ඉන්දියාව සමඟ අවසන් තරගයට පාකිස්තානය ද? බංග්ලාදේශය ද? | දිනමිණ

ඉන්දියාව සමඟ අවසන් තරගයට පාකිස්තානය ද? බංග්ලාදේශය ද?

ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු යුගලය වන රෝහිත් ෂර්මා සහ ශිකර් ධවාන් එක්ව ශතකය බැගින් රැස් කරමින් පළමු කඩුල්ලට ලකුණු 210ක සම්බන්ධතාවක් ගොඩනැගීම නිසා පාකිස්තානය සමග පෙරේදා ඩුබායි හී පැවැති ආසියානු කුසලාන සුපිරි හතර වටයේ තීරණාත්මක තරගයෙන් කඩුලු 9ක ජයක් ලැබූ ඉන්දීය පිල අවසන් මහා තරගයට අපරාජිතව සුදුසුකම් ලබාගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 50 අවසානයේ කඩුලු 7කට රැස් කළ ලකුණු 237 හඹා ගිය ඉන්දීය පිලට ජයග්‍රහණය පහසු කළ මේ පිතිකරු යුගලය පාකිස්තානු පන්දු යවන්නන්ට දැඩි අභියෝගයක් එල්ල කළහ.

පන්දු 119කට මුහුණ දුන් නායක රෝහිත් ෂර්මා හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමග නොදැවී ලකුණු 111ක් රැස් කරද්දී ශිකර් ධවාන් පන්දු 100කදී හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 114කි.

ඉන්දීය පිල සමග ලබන සිකුරාදා පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අනික් රට හෙට පැවත්වෙන පාකිස්තානය සහ බංග්ලාදේශය අතර තරගයෙන් තීරණය කෙරේ. පාකිස්තානය මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන පසුවන අතර බංග්ලාදේශය තුන්වැනි තැන පසුවෙයි.

මේ අතර මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම බවට පත්වී සිටි ඇෆ්ගනිස්තානය පෙරේදා රාත්‍රී බංග්ලාදේශය හමුවේ ලකුණු 3ක තියුණු පරාජයක් ලැබුවේය. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු 249 හඹා ගිය ඇෆ්ගනිස්තානයට ඕවර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 246ක් පමණි.

කෙසේවෙතත් ඉන්දීය පිල සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද පැවැත්වෙන අතර එහි ප්‍රතිඵලය ඉන්දීය පිලට තීරණාත්මක නොවනු ඇතැයි වාර්තා වෙයි. එසේ වුවත් අද තරගයත් ජයග්‍රහණයකින් නිමා කරගැනීම ඉන්දීය පිලේ එකම බලාපොරොත්තුව වී තිබේ.

නව අදහස දක්වන්න