ප්‍රීති­මත්ම දරුවො ඉන්නේ කොහේද? | දිනමිණ

ප්‍රීති­මත්ම දරුවො ඉන්නේ කොහේද?

තම දරුවන් නීරෝගීව, සතුටින් සිටිනු දැකීම, සෑම මවුපියකුගේම අපේක්ෂාව ය. එනමුත්, එවැනි වාතාවරණයක් උදාකර ගැනීම පහසු කටයුත්තක් නොවේ. දරුවන් නීරෝගීව, සතුටෙන් තබා ගැනීමට නම්, ඔවුනට ලබාදෙන ආහාර පිළිබඳ මවුපිය සැළකිල්ල යොමුවිය යුතු ය. දරුවන්ගේ සෞඛ්‍යයට හිතකර ආහාර ලබා දීමට උනන්දු විය යුතු ය.

සුප්‍රකට ‘Lancet’ සඟරාව පවසන පරිදි, අද වනවිට ලෝකයේ වෙසෙන දරුවන්ගෙන් වඩාත්ම සතුටින් පසුවන්නේ, ජපානයේ දරුවන් ය. මේ දරුවන්ගේ ජීවිත සතුටින් පිරීගොස් ඇත්තේ, ඔවුන්ගේ මවුපියන් ලබාදෙන සෞඛ්‍ය සම්පන්න ආහාර නිසා ය. එමෙන් ම, මේ දරුවන් සෙසු රටවල දරුවන් සමඟ සැසඳීමේදී, නීරෝගී බවින් ඉහළ තත්ත්වයක පසුවන අතර, ඔවුන්ගේ ජීවිත අපේක්ෂාව ද ඉහළ බව මේ සඟරාව පවසයි.

ජපානයේ දරුවන්ට මෙවැනි සතුටුදායක ජීවන මට්ටමක් වෙත ළඟා වීමට හැකිවී ඇත්තේ කවර හේතු නිසා ද? මේ එම කරුණු ය.

• දරුවනට විවිධත්වයෙන් යුතු ආහාර වර්ග ලබාදීම

දරුවන් නිරතුරුවම එක ම ආහාර වර්ග අනුභව කිරීමට අකමැත්තක් දක්වන බව නොරහසකි. මේ බව හොඳින් අවබෝධ කරගෙන සිටින ජපාන මවුපියන්, විවිධත්වයෙන් යුතු සෞඛ්‍යමත් ආහාර තම දරුවනට ලබා දෙයි. ඒ මඟින්, ආහාර රටාව ඒකාකාරීත්වයෙන් බැහැර කරයි.

• ආහාර අනුභව කිරීම සතුට දනවන කාර්යයක් බවට පත් කිරීම

විවිධ ආහාර වර්ග ලබාදෙන අතරතුර, දරුවන් ආහාර අනුභව කිරීමේදී, විවිධාකාර අණකිරීම් නොකිරීමට ජපාන මවුපියන් සැම විටෙකම වගබලා ගනී.

• කුඩා පිඟානකට ආහාර ලබාදීම

කුඩා පිඟානකින් ආහාර අනුභව කිරීමට කැමැත්ත දැක්වීම පිටුපස ඇත්තේ, කිසියම් මානසික තත්ත්වයකි. කුඩා ළමෝ විශාල පිඟානක ආහාර අනුභව කිරීමට මැළි වෙති. කුඩා පිඟානක ආහාර අනුභව කිරීමේදී, ඔවුනට විශාල පිඟානක ආහාර අනුභව කිරීමේදී ඇතිවන බියජනක හැඟුම් පහව යයි. කුඩා පිඟානකින් ආහාර ගැනීමේදී, තමන්ට කැමැති ආහාර තමන්ම බෙදා ගන්නට ඔවුහු දිරිමත් වෙති.

• ආහාර ගැනීමේදී පවුලේ සියලු දෙනාම එකට එකතු වීම

කුඩා දරුවන් මවුපියන් සමඟ ආහාර ගැනීම මෙන් ම, ආහාර පිසින විටදී දරුවන් මුළුතැන්ගෙට රැගෙන ගොස්, එම කටයුතු කරන ආකාරය ඔවුනට පෙන්වීම සුදුසු බව අධ්‍යයනයකින් හෙළිවී ඇත. එමඟින් දරුවන් යහපත් ආහාර අනුභවයට යොමුවන බව හෙළිවී තිබේ.

• දරුවන් දිවීම් පැනීම් වැනි

ක්‍රියාකාරකම්වල යෙදවීම

නීරෝගිමත් ජීවන රටාවක් රඳා පවත්නේ, ශාරීරික ක්‍රියාකාරකම් නිසා ය. ජපාන ජනතාව නිතරම උනන්දුවක් දක්වන්නේ බයිසිකල් පැදීමට සහ කෙටි දුරක් අතර ඉක්මනින් ඇවිද යාමට ය. මෙවැනි ක්‍රියාකාරකම් තම දරුවනට හුරු කරවීමට ජපාන මවුපියෝ උනන්දු වෙති. දිවීම්, පැනීම් වැනි ක්‍රීඩාවලට දරුවන් යොමු කරවීමට ඔවුහු වගබලා ගනිති. දරුවන් පැය ගණන් නිවෙස තුළ සිරවී, වීඩියෝ ක්‍රීඩාවල යෙදීමට වඩා බෙහෙවින් වැදගත් වන්නේ, එවැනි ක්‍රියාකාරකම් බව ඔවුන් වටහා ගෙන ඇත.

සුජීව තේව­හෙ­ට්ටිගේ
‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ ඇසු­රෙනි

නව අදහස දක්වන්න