නුවරඑළියේ අක්ෂි එන්නත ගැන විමර්ශන | දිනමිණ

නුවරඑළියේ අක්ෂි එන්නත ගැන විමර්ශන

නුවරඑළිය මහ රෝහලේ අක්ෂි රෝග සායනයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් 17ක් විවිධ සංකූලතාවලට ලක් වූ බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබා දී තිබේ.

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරයට එක්ව සිටින සෞඛ්‍ය අමාත්‍යවරයා දුරකථනයෙන් මෙම උපදෙස් ලබා දී ඇත. නුවරඑළිය මහ රෝහලේ අක්ෂි රෝග සායනය සඳහා ලබා දී ඇති මෙම එන්නත් තොගය තාවකාලිකව භාවිත කිරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතාට දැනුම් දී ඇත.

මෙම අක්ෂි සායනයට පසුගිය දා රෝගීන් 55ක් පැමිණ ඇත. එහෙත් ඔවුන්ගෙන් 17ක් මෙම සංකූලතාවලට ගොදුරු වූ බව ප්‍රකාශ කරමින් නැවත රෝහල් ගත වී ඇත. එම රෝගීන්ට ද යළි ප්‍රතිකාර ආරම්භ කර ඇති අතර, ඔවුන් ද සුව අතට හැරෙමින් සිටින බව වෛද්‍යවරු පවසති. මෙම එන්නත භාවිත කළ වෙනත් රෝහල්වල අක්ෂි සායනවලින් මෙවැනි ගැටලුවක් වාර්තා නොවු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

මෙම එන්නත වැඩිදුර පරීක්ෂණ සඳහා ජාතික ඖෂධ තත්ත්ව පරීක්ෂණාගාරයට යොමු කරන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියි.

නව අදහස දක්වන්න