ධර්මාවබෝධයට පමා නොවෙමු | දිනමිණ

ධර්මාවබෝධයට පමා නොවෙමු

නාවලපිටියේ අරියවංශ හිමි

මේ මනුස්ස ජීවිතය අපිට අතිශයින් ම කලාතුරකින් ලැබුණ දෙයක්. ඒ වගේ ම ඉතා ටික කලයි අපි මේ ලෝකයේ ජීවත් වෙන්නේ. මේ පුංචි කාලය තුළ අපි බුදුරජාණන් වහන්සේ විසින් ලොවට පෙන්වා දුන් චතුරාර්ය සත්‍යය ධර්ම අවබෝධ කරගැනීමේ වැදගත්කම තේරුම් අරගත්තොත් මේ ජීවිතය ඉතා වටිනා දෙයක් බවට පත්කර ගන්ට පුළුවන්.

ඒ සඳහා මේ ජීවිතය කෙටි කලයි තියෙන්නේ කියලා අපි කල්පනා කළ යුතුයි. නමුත් සාමාන්‍ය ලෝකයේ කටයුතු කරද්දී, මේ ජීවිතය ටික කලයි තියෙන්නේ කියලා අපට තේරෙන්නේ නෑ. අපට හිතෙන්නේ මේ ජීවිතය බොහෝ කලක් තියෙනවා, අපි දීර්ඝ කලක් ජීවත් වෙනවා කියලයි. නමුත් අපි බුදුරජාණන් වහන්සේ කියා දුන් විදියට මේ ජීවිතය ගැන කල්පනා කළොත්, අපිට තේරුම් ගන්ට පුළුවන්කම තියෙනවා Òඅපි මේ ලෝකයේ ගතකරන්නේ ටික කලයිÓ කියලා. මනුස්සයෙක් විදියට අපි ඉපදුණේ කලාතුරකින්. මේ ලෝකයේ වාසය කරන්නෙත් ඉතා ම කෙටි කාලයයි. මේ කාලය ගෙවුණාට පස්සේ, චතුරාර්ය සත්‍යය අවබෝධ කරලා නැත්නම් අපිට ඉතා ම දුක් සහිත ලෝකයක ඉපදෙන්ට තියෙන ඉඩකඩ වැඩියි.

යමෙක් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ නොකළොත් එයාගේ ජීවිතේට සැබෑ පිළිසරණක්, සැබෑ ආරක්ෂාවක් තියෙනවා කියලා කාටවත් කියන්ට පුළුවන්කමක් නෑ. ආර්ය සත්‍යය අවබෝධ නොකළ කෙනා අනාරක්ෂිත තැනකම යි වාසය කරන්නේ. කුමක් ද ඒ අනාරක්ෂිත බව? සුගතියට ටික කලක් ජීවත් වෙලා, දීර්ඝ කලක් දුගතියක වාසය කරන්ට එයාට සිද්ධ වෙනවා. මේක මනුස්සයන්ට විතරක් නෙවෙයි, දෙවියන්ට විතරක් නෙවෙයි, සියලු දෙනාට අත්වන ඉතා ම දුක් සහිත ඉරණමක්. ආර්ය සත්‍යය අවබෝධ නොකළ කෙනාට අත්වන ඉරණම ඉතා ම ශෝක ජනකයි. ඉතා ම දුක් සහිතයි.

යමෙක් ප්‍රේත ලෝකයේ ඉපදුණොත්, ඒ ප්‍රේත ලෝකයේ විඳින්ට තිබෙන දුක් ගැන භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා. ඒ වගේ ම තිරිසන් ලෝකයේ ඉපදුණොත්, ඒ තිරිසන් සත්වයාට විඳින්ට සිද්ධවෙන දුක් ගැන අපට කියා දෙනවා. නිරයේ ඉපදුණොත්, ඒ නිරි සත්වයාට විඳින්ට සිද්ධ වෙන දුක් ගැන අපට භාග්‍යවතුන් වහන්සේ විවිධාකාරයෙන් කියා දෙනවා. අපි ඒ ධර්මය ඉගෙන ගත්තොත්, තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ, නිරයේ විඳින දුක් ගැන තේරුම් ගත්තොත්, අපි කවුරුත් කැමති වෙන්නේ නෑ එබඳු දුක් සහිත ජීවිතයක් අත්කර ගන්ට. ඒ නිසා මේ ලෝකය ගැන හොඳ වැටහීමක් ඇතිකර ගන්ට නම් බුදුරජාණන් වහන්සේ කියා දුන් ධර්මය ම අහන්ට ඕන. ඒ ධර්මය ම ඉගෙනගන්ට ඕන. ඒ ධර්මය ම හොඳට නුවණින් කල්පනා කරන්ට ඕන. ඒ විදියට නුවණින් කල්පනා කළ කෙනාට සසරේ තිබෙන දුක් ස්වභාවය, බිය ජනක ස්වභාවය පිළිබඳව වැටහීමක් ඇති වෙනවා.

බලන්න මනුස්සයෙක් විදියට වාසය කරන කෙනා. ටික කලක් වාසය කරලා මියගියාට පස්සේ තිරිසන් සත්වයෙක් වෙලා ඉපදෙන්ට වෙනවා නම්, ප්‍රේතයෙක් වෙලා ඉපදෙන්ට වෙනවා නම්, නිරයේ ඉපදෙන්ට වෙනවා නම්, ඒක කොතරම් දුක් ජනක, ශෝක ජනක සිද්ධියක් ද? ඒක කොතරම් බිය ජනක, බිය උපදවන සිද්ධියක් ද? අපේ ජීවිතවලට ඒ ශෝකජනක, බියජනක ඉරණම අත්කරගන්ට කැමති වෙන්ට හොඳ නෑ. මේ සසරේ දුක් ස්වභාවය ගැන අකමැත්තක්, බියක් උපදවා ගන්ට ඕනෑ.

ඒ නිසා මනුස්සයින් අතර ඉපදුන, යමක් කල්පනා කරලා තේරුම් ගන්ට පුළුවන් ජීවිතයක් උරුමවෙලා තියෙන අපි කවුරුත්, අපගේ ජීවිතේ පිරිහෙන්නේ නැති ස්වභාවයට පත්කර ගන්ට නම් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අපට කියා දුන් මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ඉගෙන ගන්ට ඕනෑ. ඒ ධර්මය නුවණින් විමසා තේරුම් ගන්ට ඕනෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පරිබාහිර කුමන දේ ඉගෙන ගත්තත්, කුමන දේ හැදෑරුවත්, කුමන දේ අපි පරිහරණය කළත්, එයින් අපට සසර ගමනේ තිබෙන දුක් ස්වභාවයෙන්, බියජනක ස්වභාවයෙන් නිදහස් වෙන්ට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ.

අපිට සාමාන්‍ය ජීවිතයේ යම් සැපක් සොම්නසක් ලබාගන්ට, ධර්මයෙන් පරිබාහිර වූ දෙයින් පුළුවන්. නමුත් ධර්මයෙන් පරිබාහිර දේ ඇසුරු කළාට, ධර්මයෙන් පරිබාහිර ‍වූ දේ ඉගෙනගත්තාට, එයින් සසර දුක ගැන ඉගෙනගන්ට ලැබෙන්නේ නෑ. සසර දුකෙන් නිදහස් වෙන්ට පුළුවන්කමක් ලැබෙන්නෙත් නෑ. සසර දුකෙන් නිදහස් වෙන්ට උදව් වෙන්නේ ආර්ය සත්‍යය අහලා ඉගෙන ගත්තොත් පමණයි. මේ ලෝකයේ වාසය කිරීම පිණිස, සාමාන්‍ය ජීවිතයක් ගතකිරීම පිණිස වුව‍මනා කරන විෂයන් කුමක් ඉගෙන ගත්තත් කමක් නෑ. ඒවා ඉගෙන ගනිමින් මේ ජීවිතේ සුවපහසුව ඇතිකර ගන්ට ඕන. පේෂ කර්මාන්තය, ගෘහ නිර්මාණය, වෛද්‍ය ශාස්ත්‍රය, ඉංජිනේරු ශාස්ත්‍රය, ගොවිතැන ආදිය ‍ඉගෙනගන්ට ඕන. අපට මේ ජීවිතයේ සුවපහසුවක් ඇතිකර ගන්ට එයින් හැකියාවක් ලැබෙනවා. අන් අයට සුව පහසුවක් ඇතිකරලා දෙන්ටත් එයින් පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා ඒ ශාස්ත්‍ර ඉතා හොඳින් ඉගෙන ගන්ට ඕන.

නමුත් මේ ලෝකේ සාමාන්‍ය විෂයයන්වලින් අපට ලැබෙන දැනුමෙන්, ඊළඟ ජීවිතය සැපවත් කරගන්ට උපකාරයක් ලැබෙන්නේ නෑ. මේ ජීවිතේ යම් පමණකින් සැපවත් කරගත්තත්, පරිපූර්ණ වශයෙන් සැපවත් කරගන්නට එයින් පුළුවන්කමක් නෑ. යම් කෙනෙකුට පරිපූර්ණ වශයෙන් මේ ජීවිතය සැපවත් කරගන්ටත්, මතු ජීවිතය සැපවත් කරගන්ටත් පුළුවන්කම ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගැනීමෙන් පමණයි. ඒ නිසා ආර්ය සත්‍යය ප්‍රකාශිත ධර්මය ඉගෙනගන්ට වෑයම් කරන්න. 

 

 

 

නව අදහස දක්වන්න