මැන්ඩෙලා ගිය මඟ යාමට ලෝක නායකයන්ට ජනපතිගෙන් ආරාධනා | දිනමිණ

මැන්ඩෙලා ගිය මඟ යාමට ලෝක නායකයන්ට ජනපතිගෙන් ආරාධනා

රක්ෂණ ශ්‍රියන්ත අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිට

නෙල්සන් මැන්ඩෙලා ගමන් ගත් මගෙහි යාමට තමන් ලොව සියලු නායකයන්ට ආරාධනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසි වාරයට සමගාමීව ඊයේ (24) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී ආරම්භ කෙරණු නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අමතමිනි.

නෙල්සන් මැන්ඩෙලා ජන්ම ශත සංවත්සරය සමරමින් මෙම සාම සමුළුව සංවිධාන කර තිබුණි.

සාමය, සංහිඳියාව සහ මානවවාදය පිළිබඳ ලෝකයට වැදගත් පාඩම් කියාදුන් විශිෂ්ට චරිතයක් වූ නෙල්සන් මැන්ඩෙලා චරිතය අද සියලු ලෝක නායකයන් අධ්‍යයනය කළයුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය.

නෙල්සන් මැන්ඩෙලාගේ විශිෂ්ට චරිතය හා එම ගමන් මඟ සිහිපත් කිරීමට සිදුව ඇත්තේ අද ලෝකය ගමන් ගන්නේ එවන් මගක නොවන නිසා බව ද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා බලය අතහැරීම සහ බලය සීමාකිරීම පිළිබඳ එතුමාගේ චරිතය ආදර්ශයන් රැසක් ලබාදුන් බව සඳහන් කළේය.

සාමය පිළිබඳ ගමන් මඟ ලොවට කියා දුන් ශ්‍රේෂ්ට මානවවාදී චරිතයක් වූ නෙල්සන් මැන්ඩෙලා චරිතය වෙනුවෙන් මෙවන් සාම සමුළුවක් සංවිධාන කිරීම පිළිබඳ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ස්තූතිය පිරිනැමීය. සමුළුව අමතමින් ජනාධිපතිවරයා මෙසේද පැවැසීය

නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පැවැත්වීමට තීරණය කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඇතුළු එහි විධායක මණ්ඩලයට ශ්‍රී ලංකා ජනතාවගේ සහ ජන රජයේ ගෞරවණීය ප්‍රණාමය සහ ස්තූතිය පුද කරනවා.

නෙල්සන් මැන්ඩෙලා වැනි ශ්‍රේෂ්ඨ මානවවාදී නායකයෙක්, ලෝකයට සංහිඳියාව පෙන්නුම් කළ නායකයෙක්, මානව සමාජයට විශිෂ්ට ගමනක් යාමට අවශ්‍ය මාර්ගය කියාදුන් නායකයෙක් පිළිබඳ අපි අද කතා කරන්නේ එවැනි නායකයන් අද ලෝකය තුළ නැති නිසයි. නෙල්සන් මැන්ඩෙලා චරිතය ප්‍රධාන වශයෙන්ම ලෝකයට පෙන්නුම් කළේ බලය අත්හැරීම සහ බලය සීමා කිරීම පිළිබඳ කොතෙක් දුරට මානවවාදී ලෙස කටයුතු කළයුතු ද යන්නයි.

අද ලෝකය ගමන් කරන්නේ ඒ ශ්‍රේෂ්ට නෙල්සන් මැන්ඩෙලා ගමන් කළ මගෙහි නොවෙයි. ඒ නිසා තමයි මැන්ඩෙලා ගිය ගමන පිළිබඳ ලෝකයට සිහිපත් කිරීමට සිදුව තිබෙන්නේ. අද ජීවත්වන නායකයන් තුළ, ලෝකයට දේශපාලන ගමන් මඟ පෙන්වන බොහෝ නායකයන් තුළ නෙල්සන් මැන්ඩෙලා චරිතයේ ලක්ෂණ කොතෙක් දුරට තිබෙනවාද කියන ප්‍රශ්නය මතු වෙනවා. ඒ නිසා සාමය, සංහිඳියාව, ජාතීන් අතර සමඟිය මානවවාදී විශිෂ්ට ගමනක් පිළිබඳ ලෝකයට කියාදුන් එවැනි විශිෂ්ට නායකයකුගේ චරිතය ප්‍රධාන වශයෙන්ම අධ්‍යයනය කළ යුත්තේ අද සිටින ලෝක නායකයන් කියන එකයි මම විශ්වාස කරන්නේ.

ඒ තුළ ගැබ්ව තිබූ මානවවාදී ගැඹුරු බව, මිනිසුන් කෙරෙහි දැක්වූ ආදරය, විශේෂයෙන්ම බලය පිළිබඳ තිබූ ආශාවෙන් ඉවත්වීම ලෝකයට මහඟු ආදර්ශයක්. ශ්‍රී ලංකා ජනරජයේත්, ජනතාවගේත් ගෞරවය ප්‍රණාමය නෙල්සන් මැන්ඩෙලා චරිතයට පුදකරනවා වගේම ලෝකයේ සියලු නායකයන්ට මම ආරාධනා කරනවා නෙල්සන් මැන්ඩෙලා වැනි විශිෂ්ට නායකයෙක් ගිය ගමන අපි සෑම කෙනෙක්ම යමුයි කියලා.

 

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න