ශ්‍රී ලංකා ක්‍රිකට් මාර පරාජය නරඹා බුකීවාසීහු ජයගොස නැඟූයේ මෙසේ ය | දිනමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් මාර පරාජය නරඹා බුකීවාසීහු ජයගොස නැඟූයේ මෙසේ ය

මාර පරාජය නරඹන්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ වෙසක් කාලයට අගනුවර මෙන්ම තදාසන්න නගරවල ඉදිකෙරෙන වෙසක් තොරණවලිනි. වෙසක් කාලයට තොරණ බලන්නට කොළඹට එන්නෝ තොටළඟ, පිටකොටුවේ මාළු මාකට් තොරණ, බොරැල්ල, දෙමටගොඩ තොරණ අතඅරින්නේම නැත. මොන තරම් නිදිමත වුණත්, කකුල් රිදුණත්, පුංචි එවුනුත් වඩාගෙන රෑ නිදිමරාගෙන තොරණ බැලීමට අපේ සිංහල බෞද්ධ බැතිමතුන් විතරක් නොවෙයි, අනිත් ආගම්වල, ඒ කියන්නේ හින්දු, කතෝලික, ඉස්ලාම් හැමෝමත් තොරණ බැලීමේ පුරුද්ද අත්අරිනවා බොරුය. බුදුහාමුරුවෝ දසමරුන් පරාජය කිරීම, මරඟනන් පරාජය කිරීම වගේ කොටු දිහා බලාගෙන ඉන්නට තොරණ නරඹන්න ඇබ්බැහි වෙච්ච කට්ටිය දක්වන්නේ පුදුම ආසාවක්. කුඩු බොන්න පුරුදු වුණ කුඩ්ඩෙකුට කුඩු නැතුව දවසක් දෙකක් ඉන්න බැරි තරමේ අමාරුවක් තමයි වෙසක් කාලෙට තොරණ බලන්න පුරුදුවෙච්ච අයට තියෙන්නෙ. මාරපරාජය වගේම අපේ තොරණ නරඹන බැතිමතුන් ඇහිපිය නොගහා බලා ඉන්න තවත් අපූරු ජාතක කතාවක් තමයි පටාචාරා කතාව. උපන්දින ඇඳුමෙන් පටාචාරාව බුදුන් සොයාගෙන දුවගෙන එන දර්ශනේ නරඹන්න ප්‍රේක්ෂකයො පුදුම භක්තියක් දක්වන්නෙ. වෙසක් කාලෙ තොරණවල තියෙන මාර පරාජය, පටාචාරා කතාව බලන්න ඇබ්බැහිවෙච්ච බැතිමතුන් වගේම තමයි ශ්‍රී ලංකාවෙ ක්‍රිකට් බලන්න පුරුදු වෙච්ච, ඇබ්බැහි වෙච්ච ක්‍රිකට්ලෝලීන්. ක්‍රිකට් කිව්වොත් ඉතින් ඒගොල්ලන්ට වෙන මොකුත්ම ඕන නැති ගාණයි. රෑ එළිවෙනකල් නිදි මරාගෙන ටීවී දාගෙන රේඩියෝ ඉයර්ෆෝන් කනේ ගහගෙන මේ ක්‍රිකට්ලෝලීන් නොවිඳිනා දුකක් විඳින්නෙ වෙන කිසිම දෙයක් නිසා නෙවී, රට ජාතියට, ආගමට තියෙන ආදරේ නිසාමයි. රත්නපුර පැත්තෙ ඉන්න මේ ජාතියෙ ක්‍රිකට් ලෝලීන්ට ශ්‍රී ලංකාව සෙල්ලම් කළේ නැතිවුණත් ඉන්දියාවේ අයි. පී. එල්. (IPL) වුණත් ඔට්ටුයි. මොකද ඒගොල්ලො ක්‍රිකට් එක්ක ඔට්ටු සෙල්මටත් පුරුදුවෙලා ඉන්න නිසා.

පහුගිය දවස්වල ක්‍රිකට් බැතිමතුන් සුදු ඇඳගෙන නාලා කියලා පේවිලා සැරසිලා ලක ලෑස්ති වුණේ 14 වෙනි වතාවට ඩුබායි ඉන්ටර්නැෂනල් ක්‍රීඩාංගණයෙ පටන් ගත්ත ආසියානු කුසලාන ක්‍රිකට් බලන්න. අපේ මාතෘ භූමිය අසල්වැසි ඉන්දියාව, පකිස්තානය වගේ රටවල් එක්ක බංගලාදේශය, ඇෆ්ගනිස්තානය, හොංකොං කියන රටවල් හයක් අතරින් සෙමි ෆයිනල් එන රටවල් හතර කවුද කියල රෑ නිදිමරාගෙන බලන්න ලක ලෑස්ති වුණේ මෙදා පාරත් අපේ මාතෘ භූමිය අන්තිම හතරදෙනාට අහුවෙන එක ඉර හඳ වගේ විශ්වාස නිසා. ඒත් බලන්නකො මෙදා සැරේ ක්‍රිකට් තොරණ බලන්න ලකලෑස්ති වුණ කට්ටියට සිද්ධ වුණ දේ. පළවෙනි දවසෙම තොරණ තිබුණෙ මරඟනන් පරාද කිරීම වගේ එක කොටුවක කතාවක් විතරයි. ඒ කොටුවෙ හිටියෙ බංගලාදේශ්වල මාර දූවරුන්ට සමාන කට්ටියක්. පුදනකොටම කාපි යකා කිව්ව වගේ අපෙන් ක්‍රිකට් ඉගෙන ගත්ත (හතුරුසිංහලගෙන්) බංගලියො තොරණ බලන්න පුරුදුවෙලා හිටපු කට්ටියගෙ හීන ලෝකෙ කඩල බිඳල දැම්මෙ කිසිම අනුකම්පාවක් නැතුව. දෙයියනේ දැන් ඉතින් මොකද කරන්නෙ කියලා ලජ්ජාවෙන් මූණු හංගගෙන හිටපු අපේ කට්ටියට ඇෆ්ගනිස්තානෙ ද, බලුකිස්තානෙ ද කොහේදො රටකින් ආපු කබ්බො ටිකක් දුන්නෙ නැද්ද අපේ කට්ටියගෙ කොඳු නාරටිම කැඩිල යන සයිස් එකේ ගේමක්.

ක්‍රිකට් බැතිමතුන්ගේ සීමාවෙ රතු ඉරි පැන්නෙ මාලිංගගෙ බෝලෙක වේගෙන්. පළවෙනි දවසෙ හිත අප්සෙට් කරගෙන හිටපු ක්‍රිකට් භක්තිවන්තයො දෙවනි දවසෙ කෑගහන්න පටන් ගත්තෙ නැද්ද මොකද අපට මේ මාර පරාජය පෙන්නන්නෙ කියලා. ඇත්තටම ඒක නම් මාර මාරම පරාජයක් පෙන්නපු තරගයක් වුණේ නැතෑ. 2017 ජූලි ඉඳලා 2017 ඔක්තෝබර් වෙනකල් එකදිගට පෙන්නපු පරාජ අතරෙ මාර පරාජය පෙන්නුවෙ, ගිය සුමානෙ කියල කියනව ඇහුණා විතරක් නෙවි, බුකීවාසීන් Facebook, ෂෝෂල් මීඩියා පටන් ගත්තෙ නැද්ද මාර පරාජයට ජය ඝෝෂා කරන්න බුකිය පිරෙන්න නානා ප්‍රකාර වර්ගයේ පෝස්ටු දමමින්. ඒ පෝස්ටු නිර්මාණය කරපු සමහර බුකීවාසීන් සාහිත්‍ය පොත්පත් එහෙම ලියන්න පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම සුවර්ණ පුස්තක තෑග්ග දිනාගෙන මිසක් ආපහු පස්ස බලන එකක් නෑ. ඒ තරමටම ඒගොල්ලන්ගෙ ජය ඝෝෂා නිර්මාණශීලීයි. මෙන්න ‍මේ නිර්මාණශීලී පෝස්ටු කීපයක්. මේවා නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ මාර පරාජය දැකලම ලියවිච්ච අභිනන්දන ස්ත්‍රෝත්‍ර වගේ.

අනූ හයේ උන් දැං කිහිළිකරුවෙන් ආවත් මුන්ට වඩා හොඳට ගහනවා. වර්ණපුරලා දුලිප්ලා කුඹුර ගත්තා. අර්ජුන කුඹුර හෑවා. අරවින්ද, ගුරා, මහානාම වී ඉස්සා. සනා, මුරලි, වාස් අස්වනු නෙළුවා. මහේල/ සංගා බත් කෑවා. මැතිව්ස් වැසිකිළි යනවා. ඉස්සර බංගලි ඇෆ්ගන් වගේ පොඩි රටක් එක්ක මැච් එකක් ගහද්දි අපි දිනයි කියන විශ්වාසෙට නොබල ඉන්නවා. දැන් උන් දිනයි කියන බයට නොබල ඉන්නවා. තව බුකියෙක් මෙහෙම ලියනවා. අපිට චියර් කරන මැදපෙරදිග දුක් විඳින අපේ රටේ කොල්ලො කෙල්ලො ටික ගැනයි මට දුක. අමුතුම වර්ගයේ ඡායාරූපයක්. ශ්‍රී ලංකා ධජය ගහපු මිනී පෙට්ටියක් අවමංගල රථයකින් බිමට ගන්නවා. ක්‍රීඩා ඇමැතිවරයෙක් එක්ක හිටපු ක්‍රිකට් ලොක්කෙක්. තවත් අපූරු ඡායාරූපයක් එක්ක මාරපරාජයෙන් වියරු වැටුණු බුකී වාසියෙක් උපහාසාත්මක කතාවක් ලියලා. මුහුණු වසාගත් අරාබි කාන්තාවන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපළින් එළියට එනවා. එක්කෙනෙක් අහනවා අක්කෙ එයාර්පෝට් එකෙන් පිටවෙන තැන කොතනද කියලා. අනිත් එක්කෙනා කියනවා අක්ක නෙමේ මම ඇන්ජලෝ මැතිව්ස්. බොල තෝ කුසල් මෙන්ඩිස් නේද කියලා. එනවා පේනවා මෙන්ඩිස් යනවා පේනවා. කුසල් මෙන්ඩිස්ගේ දිනෙන් දින දියුණුව. ඉරිදා පළවෙනි බෝලෙන්ම 0 ට ගියපු මෙන්ඩිස් ඊයෙ දවසේ වැරදි හදාගෙන අද බෝල දෙකක් බැට් කරලයි 0 ට ගියේ. අන්න එහෙමයි අපේ ක්‍රිකට් අනාගතය. මැච් පරදින්න යද්දී මැච් බලන උන් විදියට අපිත් අපේ රට දිනවන්න මහන්සි වුණු වෙලාවල් තිබුණා. විකට් යන්නෙ නැතිවෙද්දි පුටුව මාරු කළා. හිටගෙන බැලුවා. ! ඉඳන් 100 ට ගණන් කළා. ඔන්න දැන් විකට් එකක් කියලා මැතිරුවා. විනාඩි කීපයක් TV එක off කරලා තියලා ඔන් කළා. ඇස් දෙක පියාගෙන හිටියා. රිමෝට් එකට තට්ටු කළා. කියන්න සංතෝෂයි මැච් සීයක් එක දිගට පැරදුනත් එකසිය එක්වෙනි මැච් එක දිනයි කියලා බලන හරි අපූරු ජාතියක් බං අපි. ඔබ දන්නවාද? කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරපු බෝල 3 ට තරග ගාස්තුව පමණක් රුපියල් ලක්ෂ නවයයි. ඔහු මුහුණ දුන් පන්දුවක වටිනාකම ලක්ෂ 3 යි. තොපි ක්‍රිකට් ගහන එක නවත්තලා අවුරුද්දක් දෙපැත්ත බෙදිලා කැච් ප්‍රැක්ටිස් කරහල්ලා.

ඇන්‍ජලෝ මැතිව්ස්ගෙ පින්තූරයක් එක්ක එයා අහනවා පුතාල, දුවල ඇයි මේ නැගිටගෙන? නිදාගනිල්ලා. බල්ලෙකුට බලන්න බෑ මැච් එක. අනිත් මැච් එකේ 22 ක් සෙල්ලම් කරවන්න ඕන. හාස්‍යයට උපහාසය පිරුණු මේ ලියවිලි තුළ අපට පේන්නෙ ක්‍රිකට්ලෝලීන්ගෙ සාධාරණ දැඩි විරෝධය. 84 - 2016 වෙන තෙක් තියපු ආසියානු කුසලාන තරග හයකදීම කුසලානය දිනාගත්ත ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය වගේ අවසාන තරගයකට කවදාවත් ආපු නැති රටකට අන්ත පරාජය වීම මාරපරාජයක් ‍විදියට දැකීමෙ මොන වැරැද්දක් ද? 28 දාට තියෙන අවසාන තරගෙදි බංගලාදේශය, ඇ‍ෆ්ගනිස්තානය වගේ රටක් ඉන්දියාවට හරි පකිස්තානයට හරි පාඩමක් කියල දුන්නොත් අපි දැක්ක මාර පරාජයේ ලැජ්ජාවෙන් ඩිංගක් හරි ගොඩඑන්න පුළුවන් වෙයි. හොඳ වෙලාවට අපේ කෙල්ලො ටික නෙට්බෝල් ඒෂියා කප් එක ගෙනාවෙ කියලත් ලියල තිබුණා. නැත්නම් ගම නෙවෙයි රටයි කන්න වෙන්නෙ කියලා. මාර පරාජය ආපහු බලන්න නම් නොලැබේවා!

බුද්ධදාස ගලප්පත්ති
[email protected]

නව අදහස දක්වන්න