මානෙල් රාජ්කුමාර් WCICSL රිදී සම්මානයෙන් පිදුම් ලබයි | දිනමිණ

මානෙල් රාජ්කුමාර් WCICSL රිදී සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCICSL) සංවිධාන කළ වසරේ කාන්තා ව්‍යවසායිකාව 2018 සම්මාන උළෙලේදී D&R Exports සමාගමේ (අරලිය නිෂ්පාදන) මානෙල් රාජ්කුමාර් මහත්මිය මහා පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඇය සහ ඇයගේ සැමියා වන රාජ්කුමාර් මහතා 1998දී ඇරැඹූ අරලිය ව්‍යාපාරය විදේශවල සුවිශාල කීර්ති නාමයක් ලබා ඇති, ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙනෙන සාර්ථක ව්‍යාපාරයක් වී ඇත.

ඇය කුඩා මෝටර් රථයක් යොදා ගෙන නිවසේ සිටම ලුණු දෙහි අපනයනයෙන් ව්‍යාපාරය අරඹන්නේ සැමියාගේ ව්‍යාපාර හදිසියේම අඩපණ වීමත් සමඟය. ලුණු දෙහි, කරවල බැදුම් ආදිය මුලින්ම සාදා අපනයන කළ ඇය මේ වන විට අරලිය සන්නාමයෙන් පොල් සම්බෝල, චට්නි, ඇඹරැල්ලා කරි, අඹ කරි, පොලොස් කරි, අච්චාරු, කරවල පච්චාඩි, කරවල මෝජු, බ්‍රයින් වෝටර් තුළ දැමූ දෙල්, මුරුංගා, කොස්, පොලොස්, කොහිල, කෙසෙල් මුව ආදිය තමන්ගේම වට්ටෝරු අනුව සකසා නිෂ්පාදන පරාසය පුළුල් කර ඇත.

ඕස්ට්‍රේලියාව, ඩුබායි, ඇමරිකාව, කැනඩාව, නවසීලන්තය, ස්විට්සර්ලන්තය, ජර්මනිය, ඉතාලිය ආදී රටවලට අරලිය නිෂ්පාදන අපනයනය කෙරෙන අතර, දේශීය ගොවීන්ට ද මෙමගින් ලැබෙන්නේ විශාල සහයෝගයකි. මේ වන විට රාජ්කුමාර් මහත්මිය 200කට අධික පිරිසකට සෘජු සහ වක්‍ර රැකියා සපයා ඇත. ඇය දුප්පත් ගෘහණියන්ට අතිරේක ආදායමක් උපයා පවුලේ ආර්ථිකය කළමනාකරණය කිරීම හා ස්වයං රැකියා පිළිබඳව දිවයින පුරා නොමිලේ දේශන පවත්වයි. ‘පොඩි කාලෙම මගේ තාත්තා නැති වුණා නිසා පවුලේ වගකීම් සියල්ල අතට ගත්තා. රැකියාවක් කළා. මම දෙවියන් වහන්සේ ගැන තිබූ විශ්වාසය මේ තැනට එන්න ලොකු උදව්වක් වුණා.‘ රාජ්කුමාර් මහත්මිය පවසයි. ඇය සෙනසුරාදාට ගුඩ්මාකට්හි දේශීය කෑම වර්ගවලින් (Araliya Food) සපිරි ආපනශාලාවක් ද පවත්වාගෙන යයි.

නව අදහස දක්වන්න