අරගලවල අයිතිකාරයෝ | දිනමිණ

අරගලවල අයිතිකාරයෝ

අපේ මායියා ගේ ඇතුළේ ඉඳන්ම කාටදෝ බර බරේ දානවා. සෙල් ෆෝන් එකෙන් කවුරුන් හෝ සමඟ උදෑසනම කොක්කක් දාගන්නට ඇතැයි කල්පනා කළත්, එහෙව් තත්ත්වයක් නොවන බැව් අන්තිමට තේරුණා. පොඩි එකත්, සද්දෙ වහල එහා මෙහා ඇවිදිද්දී තත්ත්වය ටිකක් බරපතළ බැව් පිළිගන්න සිද්ධ වුණා.

“අප්පච්චි, අම්මා ඊයේ අර වැලිකඩ රැඳවියන්ට පහරදීම ගැන විරෝධය දක්වන්න ගියානෙ. ඒ උද්ඝෝෂණය ටීවී එකේ ප්‍රවෘත්තිවලට දැකලා ලතා ඇන්ටි අද උදේම කුස්සිය පැත්තෙන් ඔළුව දාලා කියලා තියෙනවා, ඒ අය ගැන විරෝධය දැක්වීම එයාලට අයිති දෙයක් කියලා“ පොඩි එකා කිව්වා.

“කේන්ති ගියා වුණත් ඒක ඇත්ත තමයි.“ මං කිව්වා.

“ඒ මොකද අප්පච්චිත් එහෙම කියන්නේ. ඒක හරි කතාවක්නෙ. අසාධාරණයකදී ඕනම කෙනෙකුට විරෝධය දක්වන්න අයිතිය තියෙනවා කියලා අප්පච්චිම නොවැ කියලා තියෙන්නේ“ පොඩි එකා පෙන්නලා දෙනවා. මේ වගේ අවස්ථාවන්වල උත්තර බැඳීම කියන්නෙ ටිකක් අමාරු කාරියක්. ඒත් ඉතිං මායියගෙ සද්දෙ තාම අඩුවෙලා නැති හින්දයි, වෙන කරන්න දෙයක් නැති හින්දයි මං පොඩි එකාට විස්තර කරන්න උත්සාහ කළා.

“පුතාට මතක ඇතිනෙ එක්නැලිගොඩ නෝනා. එයාගෙ මහත්තයා වෙනුවෙන් අවුරුදු ගාණක් තිස්සේ එයා අරගල කරනවනෙ. ඉතිං තමන්ගෙ දුක්ගැනවිල්ල කියන්න, මහත්තයගෙ අතුරුදන්වීම ගැන සාධාරණ පරීක්ෂණයක් කරලා යුක්තිය ඉටුකරවා ගන්න එයා අන්තිමට ජිනීවා නුවර ජාත්‍යන්තර මානව හිමිකම් කාර්යාලය දක්වාම ගියා. එහෙ ගිය පළවෙනි අවස්ථාවෙදි එයාට හම්බවෙච්චි ලංකාවෙ එන්.ජී.ඕ නෝනා කෙනෙක් මෙයාට කියනවලු, ' ඔයා මොකටද මෙච්චර වියදම් කරගෙන මෙහේ ආවෙ. අපි මෙහේ බලාගන්නම්, ඔයා එහේ බලාගන්න‘ කියලා. ඒ වෙනකල් එක්නැලිගොඩ නෝනා දන්නෙ නෑ, තමන්ගෙ මහත්තයා වෙනුවෙන් තවත් නෝනලා ජාත්‍යන්තරයේ හඬ නඟනවා කියලා. ඔන්න ඕක තමයි තත්ත්වය. මර්දනයට විතරක් නෙවෙයි ඊට විරුද්ධව කරන අරගලවලට පවා අයිතිකාරයෝ ඉන්නවා“ මං තේරෙන සිංහලෙන් කීවා.

“බලන් ගියාම මේ ඔක්කොම පුංචි පුංචි කඩ. සමහරවිට තමන්ගෙ බඩු තව කවුරු හරි හොරෙන් විකුණනවා වෙන්නත් පුළුවන්. මාට්ටු වෙනවට බයේ වෙන වෙන ලොකු ලොකු කතා මවාපානවා වෙන්නත් පුළුවන්“ පොඩි එකා කීවා. මං ඔළුව වනලා නිකං හිටියා.

මායියගෙ තරහ ඩිංගක් එහාට මෙහාට වෙනකල් ඉඳලා මං කුස්සිය පැත්තට රිංගුවා. උදේට උයන්න කියලා ලෑස්ති කරපු බඩු බාහිරාදිය තැන් තැන්වල. ලූනු ටික කපනා පැත්තක. ගෝවා ගෙඩියක් කපලා, ඇතිළියට දාලා තිබ්බා. හාල් ටික නම් සෝදලා ළිපේ. මං ඉතිං ඒ ටික අස්පස් කරලා, රත් කරගන්න හදද්දී මායියත් ඇවිත් වැඩේට එකතු වුණා.

“බලන්න මුන් හිතාගෙන ඉන්නෙ අපිත් හිතේ කැක්කුමට මොකක් හරි උද්ඝෝෂණයකට, වැඩකට එකතු වුණොත් අපටත් මුන්ට වගේ ඩොලර් හම්බවෙනවා ඇති කියලා. මට හරිම කේන්තියි. මං කියලා දැම්මා හොඳට. මාස ගණනක් යනකල් ආයෙ කතා කරන එකක් නෑ.“ මායියා කීවා.

“ඒකෙ ඉතිං ඇති වැරැද්දක් නෑ.“ මං කිව්වා.

“ඒ කීවේ?“ මායියා, මං දිහා කන්න වගේ බැලුවා.

“නෑ ඉතිං ඒ අය කරන උද්ඝෝෂණ, මාධ්‍ය සංදර්ශන හැම එකක්ම වගේ ලාභ අලාභ ගිණුම් මත පදනම් වෙච්චි වැඩ වුණාම ඒ අය හිතන්නෙ අනිත් අයත් වැඩකරන්නෙ ඒ විදිහටමයි කියලා. එහෙම හිතන එකේ වැරැද්දක් නෑ. මොකද එහෙම මිසක් වෙන විදිහක‍ට හිතන්න ඒ අයට පුරුදු නෑ.“ මං කීවා.

“හ්ම්“ මායියා එහෙම කියලා සුසුමක් හෙළන ගමන් පරිප්පු දාලා තිබ්බ තාච්චියට ලුණු ටිකක් දැම්මා. ඔළුව වනපු තාලෙන්, 'යංතම් ඇති' එකම එක දේකට හරි අපේ මිනිහ මං එක්ක එකඟ වෙලා තියෙනවා' කියන සැහැල්ලුවක් ඒ සුසුමේ තිබුණා.

අසාධාරණකම්වලට විරුද්ධව විරෝධය දක්වන පපුවෙ තෙතමනයක් තියෙන අපි වගේ සාමාන්‍ය මිනිස්සුයි, විරෝධය දැක්වීම වෘත්තීයක් කරගත්තු වෘත්තීය විරෝධතාකරුවොයි අතර තියෙන සම්බන්ධය ටිකක් සංකීර්ණයි. මේ අය පොදු සටන්පාඨවලට එකට එකතු වෙනවා වුණත් දෙගොල්ල අතර දුරස්ථභාවයක් තියෙනවා. එක පැත්තකින් වෘත්තීය අරගලකරුවන් රස්සාව බේරාගන්නයි, කොහෙන් හරි ලැබෙන සල්ලි ටික පරිස්සම් කරගන්නයි විරෝධය දක්වනවා. අනිත් උන් තමාට මිනිසුන්ගේ අයිතිවාසිකම් ගැන තියෙන කැක්කුම නිසා මේවාට එකතු වෙනවා. මේ දෙගොල්ලන්ගෙන් කාටවත් තමන්ටම කියලා සෑහෙන ජනබලයක් ගොඩ නඟාගන්න බෑ. ඒ හින්දා උද්ඝෝෂණයකට විස්සක් තිහක් එකතු කරගන්නත් සෑහෙන්න ගේමක් දෙන්න වෙනවා. අන්තිමට එකතුවෙලා තියෙන්නෙත් මේ දෙගොල්ලම තමයි. ඒත් රාජ්‍ය හෝ අයිතිවාසිකම් කප්පාදු කරන පිරිස් මේ දෙගොල්ලන්ටම වඩා සංඛ්‍යාත්මකව විශාලයි. ඒ අය විසින් ගොඩනඟලා තියෙන දෘෂ්ටිවාදය ශක්තිමත්. ඒ නිසාමයි, අයිතිවාසිකම් ඉල්ලලා කරන අරගලවලට වැඩිය ඒවාට කින්ඩිය දාන මහජනයා වැඩියෙන් දකින්න පුළුවන් වෙන්නෙ.

බණ්ඩි රාල


නව අදහස දක්වන්න

Or log in with...