධ ආකාරයෙන් විශාල වශයෙන් වත්කම් උපයා ගෙන ඇති පුද්ගලයින්ගෙන් එම ආදායමට සරිලන බද්දක් අය කර ගැනීම මෙරට නීතියක් වෙයි. එම නිසා එම නීතිවලට යටත්ව සෑම කෙනෙකුම ආදායම් බදු ගෙවීම පැහැර හැර සිටීම විශාල වරදක්. එසේ ආදායම්බදු ගෙවීම පැහැර හරිනු ලබන පුද්ගලයන්ට දඩයක් නියම කරනු ලබයි. එම දඩය වැරැද්ද කළ පුද්ගලයාට දඬුවමක් මෙන්ම රජයට ආදායමකි. රජයට ලැබිය යුතු දඩ මුදල් එසේ රජයට නොලැබී නඩු ඉල්ලා අස්කර ගැනීම හරහා එම මුදල වක්‍රාකාරයෙන් තුන්වන පාර්ශ්වයකට අයිති කර ගැනීමද බරපතළ වරදක් බව පැවසේ.

හොර රහසේ දෙස් විදෙස් මූල්‍ය ආයතනවල ගිණුම් පවත්වාගෙන යමින් නියමිත ආදායම් සඟවාගෙන කටයුතු කරන ව්‍යාපාරිකයින් කොටුකර ගැනීමට ආදායම් බදු නිලධාරීහු නිරතුරුවම වැටලීම් සිදු කරමින් සිටිති.

නව අදහස දක්වන්න