හිතකර යෝජනා! | දිනමිණ

හිතකර යෝජනා!

ලෝකයේ හෙට දවස තීන්දු කරන ප්‍රධාන ජගත් ආයතනය එක්සත් ජාතීන්ගේ සංවිධානය යි. එහි සම්මත වන ආර්ථික, දේශපාලනික හා සාංස්කෘතික යෝජනා, සැලැසුම්, සම්මුති ඉඳුරාම සමස්ත ලෝකය වෙත බලපායි. මෙවර එ. ජා. සංවිධානයේ මහ සමුළුව රැස්වන්නේ හැත්තෑතුන්වන වරටය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ දූත පිරිසක් ඊට සහභාගී වෙති. ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගත් රාජ්‍යයක් හැටියට ද, ආර්ථික වශයෙන් ඉදිරිගාමී පියවර සටහන් කරගත් රාජ්‍යයක් හැටියට ද ශ්‍රී ලංකාවට එ. ජා. සංවිධානය තුළ විශේෂ පිළිගැනීමක් පවතී. එහෙත් ඉදිරි කාලය තුළ අප මුහුණදෙන අභියෝග සුළුකොට තැකිය නොහැකි ය. ඒ අනුව එ. ජා. සංවිධානය සමඟ අපගේ සංවාදය තීරණාත්මක ය.

රටේ වර්තමාන තත්ත්වය සමාලෝචනය කරනවිට ප්‍රධාන අභියෝග තුනක් අප හමුවේ ඇති බව ඉතා පැහැදිලි ය. පළමුවන්න ණයභරිත ආර්ථිකය සංවර්ධනාභිමුඛ ආර්ථිකයක් කරා පරිවර්තනය කරගන්නේ කෙසේද යන්න ය. දෙවන්න මානවහිමිකම් කොමිසම වෙතින් එල්ලවන චෝදනා හා විවේචනවලට මුහුණදෙන්නේ කෙසේද යන්න ය. තෙවන්න රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගත යුතු පියවර කවරේද යන්න ය. මේ හැරෙන්නට ලෝක ආර්ථිකයේ ඇතිවන විචල්‍යතාවලට ද අප මුහුණදිය යුතු ය. මේවාට මුහුණදීම හා අභියෝග ජයගැනීම පහසු නැත. වටහාගත යුතු යථාර්ථය එයයි.

මෙවර එ. ජා. සංවිධානයේ ලෝක තේමාව තරමක් දීර්ඝ ය. එහි සරල හා සංක්ෂිප්ත අර්ථය ගතහොත්; සාමය හා සමෘද්ධිය සඳහා සියලුදෙනාම කැපවෙමු යන්න ය. මේ අනුව ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා නව සංවර්ධන අරමුදලක් පිහිටුවීමට එ. ජා. සංවිධානය තීරණය කර තිබේ. මෙය ඉතා වැදගත් අවස්ථාවකි. මීට වසර පහකට පෙර අප පසුවූයේ එ. ජා. සංවිධානය වෙතින් ප්‍රතික්ෂේප වූ තැනක ය. ආර්ථික තහංචි පැනවීමේ මූලික අවස්ථාවකට ද එදා අප මුහුණදී තිබිණි. යු‍‍රෝපා සංගමය මෙබඳු ආර්ථික තහංචි දෙකක් පනවා තිබිණි. ඒවා නැවත ජයගැනීමට ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව සමත් විය. එ. ජා. සංවිධානයේ විශ්වාසය හා පිළිගැනීම දිනාගැනීමටත් වත්මන් ආණ්ඩුව සමත් විය. නව සංවර්ධන අරමුදල එහි ප්‍රතිඵලයක් ලෙස සැලැකිය හැකි ය.

එළඹෙන නව වසර ශ්‍රී ලංකාවට වෙනදාටත් වඩා අභියෝගාත්මක ය. ගෙවිය යුතු ණය ප්‍රමාණය පමණක් ගතහොත් ඩොලර් මිලියන හාරදහස ඉක්මවා සිටී. මේ අතර ඩොලරය මුල්කරගත් ලෝක ආර්ථික කම්පනයක් පවතී. තවත් අතෙකින් බොරතෙල් මිල පහළ බසින බවක් පෙනෙන්නට නැත. මේ පසුබිම තුළ බලවත් ආර්ථික පීඩනයක් ඇතිවිය හැකි ය. මේවාට මුහුණදීම සඳහා ජාත්‍යන්තර සහයෝගය පැවැතිය යුතුය. එලෙසම, ආර්ථිකය සැලසුම් සහගතව හැසිරවිය යුතුය. සංවිධානය යෝජනා කරන නව සංවර්ධන අරමුදල මේ අතින් අපට ඉතා වැදගත් ය. ඒ හැරෙන්නට ධනවත් රටවල සහයෝගය ද ලබාගත යුතුව තිබේ. ඒ සඳහා හොඳ අවස්ථාවක් එ. ජා. සංවිධානය ඔස්සේ ගොඩනඟාගත හැකි ය. ජනාධිපතිවරයා කෙරෙහි ද, රට කෙරෙහි ද ලෝකය තබන විශ්වාසය මෙහිදී වැදගත් වෙයි.

ලෝක නායකයන් ශ්‍රී ලංකාවේ නායකයා කෙරෙහි තබා ඇති විශ්වාසය හා පිළිගැනීම සනාථ කරන අවස්ථාවක් ලෙස නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව හැඳින්විය හැකි ය. සමුළුවේ සභාපතිත්වය දරන්නේ එ. ජා. සංවිධානයේ මහලේකම්වරයා ය. මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ සමුළු‍වේ දේශනයක් පැවැත්වීම සඳහා ඇරියුමක් ලැබී තිබේ. රටවල් පනහක නායකයෝ ඊට සහභාගී වෙති. නෙල්සන් මැන්ඩෙලා සමුළුව සාමය සඳහා පමණක් නොව; දිළිඳුකම තුරන් කිරීම සඳහා ද ක්‍රියාත්මක වෙයි. මෙබඳු සමුළුවක දේශනයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව වැනි කුඩා රටක නායකයකුට අවස්ථාව ලැබෙන්නේ කලාතුරෙකින් ය. එම අවස්ථාව මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබී තිබේ. මේ දේශනය ඊයේ පෙ. ව. 10.00ට පැවැත්වීමට නියමිතව තිබිණි. තවත් ලෝක සමුළු කිහිපයක ආරාධනාවන් ද ජනාධිපතිවරයා වෙත ලැබී ඇත.

මානවහිමිකම් කොමිසම ද මීට සමගාමීව පැවැත්වෙයි. කොමිසමේ හිතකර යෝජනා මෙන්ම අහිතකර යෝජනා ද ඇතැ’යි මේ වනවිට විවේචන ඉදිරිපත් වී ඇත. මානවහිමිකම් කොමිසම ක්‍රියා කරන්නේ ලෝකයේ යුක්තිය හා සාධාරණත්වය පදනම් කරගෙන ය. රටක අභ්‍යන්තර දේශපාලනය, සමාජ ක්‍රමවිධි ආදිය ගැන වැඩි සැලැකිල්ලක් දක්වන්නට කොමිසම උනන්දු වන්නේ නැත. මේ අනුව කොමිසම දක්වන සියලු යෝජනා රටකට හිතකර නොවන්නට පුළුවන. මෙහිදී කළ යුත්තේ කොමිසම සමඟ එරෙහිවීම නොව; සාකච්ඡා පැවැත්වීම යැයි කියන්නට පුළුවන. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ද, මානවහිමිකම් කොමිසම වෙතද විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වී තිබේ. එය බොහෝවිට බේරුම්කාර තත්ත්වයක යෝජනා වන්නට පුළුවන.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තා දෙකක් මේ වනවිටත් මානවහිමිකම් කොමිසම වෙත ලැබී ඇත. ඒ හැරෙන්නට දෙමළ ඩයස්පෝරාව මෙන්ම සිංහල සංවිධාන ද කොමිසම හමුවේ කරුණු දක්වා ඇත. මේවා සමාලෝචනය කිරීමක් සිදුවිය යුතු ය. අතුරුදන්වූවන් පිළිබඳ සොයාබලන කාර්යාලයක් පිහිටුවීම ගැන කොමිසමේ ප්‍රසාදය හිමි වී ඇත. එහෙත් ඔවුන් සම්පූර්ණ ශක්තිමත් නැති බව පෙනෙයි. වින්දිතයන් උදෙසා වන්දි ගෙවීමක් ද සිදුවිය යුතු බව කොමිසමේ අදහස වී ඇත. මෙය තරමක් සංකීර්ණ අදහසකි. ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධවී සිටි තැනැත්තකුට හෝ ඊට සහයෝගය පළකරන කෙනෙකුට හෝ රජයක් වන්දි ලබාදෙන්නේ කෙසේ ද යන ගැටලුව මෙහිදී පැනනඟී. ඊට මහජන විරෝධයක් එල්ලවන්නට ද පුළුවන. මෙබඳු අවස්ථාවලදී කොමිසම සමඟ තවදුරටත් සාකච්ඡා කිරීම වැදගත් වෙයි.

කොමිසමේ නිර්දේශ හා යෝජනා දේශප්‍රේමීන් අතට පත්වනවිට ඒවා ජාතිකවාදී මුහුණුවරකින් ද ආගමිකවාදී මුහුණුවරකින් ද විවේචනයට ලක්වෙයි. එවිට භයානක චිත්‍රයක් අප හමුවේ මැවෙන්නට ද පුළුවන. එය මානවහිමිකම කොමිසමේ සැසිවාර පවත්වන සෑම අවස්ථාවකම පාහේ ශ්‍රී ලංකාව මුහුණදුන් තත්ත්වයකි. ඊනියා දේශප්‍රේමීන් දක්වන සියලු දේ කළ නොහැකි සේම කොමිසම දක්වන සියල්ල ද ඉටුකළ නොහැකි බව පැහැදිලි ය. කළ යුත්තේ කාටත් සාධාරණයක් ඉටුවන ලෙස තීරණ ගැනීම ය. මෙබඳු සන්දර්භයකදී අමෙරිකාව දක්වන හිතුවක්කාරී බව හෝ යුරෝපීය රටවල් නොසලකා හැරීම් හෝ ශ්‍රී ලංකාව වැනි රටකට කළ නොහැකි බව ද අප වටහාගත යුතු ය.

එ. ජා. සංවිධානය තුළ ශ්‍රී ලංකාවටත් එහි නායකයාටත් හොඳ පිළිගැනීමක් ඇති බව පෙනී යයි. මේ පිළිගැනීම රටේ අනාගතයට අර්ථසම්පන්න ලෙස යොදාගැනීමට නායකයන් වගබලාගත යුතුය.


නව අදහස දක්වන්න

Or log in with...