සියලු කුණු මැතිව්ස්ගේ ගිණුමට | දිනමිණ

සියලු කුණු මැතිව්ස්ගේ ගිණුමට

ප්‍රින්ස් ගුණසේකර

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ලද අන්ත පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම භාර ගැනීමට තමන් අකමැති බවත් එය හුදෙක් පුහුණුකරු, තේරීම් කමිටුව හා නායකයා යන පාර්ශව තුන සාමූහිකව භාරගත යුතු බවත් හිටපු එක්දින හා විස්සයි 20 නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පෙරේදා (23) ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා වෙත ලිපියක් යවමින් මේ බව සඳහන් කොට ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු හා තේරීම් කමිටු සාමාජිකයන් පසුගිය 21වැනිදා ඇන්ජලෝ මැතිව්ස් හමුවී නායකත්වයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස ඉල්ලීම් කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිය ඉල්ලා අස්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිඛිතව දැනුම්දී ඇත. එහෙත් 24 වැනිදා අලුයම කාලයේ ඊ මේල් පණිවිඩයක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකය සඳහන් කොට තිබුණේ මැතිව්ස්ගේ ඉල්ලා අස්වීමෙන් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා ලෙස පත්කොට ඇති බවය. එම ඊ මේල් පණිවිඩය නිකුත්වීමට පෙර එම ප්‍රවෘත්තිය කිසියම් හෝ සම්බන්ධතා මත ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිටතට ගොස් තිබුණි.

“ ආසියානු කුසලාන තරගාවලියේදී ලැබූ පරාජයේ සම්පූර්ණ වගකීම තමන් වෙත පටවමින් නායකත්වයෙන් ඉල්ලා අස්වෙන්න කීවාම මා පුදුමයට පත් වුණා. පරාජයේ වගකීමෙන් යම් කොටසක් මා භාර ගන්න කැමැතියි. නමුත් සම්පූර්ණයෙන්ම මා වරදකරු කිරීම අනුමත කළ නොහැකියි. හැමෝම දන්නවා පුහුණුකරු හා තේරීම් කමිටුව සමග එක්ව අවබෝධයෙන් යුතුව තරගවලට මුහුණ දෙන බව. නමුත් මෙහිදී පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම නායකයා මත පටවා තිබෙනවා. එය අනුමත කළ නොහැකියි“ මැතිව්ස් ලිපිය මගින් දැනුම්දී ඇත.

ආසියානු කුසලාන තරගාවලියේදී කණ්ඩායම සම්බන්ධයෙන් ගත් සියලු තීරණ තේරීම් කමිටු සාමාජීකයින්ගේ සහ ප්‍රධාන පුහුණුකරුගේ අනු දැනුම ඇතිව ගත් ඒවා බව මැතිව්ස් එම ලිපියේ සදහන් කොට තිබේ.

වසර පහක පමණ කාලයක් නායකත්වය දැරීමෙන් පසු 2017 වසරේදී නායකත්වයෙන් ඉල්ලා අස්වූ බවත් තමන් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් සමයේ ජයග්‍රහණ රැසක් වාර්තා කොට කණ්ඩායම මෙහෙය වු බවත් මැතිව්ස් පෙන්වා දි ඇත. පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වී සිටි මොහොතක ප්‍රධාන පුහුණුකරු සහ තේරිම් කමිටුවේ ඉල්ලීම මත යළි එක්දින සහ විස්සයි 20 කණ්ඩායම්වල නායකත්වය භාරගත් බවද ඔහු එම ලිපියේ සඳහන් කර තිබේ.

“ මා ලෝක කුසලානය දක්වා නායකත්වය දැරීමට සූදානමින් සිටියේ. නිමාවූ දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලිය ඉතා හොඳින් නිම කළා. එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර තවත් තරග කිහිපයක් තිබියදී නායකත්වයෙන් ඉවත්වී යන්න මට කිසිදු උවමනාවක් තිබුනේ නෑ“ මැතිව්ස් පවසා ඇත.

කෙසේ වෙතත් තවදුරටත් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස තම සේවය ඕනෑම අවස්ථාවක ලබාදීමට සැදී පැහැදී සිටින බව මැතිව්ස් එම ලිපියේ සටහන් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව එක්දින හා විස්සයි 20 තරගවලට මා නොසුදුස්සෙකු බව තීරණය කරන්නේ නම් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වීමට කිසිවිටක පසුබට නොවන බවට පවසන මැතිව්ස්, තමන් හෘද සාක්ෂියට එකඟව කණ්ඩායමට සිය දායකත්වය ලබාදුන් බවද සඳහන් කොට ඇත.

නිමාවූ දකුණු අප්‍රිකාව සමඟ පැවති එක්දින තරඟාවලියේ වැඩිම ලකුණු රැස්කළ මැතිව්ස් සඳහන් කොට ඇත්තේ කණ්ඩායමේ ස්ථානය රැකගැනීමට තමන්ට කිසිදු ගැටලුවක් නොමැති බවය.

නව අදහස දක්වන්න