20ට විරුද්ධ වෙන්න කාටවත් බැහැ | දිනමිණ

20ට විරුද්ධ වෙන්න කාටවත් බැහැ

 *බලයට ආ පසුව පොරොන්දු අමතකයි
 * පළාත් සභාවලට අමුතු බලයක් 20න් ලැබෙන්නෙ නෑ

විජිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජවිපෙ ප්‍රචාරක ලේකම්

20 වැනි සංශෝධනය පිළිබඳ දැනුම්වත් කිරීමට මහනාහිමිවරුන් සමඟ පැවැති හමුවේ ප්‍රතිඵල, එකී සංශෝධනයට එරෙහිව නැඟෙන විවිධ චෝදනා, 20 වැනි සංශෝධනය ඊළමට පාරකැපීමක් ද, එමඟින් ජනාධිපතිධුරයට සිදුවන බලපෑම කුමක් ද? පාර්ලිමේන්තුවේ සහ ජනමතවිචාරණයකින් 20 සම්මත කිරීමේ හැකියාව තිබේ ද ආදී කරුණුවලට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් එහා ඉවුරට එක් වේ.

20 ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දැනුවත් කිරීමට මහනායක හිමිවරු මුණගැහෙන්න පක්ෂ නායකයා ඇතුළු පිරිසක් ගියා. උන්වහන්සේලා සංශෝධනය සම්බන්ධයෙන් දරන මතය කුමක් ද?

උන්වහන්සේලා බැහැදැකලා, අපි 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන පැහැදිලි කිරීමක් කළා. එහෙම පැහැදිලි කරනකොට, ඉඩම් බලතල, පොලිස් බලතල පළාත් සභාවලට යොමුවෙනවද කියලා උන්වහන්සේලා අපෙන් ඇහුවා. එහෙම ප්‍රචාරයක් යනවා කියලත් උන්වහන්සේලා කිව්වා. මේ කාරණය සම්පූර්ණයෙන් අසත්‍යයක්. පළාත් සභාවල ඉඩම් බලතල, පොලිස් බලතලවල කිසිදු වෙනසක් සිදු වෙන්නෙ නෑ.

ඒ සම්බන්ධයෙන් පූර්ණ බලතල පෙර පැවැති ආකාරයටම ජනපතිවරයාට තියෙනවා. ආණ්ඩුකාරවරුන් පත්කිරීම හා ඉවත් කිරීමේ බලය තියෙන්නෙත් ජනපතිවරයාට. යම් පළාත් සභාවක් හෝ දෙකක් වෙනම රාජ්‍යයක් ලෙස සඳහන් කළොත් එය විසුරුවා හැරීමේ බලය තියෙන්නෙත් ජනපතිවරයාට. ඒ නිසා පළාත් සභාවල කිසිදු වෙනසක් 20 සංශෝධනයෙන් වෙන්නෙ නෑ. රට බෙදෙන, කඩන කිසිම දෙයක් මේ තුළ වෙන්නෙ නෑ කියන එක අපි මහනායක හිමියන්ට පහදලා දුන්නා. මවලා තියෙන බිල්ලාගේ අසත්‍ය ගැන අපි උන්වහන්සේලාට වටහලා දුන්නට පස්සේ, 20 වැනි සංශෝධනය ගෙන ඒම සම්බන්ධයෙන් අපට ප්‍රසාදය පළ කළා.

20 සංශෝධනයෙන් ඉල්ලන්නේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලයි. එහෙම කළොත් පත්වෙන ජනාධිපතිවරයා බල රහිත ජනපතිවරයෙක් නොවෙයි ද?

අනිවාර්යයෙන් බලතල සීමාවීමක් වෙනවා. පළාත් සභා විෂයට හැර අනෙකුත් සියලුම බලතල අඩුවීමක් වෙනවා. ඇමැතිවරු පත්කිරීම, ලේකම්වරු පත්කිරීම හා ඉවත් කිරීම, තානාපතිවරු පත්කිරීම ඉවත් කිරීම, අපරාධකරුවන් නිදහස් කිරීම යන සියලු දේවල් ජනපති බලතලවලින් ඉවත් වෙනවා. රටේ ආර්ථිකය මෙහෙය වන්න තනි පුද්ගලයකුට හැකියාවක් නෑ. ඒ බලය කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට, ව්‍යවස්ථා සභාවට යන ආයතන තුනට බෙදී යනවා. ඒ නිසා ඒකාධිපතියෙක් බිහිවෙන එක හා ඒකාධිපති පාලකයෙක් තනතුරට පත්වීම වැළකෙනවා.

සංශෝධනය සිදු වුණොත් රාජ්‍යයේ නායකයා කවරෙක් ද? රාජ්‍යයේ ව්‍යුහය සකස් වෙන්නේ කොහොම ද?

කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ අගමැතිවරයා ඇතුළු ඇමැතිවරු. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වෙන්නෙ නෑ. ජනාධිපතිවරයාට කිසිම විෂයක්, අමාත්‍යාංශයක් දරන්න හැකියාවකුත් නෑ. පත්වෙන ජනාධිපතිවරයා තනතුරට පත්වීමට කලින් යම් දේශපාලන පක්ෂයක තනතුරක් දැරුවා නම්, ඒ සියලු තනතුරුවලින් ඉවත් වෙන්න ඕන, ඒ පක්ෂයේ සාමාජිකත්වයෙනුත් ඉවත් වෙන්න ඕන. පත්වන ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයා වගේම සේනාධිනායකයා ද වෙනවා. ආණ්ඩුව මෙහෙයවීමේ බලතල තියෙන්නේ අගමැතිවරයාට හා කැබිනට් මණ්ඩලයට.

ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමට අපි යෝජනා කරන්නේ, පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවෙන් 113කගේ ඡන්දයකින් පත් කළ යුතුයි කියලයි. පත්කරගන්නා ජනපතිවරයා පාර්ලිමේන්තුවෙන් හෝ ඊට පිටතින් පත් කළ හැකියි යන්නත් අපි සංශෝධනයේ යෝජනා කරලා තියෙනවා. එහෙම සංශෝධනයක් එකතු කරන්නේ, පාර්ලිමේන්තුව නියෝජනය කරන ඕනෑම පක්ෂයකට එකඟවිය හැකි පුද්ගලයෙක් ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීමටයි.

ගෙන එන්නට සැරසෙන ව්‍යවස්ථා සංශෝධනයෙන් රට අස්ථාවර වන බවත්, පවතින විධායක ජනපති ක්‍රමයෙනුත් රට අස්ථාවර වී ඇති බවත්, පක්ෂ, විපක්ෂ දේශපාලන මතයක් තියෙනවා?

ඇත්තටම අද රට අරාජික වෙලා තියෙන්නේ. එහෙම රට අස්ථාවර වුණේ, විධායක බලතල තිබියදී. රටේ යුද්ධයක් නිර්මාණය වුණේ, කලකෝලාහල ඇති වුණේ, ඡන්ද මංකොල්ල කෑවේ, ඡන්ද කල් දැම්මේ, ජාතිවාදී ගැටුම් නිර්මාණය වුණේ විධායක ජනාධිපතිවරයෙක් මේ රටේ සිටියදීයි. ඒ නිසා මේ රටේ ආර්ථික, දේශපාලන අස්ථාවරත්වයට රටේ විධායක ජනාධිපති ක්‍රමය බලපාලා තියෙනවා. පාර්ලිමේන්තුව ශක්තිමත් තැනක් කරන්න නම්, මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන. මේ රටේ සියලුම පුරවැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදී ඉඩක් ලැබෙන්නේ මේ ජනපති ක්‍රමය අහෝසි කළොත් විතරයි. එය අහෝසි කිරීමෙන් රට අස්ථාවර වීමක් හෝ අරාජික වීමක් වෙන්නෙ නෑ. අද රටට අත්වෙලා තියෙන ඉරණමෙන් ගලවා ගන්න එය අහෝසි කිරීමෙන් පුළුවන් වෙයි.

කොහොම නමුත්, ඔබ පක්ෂය ගෙන එන්නට උත්සාහ කරන 20 වැනි සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියලා, ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසා අධිකරණයට ගිය මන්ත්‍රීවරු ඉන්නවා?

ඒකාබද්ධ විපක්ෂයේ හැම මන්ත්‍රීවරයාගේම අදහස එක මන්ත්‍රීවරයෙක්ගේ මතය නිසා වෙනස් වෙන්නෙ නෑ. අපි මේ සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයෙන් අනුමත කරගන්න දාලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මහජන මතය විමසන්න ජනමත විචාරණයකට යොමු කරවනවා නම්, වඩාත් හොඳයි කියන මතය අපට තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් උසාවි යන්න අවශ්‍ය නෑ. මේ රටේ සියලු පුරවැසියාගේ අනුමැතිය අරගෙන සංශෝධනයට යාම වඩාත් කාලෝචිතයි. ඒකට අපි ලෑස්තියි.

ජවිපෙට 20 ගෙන එන්නට ඇති කලබලය කුමක් ද, කියලත් බොහෝ දෙනෙක් අහනවා?

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කිව්වේ, 1994 බලයට ආපු චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියයි. අපිට කිසිම හදිසියක් නෑ, ඒත්, එදා ඉදලා අද වෙනකල් කොයි තරම් කාලයක් ගත වෙලා ගිහින් ද? තවමත් විධායක ජනාධිපතිධුරය අහෝසි කරගන්න බැරි වුණා. අද තියෙන්නේ කඩිමුඩියට වඩා ප්‍රමාදයක්. 94දී ජනතාව ඡන්දය පාවිච්චි කළේ විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න, ඊට පස්සෙ මහින්ද චින්තනය 1, 2 යන දෙකටම ජනතාව ඡන්දෙ දුන්නෙ ඕක අහෝසි කරන්න. ඊටත් පස්සෙ 2015 දී වත්මන් ජනපතිවරයා බලයට ගෙනාවේ විධායක අහෝසි කරනවා කිව්ව නිසා. පොදු අපේක්ෂකයා ජනාධිපතිවරණයේ දී ජනතාවට දීපු පොරොන්දුව ඉටු කර ගන්න තවමත් බැරි වෙලා. ඒ නිසා අපි රටේ අනාගතය ආරක්ෂා කරන්න මේ සංශෝධනය ගෙනාවා.

2015 මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨය වුණේ, ඒකීය රටක් වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් ගෙන එනවාය කියලයි. නමුත්, දැන් තියෙන ව්‍යවස්ථාවටම පැලැස්තර දානවා නොවෙයි ද?

වත්මන් ජනපතිවරයා විතරක් නෙවෙයි, ජී. ඇල් පීරිස් මහත්තයා 2010 මැතිවරණයේ දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා කිව්වා. ඒත් කළේ නෑ. මේ රජය බලයට පත් වුණාට පස්සේ, සම්පූර්ණයෙන් අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කරන ක්‍රියාවලියක් ආරම්භ කළා. ඒත්, අද ක්‍රියාවලිය ඉඹිගමනේ. අලුත් ව්‍යවස්ථාව එනකල් බලාන හිටියොත් තවත් කාලයක් ගතවෙනවා. ඒ නිසා 20 ගෙනත්, ප්‍රධාන සංශෝධන ටිකවත් කර ගැනීම දැන් රටේ අවශ්‍යතාවයක් වෙලා ඉවරයි.

විධායක ජනපති ක්‍රමය අහෝසි කළ පමණින් ඇති වී තිබෙන තත්ත්වයන් වෙනස් කරන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවා ද?

පැහැදිලිවම මේ රට හදන්න පුළුවන්. නැවත ගොඩනඟන්න පුළුවන්. මෙතුවක් ප්‍රශ්නය වෙලා තිබුණේ, ඒ සඳහා අවශ්‍ය නිවැරැදි දේශපාලන පක්ෂයක් බලයට පත් නොවීමයි. මේ රට ගොඩනඟන්න නිවැරැදි වැඩපිළිවෙළක් අවශ්‍යයි. නිෂ්පාදනය මත පදනම් වුණ ආර්ථිකයක් ගොඩනඟන්න ඕන. ඒ සඳහා විද්වතුන්, කලාකරුවන්, බුද්ධිමතුන්, සිවිල් සංවිධාන ඒකරාශී කළ, පුළුල් වැඩ පිළිවෙළක් අපි සකස්කරලා තියෙනවා. මේ සියලු දෙනාගෙ එකතුවෙන් පුළුල් පෙරමුණක් ගොඩනඟලා, මේ රට ඉස්සරහට ගෙනියන්න වැඩපිළිවෙළක් නිර්මාණය කරන්න ඕන. එතකොට මේ රට අරාජිකත්වයෙන් මිදිලා ඉදිරියට යනවා.

මැතිවරණවලදී ඡන්ද පොරොන්දුවක් වන විධායකය අහෝසි කිරීම ගැන පත්වුණ ජනාධිපතිවරු නැවත කතා නොකරන්නේ ඇයි?

මේ පුටුවට ගිය හැමෝටම එහි තියෙන බලය දැනෙනවා. එතකොට එන්න එන්නම තණ්හාව වැඩි වෙනවා, අතාරින්න හිතෙන්නෙ නෑ. තමන් කැමැති ඕනම දෙයක් මේ රටේ කරන්න පුළුවන්. පිරිමියෙක් ගැහැනියක්, ගැහැනියක් පිරිමියෙක් කරන්න විතරයි බැරි කියලා එදා ජේ. ආර්. ජනාධිපතිතුමා කිව්වා. එවැනි අසීමිත බලයක් තියෙන තනතුරකට පත්වෙන කිසිම කෙනෙක් ඔය පුටුව දාලා යන්න කැමැති නෑ. පත්වෙන නායකයා වටා ඉන්න පිරිස බලන්නෙත්, ඒ තනතුර පාවිච්චි කරලා තමන්ගෙ බඩ වඩා ගන්න. මෛත්‍රී මහත්තයා මේක අහෝසි කරන්න පොරොන්දු වුණාම, ශ්‍රීලනිප එක කණ්ඩායමක් මේක අහෝසි කරන්න එපා කියනවා. ඒ දේශපාලකයන්ගේ පැවැත්ම තියෙන්නෙ මේ ජනාධිපති පුටුව මතයි.

ඔබ කියන දේශපාලකයන් ඉන්න පාර්ලිමේන්තුවේ දී, 20 වැනි සංශෝධනය 2/3 ඡන්දයෙන් සම්මත කරගන්න පුළුවන් වෙයි ද?

මේකට ජනපතිවරයාට එරෙහි වෙන්න බෑ. එතුමා සෝභිත හාමුදුරුවන්ගේ දේහය ඉදිරියේ සපථ කරලා කිව්වා මේක අහෝසි කරනවා කියලා. එජාපය තමන්ගේ පක්ෂ සම්මේලනයේ දී කිව්වා අහෝසි කරන්න සහය දෙනවා කිව්වා. හිටපු ජනපතිවරයා දෙවරක් ජනපති වුණේ මේක අහෝසි කරනවා කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා, මේක අහෝසි කරගන්න ඒ හැමෝගෙම කැමැත්ත ලැබෙයි කියලා.

ජනමත විචාරණයකට ගියොත්, සංශෝධනයට පක්ෂව ජනතාව පෙනී සිටියි කියලා විශ්වාස කරනවා ද?

අපි විශ්වාස කරන්නෙ ජනතාව. මේ සංශෝධන අවශ්‍යතාවය තියෙන්නේ ජනතාවට. හැට දෙලක්ෂයක් ඡන්දෙ දීලා මෛත්‍රී මහත්තයාට කිව්වේ, මේක අහෝසි කරන්න කියලයි. දෙවරක් ජනාධිපති කරපු මහින්ද මහත්තයගෙනුත් ඉල්ලුවේ ඒක. ඒ කිසිවෙක් ජනතා බලාපොරොත්තු ඉටු කළේ නෑ. ඒ නිසා, අපි ගේන මේ සංශෝධනයට ජනතා අවසර ලැබෙයි කියලා උපරිමයෙන් විශ්වාස කරනවා.

දුමින්ද අලුත්ගෙදර

 

නව අදහස දක්වන්න