කැකිරාවේ සහානා නික්ම ගියාය | දිනමිණ

කැකිරාවේ සහානා නික්ම ගියාය

කැකිරාවේ සහානා නමින් ප්‍රකටව සිටි සිත්ති ජහනරා ලේඛිකාව පසුගියදා අපෙන් සදහටම සමුගත්තා. තරමක කාලයක් තිස්සේ රෝගාතුරව සිටි සහානා ජීවන ගමන නිමා කරන විට පසුවුණේ පනස්වන වියේ. ගායිකාවක් හෝ නිළියක් තරම් ජනප්‍රිය නොවුණත් ලාංකික සාහිත්‍ය ක්ෂේත්‍රයේ ඇය කැපී පෙනෙන ලේඛිකාවක්. මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන ලේඛිකාවක් වශයෙන් ඇය දිනා සිටි නම නිසාම මීට වසර කිහිපයකට කලින් මටත් අවස්ථාවක් ලැබුණා සහානා දැනහැඳින ගන්න. වරක් සිංහල දෙමළ ලේඛක එකමුතුව සංවිධානය කළ සුහද හමුවක දී කොළඹ දී ඇය මුණ ගැසෙන්නත් මට අවස්ථාවක් ලැබුණා.

සහානා උපත ලැබුවේ කැකිරාවේ මරදන්කඩවල ගමේ. මා අසා තිබෙන විදිහට ඇගේ දෙමාපියන් දකුණු ඉන්දියාවෙන් ලංකාවට පැමිණි යුවළක්. මවත් පියාත් දෙමළ භාෂාව කියවීමට මෙන්ම ලිවීමට දැන සිටීම නිසා කුඩා කාලයේදීම සහානාටත් පොතපත ඇසුරු කිරීමට වාසනාව උදා වී තිබුණා. එකල පළ වූ ‘මිත්‍රන්’ නමැති පත්තරය වගේම දකුණු ඉන්දියානු සඟරාත් සහානාගේ නිවෙසේ පරිහරණය වුණු බවකුත් මා අසා තිබෙනවා. සහානා නිර්මාණකරණයට ප්‍රවේශ වන්නේ අවුරුදු 13ක දැරියක්ව සිටි සමයෙයි. පොතපත කියවීමට අමතරව ගුවන්විදුලියට සවන් දීමේ පුරුද්දක්ද සහානා ප්‍රගුණ කරගෙන සිටියා. ඒ දවස්වල ඉතා ජනප්‍රිය දෙමළ වැඩසටහනක් වූ “ඔලිමංජරී” විශේෂාංගයට කවි ලියන්නට ඇය පුරුදු වුණා. සිත්ති ජහනරා කියන නම කිවිඳියකට නොගැළපෙන බව ඇයට සිතුණේ ගුවන්විදුලියෙන් ඇගේ නම ශ්‍රවණය කළාට පසුවයි. උපන් ගම වන කැකිරාවද සම්බන්ධ කරගෙන කැකිරාවේ සහානා කියන කලාත්මක ආරූඪ නම ඇය නිර්මාණය කරගත්තේ ඒ අනුවයි.

සහානා ගැන මේ සටහන ලියන්න මා පෙළඹුණේ කාරණා කීපයක් හේතු කොටගෙනයි. ඉන් ප්‍රධාන එක තමා මුස්ලිම් සමාජයේ ගැහැනියකට පැනවී ඇති සීමා බන්ධන ජය ගනිමින් ලේඛන කලාවේ නිරතවීමට ඇය සමත්වීම. ඇය ඉපදී හැදුණ වැඩුණ කැකිරාවේ මරදන්කඩවල යනු ආර්ථික දුෂ්කරතාවයේ වගේම සමාජ පසුගාමීත්වයේ පත්ලටම ගිලුණු පසුගාමී ගම්මානයක්. සහානාගේ දෙමව්පියන් අකුරු සාස්තරේ වටිනාකම දැන සිටි නිසාම ඇයට පාසල් අධ්‍යාපනය ලැබීමේ වරම හිමි වුණා. මුලින් කැකිරාවේ මුස්ලිම් මහා විද්‍යාලයටත් පසුව ගම්පොළ සහිරා විදුහලටත් යාමේ භාග්‍ය උදා නොවන්නට අපට කැකිරාවේ සහානා නම් ලේඛිකාව කවදාවත් මුණ ගැසෙන්නේ නැහැ.

දකුණු ඉන්දියාවේ ඉතා ප්‍රසිද්ධ ලේඛකයෙක් වන ජෙයකාන්තන්ගේ “සිරනිලංගලිල් සිලමනි තරකල්” නම් නවකතාව කියවන විට ඇය පසුවුණේ 12වන වියේ. ඉන්දියානු කාන්තාව අත් විඳින දුක් පීඩා හා නිදහස පතා ඔවුන් කරන අරගලය එම නවකතාවේ අපූරුවට චිත්‍රණය කිරීමට ලේඛකයා සමත් වෙනවා. මේ නවකතාව කියවීමෙන් පසුව සහානාටත් හිතෙනවා සමාජ සංස්කෘතික රැහැන් පටවලින් ගැටගැසී සිටින ලාංකික මුස්ලිම් කාන්තාවගේ විමුක්තිය වෙනුවෙන් පන්හිඳ අතට අරන් අරගලයක් කරන්න. වරක් මා සමඟ සිළුමිණේ පාලම විශේෂාංගය සඳහා සම්මුඛ සාකච්ඡාවක් කළ සහානා ඇයට අතදුන් ගුරුතුමෙක් ගැන විශේෂයෙන්ම සඳහන් කළා මතකයි. සහානාගේ අසල්වැසියෙක් වූ මේ ගුරුතුමා හැඳින්වුණේ ”ෆාරුක් සර්” නමින්. ඔහු සහානාට හොඳ පොතපත තෝරා දුන්නා පමණක් නොව ඇගේ ලේඛන කලාව දියුණු කරගන්නටත් අතහිත දුන් බව සහානා කෘතවේදීව සිහිපත් කළා. ඒ ඇදුරුතුමාත් හරියට ගුරු ගීතයේ අල්තිනායිට මඟ පෙන්වූ දුයිෂේන් වගෙයි.

සහානාගේ සාහිත්‍ය ජීවිතය පෝෂණය කළ තවත් මාර්ගෝපදේශකයෙක් තමා දැන් ජීවන ගමනේ අනූව දශකයේ අග භාගයේ දිවි ගෙවන ඩොමිනික් ජීවා ජ්‍යෙෂ්ඨ ලේඛකයා. ඔහු යාපනයේ සිට පළ කළ “මල්ලිකෛ” සඟරාව පසු කාලයක සහානාට ශිල්ප දක්වන්න මනා වේදිකාවක් වුණා. ඇගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය වන ”ඔරු ඩෙවඩියක් කනවු” ප්‍රකාශයට පත් වුණෙත් මල්ලිකෛ සඟරාවේ අනුග්‍රහයෙන්. ලේඛන කලාවේ නිරත වන අතරවාරයේම ඇගේ අධ්‍යාපන කටයුතු සපුරාගන්නත් සහානා අමතක කළේ නැහැ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර කලා උපාධිය දිනාගත් ඇය පසුව ජාතික උසස් අධ්‍යාපන ආයතනයේ ඉංග්‍රීසි පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද හැදෑරුවා. ඉංග්‍රීසි ගුරුවරියක ලෙස ජීවිකා වෘත්තිය අරඹන්නට සහානා සමත් වන්නේ මේ අධ්‍යාපන පසුබිම මතයි.

සහානාගේ ලේඛන කලාව ඇයට කීර්තියක් වගේම අභියෝග රැසක්ද හිමි කර දුන් බව මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. මුස්ලිම් සංස්කෘතියේ ගැහැනිය වටා බැඳුණු සම්ප්‍රදායික සීමා මායිම් අතික්‍රමණය කරමින් පෙරට ඇදෙන මේ පෙරළිකාර යුවතිය දුටු ගතානුගතික මුස්ලිම් සමාජය ඇයට එරෙහිව අවි අමෝරන්න පටන් ගත්තා. මෙහිදී ඇගේ දෙමාපියන් වගේම මේ වන විට සහානා තරම්ම ජනප්‍රිය ලේඛිකාවක් බවට පත්ව සිටින කැකිරාවේ සුලෙයියා නම් සහානාගේ සොහොයුරියද ඇයට ලබා දුන් දිරිය හා සවිය නොවන්නට ඇය මේ අභියෝග හමුවේ අසරණ වනවා සිකුරුයි.

කෙටිකතාකාරියක් වශයෙන් වඩා ප්‍රකටව සිටි සහානා වසර 50ක සිය ජීවිත කාලය තුළ වෙනත් සාහිත්‍යාංගද ඇතුළු කෘති 10ක් පමණ ලියා පළ කර තිබෙනවා. මේ නිර්මාණ සඳහා දෙස් විදෙස් සම්මාන ගණනාවක්ම ඇයට පිරිනැමුණා. සහානාගේ කෙටි ජීවිත කාලය ලේඛන කලාව ඔස්සේ මානව දයාව ප්‍රගුණ කරන්නට කැප කළ එකක් ලෙසත් හැඳින්වීමට පුළුවන්. ශ්‍රී ලාංකිකයන් වන අපි සැම එක මවකගේ කුස උපන් දරු කැලක් ලෙසයි ඇය දුටුවේ. ඇය ජාතිය ආගම බඳු සීමාවන් ඉක්මවා ලාංකිකත්වය වෙනුවෙන් තම පන්හිඳ මෙහෙය වූ සටන්කාමී ලේඛිකාවක්. සහානා මිතුරිය, ඔබ දකින්නට සිහින මැවූ ඒ මානවහිතවාදී සමාජය ගොඩනැඟීමට අපි උපරිමයෙන් කැප වෙමු.

කමල් පෙරේරා
[email protected]


නව අදහස දක්වන්න

Or log in with...