ඇමැති ඇතුලත්මුදලිගෙන් ලොකු උපකාරයක් | දිනමිණ

ඇමැති ඇතුලත්මුදලිගෙන් ලොකු උපකාරයක්

දැනට එංගලන්තයේ කීල් විශ්ව විද්‍යාලයේ මනෝ චිකිත්සාව පිළිබඳ මහාචාර්ය අතුල සුමතිපාල බෝපගේ විසින් දැන හඳුනා ගෙන ඇත්තේ 1977 නිදහස් වී පැමිණි පසුය. බෝපගේ පවසන අන්දමට ඔවුහු දේශපාලන වශයෙන් සහෝදරාත්මක ව පමණක් නොව පෞද්ගලිකව ද ඉතා සමීපව සිටියහ. 1983 ජූලි කලබලය සම්බන්ධයෙන් හදිසි නීතිය යටතේ තවත් අය හා සමඟ ඔවුන් දෙදෙනා ද රහස් පොලිසියේ හතරවැනි තට්ටුවේ රඳවා තබා තිබිණි. වෛද්‍ය අතුල සුමතිපාල එසේ අත්අඩංගුවට ගන්නට පෙර කොළඹ වෛද්‍ය පීඨ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ නායකයකු ලෙස ද කටයුතු කර ඇත. රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කොළඹ වෛද්‍ය විද්‍යාලයේ කරන ලද උද්ඝෝෂණ කටයුතුවලට ඔහු ද නායකත්වය දුන්නේය. ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා අස් වූ පසු වෝඩ් ප්ලේස් පුද්ගලික රෝහලේ සේවය කළ වෛද්‍ය අතුල සුමතිපාලගෙන් බෝපගේ පවුලේ සියලුදෙනා වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන තිබිණි. එපමණක් නොව 1990 අග භාගයේ දී ඔස්ට්‍රේලියාවට පැමිණි විටෙක කැන්බරා නුවර විසූ බෝපගේ පවුල හමු වන්නට ද වෛද්‍ය අතුල සුමතිපාල අමතක කර නැත. “මට මතක අන්දමට 1988 මැද භාගයේ පමණ දවසක වෛද්‍ය අතුල සුමතිපාල සහෝදරයා සේවය නිමා වෙලා ආපසු යමින් සිටියදී, වාහනයක් ඔහුගේ වාහනයේ හප්පලා ඔහුව වෙනත් වාහනයකට ඇදලා ගත්තා. බස් රථයක ගමන් ගත් කෙනෙක් ඒක දැකලා රාජගිරිය ආයුර්වේදය ආසන්නයේ සිදු වූ ඒ සිද්ධිය වෛද්‍ය අතුල සහෝදරයාගේ තාත්තාට දන්වා තිබුණා. පසුව දා උදේ පාන්දර ම වෛද්‍ය අතුල සහෝදරයාගේ තාත්තා අප හමුවන්නට අපේ නිවෙසට ආවා. මේ සිද්ධිය මටත් චිත්‍රාටත් දන්වා පුතා ගැන කිසිදු ආරංචියක් නොමැති බවත් ඔහු සොයා ගන්නට කළ හැකි උදව්වක් ඇත්නම් වහාම කරන ලෙසත් අපෙන් ඉල්ලුවා. ඒ දවස් වෙන කොට දෙපැත්තෙන් ම ඝාතන රැල්ල පටන් අරගෙන. ලලිත් ඇතුලත්මුදලි මහතා ඒ අවස්ථාවෙ මට ඔහුගේ පුද්ගලික දුරකතන අංකය දී උදව්වක් අවශ්‍ය වුවහොත් කතා කරන්න කියලා කිව්ව බව මතක් වුණා.”

“මේක මහ නරක තත්වයක්. මම නිවෙස අසලම තිබුණු අපේ යහළු වික්‍රමරත්න මහත්මයාගේ නිවෙසට ගිහිල්ලා ලලිත් ඇතුලත්මුදලි මහතාට කරුණු පැහැදිලි කරලා ඔහුගෙන් කෙසේ හෝ වෛද්‍ය අතුල සහෝදරයාගේ ජීවිතය බේරා දෙන්නට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියා. ඔහු මගෙන් ඇහුවා එකම එක ප්‍රශ්නයක්. ඒ වෛද්‍ය අතුල සුමතිපාල තවම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධව සිටිනවා ද කියා ‘නැහැ, මම අස් වෙන කොට ඔහුත් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වෙලා තිබුණා’ කියලා. මම එක වරම ඇමතිවරයාට පිළිතුරු දුන්නා ටිකක් කල්පනා කරල ඔහු වෛද්‍ය අතුල සුමතිපාලගේ මවුපියන් සමඟ ඊළඟ දවසේ උදේ පාන්දර ඔහු හමු වන්නට එන ලෙස කිව්වා.”

“ඒ අනුව වෛද්‍ය අතුල සහෝදරයාගේ තාත්තාත්, අම්මාත්, චිත්‍රාත් මමත් ජාතික ආරක්ෂක ඇමැතිවරයාගේ නිවෙසේ දී ඔහුව හමු වුණා. “පුතා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ද” කියල එතෙන්දිත් ඔහු මවුපියන්ගෙන් ඇහුවා. මම කලින් දී තිබුණ පිළිතුර ම ඔවුනුත් ඇමැතිවරයා ට දුන්නා. ඇමැතිවරයා ඉන්පසුව ඔවුන්ට කිව්වා ‘මේක කෙළින්ම මගේ අතේ තිබෙන කටයුත්තක් නොවෙයි. ජනාධිපතිතුමා සමඟ මේ ගැන කතා කර බැලිය යුතුයි. ජනාධිපතිතුමා හමු වී මේ ගැන කතා කර බලන්නට යාමට ඔවුන් දෙදෙනා කැමති ද කියල. ඔවුන් දෙදෙනා ඒ සඳහා කැමැත්ත පළ කළා.”

“මීට ආසන්න දවසක ලලිත් ඇතුලත්මුදලි මහතාත් වෛද්‍ය අතුල ගේ මවුපියන් සමඟ ජනාධිපතිවරයා හමුවන්නට ගොස් තිබුණා. එදිනම වෛද්‍ය අතුල සහෝදරයාගේ තාත්තා මට කිව්වා අතුල සහෝදරයා ජීවතුන් අතර ඉන්න බව. ජනාධිපතිවරයාගේ පුතා රවි ජයවර්ධන ඝාතනය කරන්නට තිබුණ යම්කිසි සැලැස්මකට වෛද්‍ය අතුල සහෝදරයාත් එවකට කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ තිබුණ බී සී සී සමාගමේ සේවය කළ වීරසේකර නමැති සහෝදරයාත් සම්බන්ධ බවට ජනාධිපතිවරයාට තොරතුරු ලැබී තිබුණලු. ඒත් ඒ තොරතුර සම්පූර්ණ අසත්‍යයක් බවට සහ ඔවුන්ගේ පුතා ජනතා විමුක්ති පෙරමුණට කිසිම සම්බන්ධයක් නැති බවටත් මවුපියන් ජනාධිපතිවරයාට සහතික කරලා කියලා.

“ඊට පසුව අතුල සහෝදරයව අත්අඩංගුවෙන් නිදහස් කළා. ඒ දිනවලම මමත් චිත්‍රාත් ඔහු බලන්නට ගියා. ඔහුට එල්ල කරන ලද පහරදීම් වලිනුත් ‘ධර්ම චක්‍රය’ යනුවෙන් හඳුන්වමින් පමුණුවා තිබුණු වධ හිංසා වලිනුත් ඔහුගේ දෑත්වලට සහ වලළුකර වලට වී තිබූ හානිය අපි දැක්කා. ඔහු රඳවාගෙන වධ හිංසාවලට ලක් කරන ලද්දේ රජය ගම්පහ දිස්ත්‍රික්කයේ පවත්වා ගෙන ගිය වධකාගාරයක බව ඔහු අපට කිව්වා. අතුල සහෝදරයත් අපිත් අද දේශපාලන වශයෙන් වෙනස් අදහස් දැරුවත් අප අතර පැවති සමීප සම්බන්ධය අමතක නොවන ආකාරයේ එකක්. පෞද්ගලික වශයෙන් ගත්තොත් ඔහු අපට බොහෝ සෙයින් උදව් කළ කෙනෙක්. මනෝ චිකිත්සාව පිළිබඳ මහාචාර්යවරයෙක් වශයෙන් ඔහු අද කරන සේවය දිහා බැලුවම 1980 ගණන්වල අවසාන භාගයේ ඒ වගේ අගනා ජීවිත දස දහස් ගණනින් අහිමි වී යාම අපේ සමාජයට දරා ගන්නට බැරි තරම් වූ මහා ව්‍යසනයක් බව හොඳින්ම පේනවා.”

ඉන්දු - ලංකා ගිවිසුම කෙතරම් අසම්පූර්ණ වුවද එමගින් බලය බෙදාහැරීමේ පසුබිම සැකසුණු අතර බහු-වාර්ගික, බහු-සංස්කෘතික ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට ඉඩ සැලසුණු බව බෝපගේගේ අදහසයි. එහෙත් ගිවිසුමට ආරම්භයේ සිටම එකඟ විය යුතු ප්‍රධාන පක්ෂ, එල්.ටී.ටී.ය.ද ඇතුළු බොහෝදෙනා මේ ගිවිසුමට විරුද්ධ වෙන්නට හෝ එය විනාශ කර දමන්නට කටයුතු කළ බව ඔහු පවසයි. ඊට අවශ්‍ය කාල පරාසය ප්‍රායෝගික ව ලබා දෙමින්, නිසි ලෙස කල්පනාකාරී ව කටයුතු කොට සම්මුතියකට එළඹෙන්නට කටයුතු කළේ නම් ඒ ගිවිසුම සිවිල් යුද්ධය නතර කරන උපාංගයක් කර ගන්නට ඉඩ තිබුණ බව ඔහුගේ විශ්වාසයයි. මේ ප්‍රශ්නය මේ අන්දමේ විනාශයක් අත් කොට නොගෙන අවසන් කර ගත හැකිව තිබිණි. ඇතැම් සීමාවන් තුළ ඒ ගිවිසුම ක්‍රියාත්මක කොට ලේ හැලීම් නතර කරන්නට කටයුතු කළ හැකිව තිබුණු බව ඔහුගේ මතයයි.

රට ගිල ගනිමින් තිබූ දේශපාලන සංහාරය දුටු බෝපගේ දේශපාලනික වශයෙන් අපේක්ෂා භංගත්වයට පත් විය. ඔහුට හැඟුණේ යළිත් ඔවුන් සියලුදෙනාම ඔවුන් දේශපාලනය ආරම්භ කළ මුල් තැනට ම නැවතත් පැමිණ ඇති බවයි. මේ කාලය තුළ වමේ, දකුණේ සහ මැද සිටි දේශපාලන කණ්ඩායම් ඔහුව තම තමන්ගේ දේශපාලන පක්ෂ සහ සංවිධානවලට සම්බන්ධ කර ගන්නට උත්සාහයක යෙදී සිටියහ. එලෙසම ආරක්ෂක අංශවල අවධානය ද ඔහු වෙත යොමු වීම නොකඩවාම සිදුවිය. මාස දෙක තුනකට වරක් ආරක්ෂක අංශ විසින් ඔහුව ප‍්‍රශ්න කිරීමට ද භාජනය කෙරුණි.

“1988-89 කාලය වන විට රහස් පොලීසිය මගෙන් මාස දෙකකට පමණ සැරයක් ප‍්‍රශ්න කිරීම පුරුද්දක් කර ගෙන තිබුණා. ලංකාවෙන් පිට වෙලා යන්නට කලින් අවසාන වතාවට මගෙන් ප‍්‍රශ්න කළේ ඉන් මාස තුනකට පමණ පෙර. ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාත්, හමුදාවේ ජාතික බුද්ධි අංශයේ ප්‍රධානියා වූ මේජර් ජෙනරාල් චූලා සෙනෙවිරත්න මහතාත් තවත් ප්‍රධාන හමුදා නිලධාරියෙක් විසින් තර්ස්ටන් සහ රාජකීය විද්‍යාල අසල පිහිටා තිබුණ ඒකාබද්ධ හමුදා මූලස්ථානයේ දී. ඒ සඳහා මා රැගෙන ගියේ එවකට සර්වෝදය ශ්‍රමදාන සංගමයේ අධ්‍යක්ෂවරයකු ව සිටි දැන් සේවා ලංකා ප්‍රධානියා වන හර්ෂ කුමාර නවරත්න මහතා යි. මගෙන් ප‍්‍රශ්න කරනු ලැබුවේත් ඔහු ඉදිරිපිට දී ම යි. ප්‍රශ්න කිරීමේ මූලික අරමුණ වූයේ රෝහණ සහෝදරයාත් මාත් අතර යම් සම්බන්ධතාවයක් පවතිනවා ද යන්න දැන ගැනීමත් රෝහණ සහෝදරයා සැඟවී සිටින ස්ථානය සොයා ගැනීමත් බව පෙනුණා.”

බෝපගේ දේශපාලනයේ ප්‍රසිද්ධ භූමිකාවක් නිරූපණය නොකළ නමුත් ඔහු සිය පැරණි දේශපාලන ව්‍යාපාරය වූ ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ද ප්‍රසිද්ධියේ නිරන්තරයෙන් විවේචනයට ලක් කළේය. කිසිවකු ඔහුගෙන් රටේ දේශපාලනය පිළිබඳව තම අදහස් විමසුව හොත් ඔහු සිය අදහස් නොපැකිලව ඉදිරිපත් කළේය. පිළියන්දල ලයනල් බෝපගේ විසූ නිවෙසට ආසන්නයේ පිහිටා තිබුණු එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ සංචාරක ඇමතිවරයා ව සිටි ගාමිණී ලොකුගේගේ නිවෙස පිහිටි ස්ථානයේ කර්නල් ජානක පෙරේරා මෙහෙය වූ ජවිපෙ-විරෝධී විශේෂ කාර්ය බළකාය කඳවුරු ලා සිටියේය. විශේෂ කාර්ය බළකායේ භටයෝ ද, මැරයෝ ද බෝපගේගේ වගතුග විමසමින් ඔහු ලංකාවෙන් පිටවී යන්නට පෙර ඔහුගේ නිවෙස දෙවරක් වැටලූහ.

“මම ඒ කාලේ මොරටුවේ සර්වෝදය ආර්ථික ව්‍යවසාය සංවර්ධන සේවාවේ ප‍්‍රධාන කළමනාකරුවෙක් හැටියට කටයුතු කළා. තණමල්විලත් පදියතලාවේත් නළ ලිං ව්‍යාපෘති සහ ඒවාට අදාළ නිෂ්පාදන වැඩපොළවල් සහ අනුරාධපුරය, නුවර, අම්බලන්ගොඩ පිහිටුවා තිබුණු ඉංජිනේරු, වඩු කාර්මික, වාහන සේවා, හාල් මෝල්, ගොවි පොළවල් ආදිය වැනි වෙනත් ආදායම් ලබන ව්‍යාපෘති අධීක්ෂණය කරන්නට මම නිතරම පාහේ මොරටුවෙන් පිටතට යනවා. මාව ඒ ආයතනයට බඳවා ගත්තේ, පාඩු පිට පවත්වා ගෙන යමින් තිබුණ ව්‍යාපෘති, සර්වෝදය ශ්‍රමදාන සේවාවට ආදායම් ලබන ලාභ ලබන ව්‍යාපෘති බවට පත් කරන්න. මම ඒ ආයතනයට බැඳුණේ 1987 අප්‍රේල් මාසයේ අග. 1987 අවසානය වන විට මම ඒ ව්‍යාපෘතිවල සේවය කළ සේවක මහත්ම මහත්මීන්ගේ අදහස් හා සහයෝගය ද ලබාගෙන ඒ ව්‍යාපෘති බොහොමයක් ලාභ ලබන ආයතන බවට පත් කළා. ඇත්තටම මට ලොකු සතුටක් දැනෙනවා, මම ලංකාවෙන් පිට වෙන්න ඉස්සර වෙලා මොරටුවේ සර්වෝදය ඉංජිනේරු අංශයට ලබා ගත් ජපන් නළ ලිං ව්‍යාපෘතියකින් උපදවා ගත් ලාභයෙන් ඒ සේවකයන්ට වසරක වැටුප් බෝනස් එකක් ගෙවන්නට පුළුවන්කම ලැබුණා.”

“කොහොම වුණත් ව්‍යාපෘතිවල අධීක්ෂණ කටයුතු සඳහා මම පිට ප්‍රදේශවලට යන විට ඝාතක කල්ලියක් මම ව්‍යාපෘතිවල අධීක්ෂණ කටයුතු කරන්නට ආවොත් මා මරා දමන බවට පණිවිඩ තබා තිබුණා. ඊට මුහුණ දෙන්නට මම අපේ කාර්ය මණ්ඩලවලට පූර්ව දැනුම් දීමක් කිරීමෙන් තොරව ව්‍යාපෘති වැඩබිම් බලන්නට ගියා. ගමන්-බිමන් රටාව නිතර වෙනස් කළා. දිනපතා ගෙදර නිදා ගන්න එක නතර කළා. මට ඒ සම්බන්ධයෙන් බොහෝ උදව් කරපු කෙනෙක් තමයි ඒ කාලෙ සර්වෝදය ඉංජිනේරු අංශයේ චන්ද්‍රසෝම කුමාරගේ මහතා. මේ වන විට ඔහු බෝකුන්දර කුසලධම්ම නමින් වශයෙන් පැවිදි ජීවිතයක් ගත කරනවා.”

“ඒ අතරේ අපේ කාර්ය මණ්ඩලයේ පවුල්වල සමහර සාමාජිකයන්ට එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් වැනි විවිධ පාර්ශ්වවලින් මරණීය තර්ජන එල්ල වුණා. ඒ අයගේ ජීවිත බේරා ගන්නට මගේ සහාය ඉල්ලා සිටි විට මට කළ හැකි වූයේ සර්වෝදය ශ්‍රමදාන සංගමයේ ද සහයෝගය ඇතිව ඔවුන් සර්වෝදය සේවක නේවාසිකාගාරයේ නතර කිරීමයි. මේ අතරෙ මා භාරයෙ තිබුණ මොරටුව සර්වෝදයේ සේවා සහ නඩත්තු ස්ථානයේ වාහන සෑහෙන ප්‍රමාණයක් නවතා තිබුණ. රාත්‍රියේ පැමිණෙන සන්නද්ධ පුද්ගලයන් කණ්ඩායමක් එම ස්ථානයේ ආරක්ෂක නිලධාරීන්ට තර්ජනය කොට වාහන ගෙන යන්න උත්සාහ අරගෙන තිබුණා. මේ නිසා ඒ වාහන සියල්ලේ ම රෝද ගලවලා කොට උඩ තියන ලෙස මම ඒ ස්ථානයේ කාර්ය මණ්ඩලයට උපදෙස් දුන්නා. ඉන් පසු දිනක පැමිණි මෙම කණ්ඩායම ආරක්ෂක නිලධාරීන්ට පහර දීලා ගිහින් තිබුණා.”

සිසිර යාපා

හෙට - මරු පසුකර ජපානයට


නව අදහස දක්වන්න