පක්ෂයට සේවය නොකළ අය ආසන සංවිධායකත්වයෙන් ඉවත් කළා | දිනමිණ

පක්ෂයට සේවය නොකළ අය ආසන සංවිධායකත්වයෙන් ඉවත් කළා

අසේල කුරුළුවංශ

පක්ෂය වෙනුවෙන් නිසි සේවාවක් ඉටු නොකළ පිරිසක් පසුගිය දා ආසන සංවිධායක ධූරවලින් ඉවත් කළ බවත්, වගකීම් ඉටු කළ නොහැකි සෙසු ආසන සංවිධායකවරුන් සම්බන්ධයෙන් ද ඉදිරියේ දී තීන්දු තීරණ ගැනීමට සිදුවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසුවේය.

ඉවත් කළ ආසන සංවිධායකවරු සමඟ කිසිදු පෞද්ගලික තරහක් නොමැති බවත් පක්ෂයේ උන්නතිය පිණිස ඔවුන් ඉවත් කිරීමට සිදුවූ බවත් ඒ මහතා කීය.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ බාලදක්ෂ ව්‍යාපාරයට වසර එකසිය පහක් පිරීම නිමිත්තෙන් දීපව්‍යාප්ත ආපදා සහන ස්වේච්ඡා බළකායක් පිහිටවීමේ පුහුණු කඳවුරේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් පෙරේදා (23) සහභාගී වෙමින් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සභාපතිත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගුණාත්මක පක්ෂයක් බවට පත්කිරීම සඳහා මෙම සියලු තීන්දු තීරණ ගත් බවද හෙතෙම කීවේය.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන බල මණ්ඩල පිහිටුවීමේ කාර්යය සියයට අනූපහකින් පමණ නිමකර අවසන් බවත් මෙම වසර අවසන් වනවිට ශාඛා සමිති සහ සාමාජිකයන් බඳවා ගැනීම දක්වාම පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කරන බවත් දිසානායක මහතා කීය.

මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

නව අදහස දක්වන්න