පොත් වසන්තය | දිනමිණ

පොත් වසන්තය

 මේ වර්ෂ දෙදහස් දහඅටේ සැප්තැම්බර් මාසයයි. සාහිත්‍ය ගැන ඉතා අඩු උනන්දුවක් ඇති සසිරිබර මෙසිරිලක සැප්තැම්බර් මාසය අපේ රටේ ආණ්ඩුව විසින් කලක පටන් ම සාහිත්‍ය මාසය සේ වෙන්කොට ලියා දී තිබේ. ඉතින් අපේ දූපත්වාසීන් අල්ප ප්‍රමාණයක් පමණක් උනන්දුවන සාහිත්‍යයට යන්තමින් හෝ අවධානයක් මේ මාසයේ දී ලැබෙයි.

මෙම ලිපිය පුවත්පතේ පළවන විට දෙදහස් දහඅටේ සැප්තැම්බරයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වී තිබෙනු ඇත. ලිපිය ලියවෙන විටත් පොත්වල පිටු සැකසෙමින්, සැකසුණු පිටුවල සෝදුපත් බැලෙමින්, පිටකවර සැකසෙමින්, පොත් හා පිටකවර මුද්‍රණය වෙමින්, මුද්‍රණය වූ පොත් බැ‍ඳෙමින්, කටයුතු නිමවූ පොත් ඇසිරෙමින් පවතිනු ඇත. ප්‍රකාශන ආයතන, මුද්‍රණාල ගිනි කම්හල් සේ කඩිනම් ය. සැමදෙන ම වැඩකටයුතු නිමකිරීමේ සටනක ය. මේ වෙහෙසකර සටන මැද්දේ ද ඇතැම් පොත් මුද්‍රණාලයෙන් ප්‍රදර්ශන භූමිය කරා සැපත්වන්නේ ප්‍රදර්ශනයෙන් අඩක් පමණ ගෙවී යන විට ය. අපේ ලේඛකයන් ද ඇතැම් විට සිය අලුත් පොත නිම කරන්නේ ප්‍රදර්ශනය පේන තෙක් මානයේ තබා ය. එවිට ප්‍රකාශකයාට මෙන් ම මුද්‍රණාලයට ද පොත් නිම කිරීමේ වෙහෙසකර සටනට මුහුණ දෙන්නට සිදුවෙයි.

පොත් ප්‍රදර්ශනය ආරම්භ වූ පසු කුටි කරා ඇදී එන, ප්‍රදර්ශන භූමියේ ඇවිද යන ජනකාය දෙස බලා හිඳීම ද නෙත සිත පිනවන දර්ශනයකි. ඇතැම් අය බණ්ඩාරනායක ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ සංචාරය කිරීම පවුලේ විනෝද චාරිකාවක් කර ගනිත්. දෙමාපියන් හා දරුවන් එක්ව පැමිණ පොත් මිලට ගෙන, එළඹෙන අවුරුද්දට ඇවැසි ඇබෑසි පොත් මිලට ගෙන, රිසි පරිදි හා අතේ මිටේ ඇති හැටියට ආපන ශාලාවලින් කා බී හැන්දෑවේ පිටව යනු දක්නට ලැබෙයි. අද වන විට පොත් යන්න අරුත් ගැන්වෙන විට නවකතා, කෙටිකතා, පරිවර්තන, කාව්‍යා දී සාහිත්‍ය කෘති පරයමින් ළමයින්ටත් වඩා ඔවුන්ගේ මාපියන්ගේ මනදොළ සපුරන පාසල් විෂය ධාරාව හා බැඳෙන උපකාරක, ප්‍රශ්නෝත්තර හා ශිෂ්‍යත්වාදී පොතපත බහුල වෙයි. ඇතැම් තැනක හයේ සිට නවය දක්වා වූ විභාග රහිත පන්තිවලට වාර විභාග අධි ලකුණු සඳහා මඟ හෙළිපෙහෙළි කරන දෙමාපිය මනදොළ සපුරන උපකාරක පොතපත, සංගත තැටි ආදිය අලවි කරන වෙනම කුටි දැකිය හැක. (‍යොවුන් නවකතාදිය කියවමින් කියවීමේ අත්පොත් තැබූ දරුවන් ඉන් ඉවත්කොට වාර විභාග විලංගුවෙහි තබා බැඳලීමේ මෙම ක්‍රමවේදය අධ්‍යාපන පොරයේ අලුත් ම ස්වභාවය කියාපාන්නකි.)

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී දේශපාලකයන්ගේ සාහිත්‍ය කතාදියට සවන් දෙන්නට ඉඩකඩ සලසා නැත. එබැවින් පොත් සොයා යන පාඨක ප්‍රජාවට කරදරයකින් හෝ කන් දූෂ්‍ය කරගැන්මකින් තොරව නිදහසේ තමන්ට ඇවැසි පොතපත සරිකර ගත හැක. එහෙත් රාජ්‍ය අනුග්‍රහ මත කෙරෙන ප්‍රාදේශීය සාහිත්‍ය උත්සව බොහෝ විට දේශපාලන සහභාගිත්වයෙන් අනූන ය. අවුරුදු කීපයකට කලින් 2014 අගභාගයේ දී මම එක්තරා පළාතක පළාත් රාජ්‍ය සාහිත්‍ය උත්සවයකට සහභාගී වීමි. ජනාධිපතිවරණය ආසන්න වී තිබුණු හෙයින් වේදිකාව අපේක්ෂාවෙන් සිටි මහාමාත්‍යවරයා හෝ ආණ්ඩුකාරයා නොපැමිණියහ. අවසානයේ ඉමහත් කලබලයකින් වේදිකාවට පිවිසුණේ පළාතේ අධ්‍යාපන ඇමතිවරයා ය. ඔහු සිටියේ ද හැකිතරම් කඩිනමින් මැතිවරණ කටයුතු සඳහා පිටව යාමේ අදිටනෙනි.

සම්මාන හා උපහාර ලබාගැන්මේ අටියෙන් බොහෝ දෙනෙක් ශාලාවේ වාඩිකරනු ලැබ සිටියහ. පළාතේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් සම්මාන සඳහා නිර්දේශිත කලාකරුවා බැගින් අසුන්ගන්වා තිබිණි. පළාතෙන් එක් වරක් පමණක් පළාතේ උපන් හෝ පදිංචි ප්‍රවීණ කලාකරුවන් සඳහා පිරිනැමෙන විශේෂ උපහාර සම්මානය වෙනුවෙන් කලාකරුවන් සිව්දෙනෙක් ඉදිරියෙන් ම අසුන් ගන්වා සිටියහ. පළාත් ඇමතිවරයා ‍ප්‍රවීණයන් සිව්දෙනාට සියතින් සම්මාන පිරිනැමීමේ වගකීම පවරා ගත්තේ ය. ඒ අතර ඔහු මේ එක් එක් කලාකරුවා ගැන වෙන වෙන ම හඳුන්වමින් කතා කළේ ය. මේ සතරදෙනා අතර දිගු කාලයක් වාද්‍ය ශිල්පියකු සේ කටයුතු කළ ප්‍රවීණ වාද්‍ය ශිල්පියෙක් ද සිටියේ ය. ඇමැතිවරයාට බෙහෙවින් ම වැරදුණේ වාද්‍ය ශිල්පියා ගැන කතා කරන විටදී ය. ඇමැතිවරයා මෙසේ කීවේ ය.

“ ඇත්තෙන් ම ... මහත්මය, මම හොඳින් ම ඔබතුමා ගැන දන්නව. ඔබතුමා ලියා තිබෙන වටිනා පොතපත මේ රටේ සාහිත්‍යය පෝෂණය කරනව. අපේ දරුදැරියො ඔබතුමා ලියන පොතපත කියවල තමන්ගෙ ජීවිත හැඩගස්වා ගන්නව. ඔබතුමා අපේ රටේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ පිනට පහළ වුණු කෙනෙක්.”

ඇමැතිවරයා කියාගෙන ගියේ ය. අසා සිටි ප්‍රවීණ වාද්‍ය ශිල්පියාට කුමක් සිතුණේදැයි නොදනිමි.

සැප්තැම්බර් මාසයේ දී ස්වර්ණ පුස්තක, රාජ්‍ය සාහිත්‍ය, ගොඩගේ වැනි සම්මාන උළෙල පැවැත්වේ. මේ වන විට එම සම්මාන උළෙල පවත්වා අවසන් ය. ජයග්‍රාහී කෘති සඳහා මෙන් ම අවසන් වටයට නිර්දිෂ්ටිත කෘති සඳහා ද පාඨක ඉල්ලුමක් නිර්මාණය වෙයි. මෙම ප්‍රවණතාවය සාහිත්‍ය ක්ෂේත්‍රය පෝෂණය වීම සඳහා ද හේතු සාධක වෙයි. එය යහපත් ප්‍රවණතාවකි. විවිධ සම්මාන උළෙලවල හොඳම නවකතාව නැත්නම් හොඳම කෙටිකතාව සඳහා සම්මාන ලබන කෘති එකිනෙකට පරස්පර ය. (ස්වර්ණ පුස්තකයේ ‘අප්පච්චි’ නවකතාව සම්මාන ලබන විට රාජ්‍ය සම්මානය හිමිකර ගන්නේ ‘යකඩ සිල්පර’ කෘතියයි.) මේ තත්ත්වය ඇතිවන්නේ විවිධ විනිශ්චය මණ්ඩලවල රුචිකත්ව මට්ටම්වල ඇති පරස්පරතා හේතුවෙනි. විවිධ විනිශ්චය මණ්ඩලවල පරස්පර රුචිකත්ව හේතුවෙන් අවසාන වටයටවත් නොපැමිණ ගිලිහී යන හොඳ නවකතා එතැනින් ම පාඨක අවධානයෙන් ගිලිහී යයි. එය එක් අතෙකින් ඛේදවාචකයකි.

ලංකාවේ ජීවත්වන අපට ආඩම්බර විය හැකි දේ ඇත්තේ ම නැති තරම් ය. සෑම තැනක ම දැකිය හැක්කේ පසුගාමිත්වයයි. අන් රටවල් හා සසඳන විට සෑම ක්ෂේත්‍රයක ම පාහේ ඇති වෙමින් පවතින පසුගාමිත්වය අපට මැනවින් දැනේ. සාහිත්‍යය පැත්තෙන් ද තත්ත්වය එසේම ය. එවන් රටක ජීවත්වන අපට අපේ ජනමනසේ පහළ ම තැනක් හිමිවන පොතපත උත්කර්ෂයෙන් සල්පිල්ගත වන ජාත්‍යන්තර පොත් සල්පිල අපට ආඩම්බරයක් නොවන්නේ ද?

මහානාම දුනුමාල
[email protected]


නව අදහස දක්වන්න