ශාක-සතුන් මස් මාංශ-පලතුරු පිට රටින් ගේන්න නිරෝධායන සහතිකය අනිවාර්යයි | දිනමිණ

ශාක-සතුන් මස් මාංශ-පලතුරු පිට රටින් ගේන්න නිරෝධායන සහතිකය අනිවාර්යයි

සුභාෂිණී සේනානායක

ශ්‍රී ලංකාවට විදේශ රටවලින් ශාක- සතුන්- මස් මාංශ මෙන්ම පලතුරු මෙරටට ගෙනඑන විට දී ඒ පිළිබඳ නිරෝධායන සහතිකය අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා රේගුව කියා සිටී. එසේ නොමැති වුවහොත් එම ද්‍රව්‍ය කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ශාක සහ සත්ත්ව නිරෝධායතන නිලධාරීන්ට යොමු කර විනාශ කිරීමට සිදු වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා අවධාරණය කර සිටී.

1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනතට අනුව ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥාපනත සහ ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ දී රේගුව හමුවේ තමන් රැගෙන එන දෑ ප්‍රකාශ කිරීම පිළිබඳ ප්‍රකාශයේ දී, ඒවා නිසි පරිදි අනාවරණය නොකිරීම සම්බන්ධයෙන් රේගුව දැඩි සේ විමිසිලිමත් වන බවත්, රේගු අඥා පනතේ විධිවිධාන සහ අනෙකුත් රජයට සම්බන්ධ රාජ්‍ය ආයතන මත ඇති විවිධ අණ පනත් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ බලය පැවරී ඇත්තේ ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට බවත්, රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටි.

එම බලතල මත කටුනායක ගුවන් තොටුපොළේ දී මෙසේ නිරෝධායන සහතික නොමැතිව රැගෙන එන ඉහත සඳහන් සියලුම ද්‍රව්‍යයන් අත්අඩංගුවට ගෙන, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධිත නිරෝධායන නිලධාරීන් වෙත යොමු කරන බවත් ඔවුන් ඒවා ප්ලාස්ටික් ඇසුරුම් වෙත එකතු කර පසුව ඒවා විනාශ කර දමන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

මෙසේ රැගෙන එන පලතුරු විශේෂයෙන් එම රටවල නගරවල වීථීවල තබා ඇති වෙළෙඳසල්වලින් මිල දී ගත් ඒවා වන බැවින්, ඒවා ආහාරයට ගැනීමෙන් ශ්‍රී ලාංකිකයන්ට නොයෙකුත් ලෙඩ රෝග වැළදෙන බවත්, එම පලතුරු මෙරටට රැගෙන ඒම මගින් ශ්‍රී ලාංකික වගාවන්ට, පරපෝෂිතයන් සහ දිලීර වර්ග පැතිර යාමෙන් ඇති වන වගා විනාශයන් වැළැක්වීම මෙම ක්‍රියාමාර්ගයේ අරමුණ බව ද සුනිල් ජයරත්න මහතා පෙන්වා දෙයි.

බටහිර රටවල් මෙන්ම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් ද මෙම නීති අකුරටම ක්‍රියාත්මක කරන බවත් පවසන මාධ්‍ය ප්‍රකාශකවරයා ශ්‍රී ලංකා රේගුව ඉහත පනත් මගින් පැවරී ඇති බලතල උපයෝගී කරගෙන ශ්‍රී ලාංකික ජනතාව විදේශීය විශබීජ, ලෙඩ රෝග සහ ශ්‍රී ලාංකික වගාවන් විදේශීය දිලීර, පරපෝෂිතයන්ගෙන් බේරා ගැනීමට සහ ආරක්ෂා කිරීමට ඉහත අණ පනත් සහ නීති රීති දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටින බවද අවධාරණය කර සිටී.

නව අදහස දක්වන්න