රට හැදෙන හැටි | දිනමිණ

රට හැදෙන හැටි

අනුරාධපුර ඒකාබද්ධ නගර සංවර්ධන ව්‍යාපෘතියට ප්‍රංශ මූල්‍යාධාර

නිමල් විජේසිංහ අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමූහ

ශ්‍රී ලංකාවේ හඳුනාගත් නාගරික කලාපයන්හි තෝරාගත් නාගරික සේවාවන් හා පොදු නාගරික අවකාශයන් වැඩි දියුණු කිරීම සහ රජය විසින් දියත් කොට ඇති උපාය මාර්ගික නගර සංවර්ධන වැඩසටහන යටතේ අනුරාධපුර ඒකාබද්ධ නගර සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් වැඩ ලබන වසරේ මුල සිට ආරම්භ කිරීමට සැළසුම් කොට ඇත.

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරයි. මුල් අදියරට අනුරාධපුර, මහනුවර සහ ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කෙරේ.

අනුරාධපුර ව්‍යාපෘතියට ප්‍රංශ සංවර්ධන ආයතනය ඇ.ඩො.මි. 58 ක් සපයන අතර ශ්‍රී ලංකා රජය මෙම ව්‍යාපෘතිය සඳහා ඇ.ඩො.මිලියන 11.7 ක් ආයෝජනය කරයි. මහනුවර සහ ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘති සහ ලෝක බැංකුව පිළිවෙළින් ඇ.ඩො.මි. 100 ක් සහ ඇ.ඩො.මි. 45 ක් ලබා දෙන අතර මෙම වැඩසටහනට යාපනය නගර සංවර්ධන ව්‍යපෘතියද ඇතුලත් කොට තිබේ. ඇ.ඩො.මි. 55 ක ලෝක බැංකු මූල්‍යධාර මෙම ව්‍යාපෘතිය සහා ලැබෙන බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපාතිය යටතේ පැකේජ 8 කින් සමන්විත සංවර්ධන ක්‍රියාදාමයක් සැළසුම්කොට තිබේ. 2019 මුල් කාර්තුව තුල සැළසුම් ක්‍රියාත්මක කිරීම ආරම්භ වන අතර 2021 දක්වා ඉදිකිරීම් සහ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මකවනු ඇත. නව බස් නැවතුම්පල පුනර්සංවර්ධනය, මධ්‍යම දුම්රිය ස්ථානය පිළිසකර කිරීම, සංචාරකයන් සහ තොරතුරු ලබාදෙන මධ්‍යස්ථානයක් බිහි කිරීම, නව නගරයේ කාණු පද්ධතිය සංවර්ධනය කිරීම, ප්‍රධාන මාර්ගය හෙවත් මෛත්‍රීපාල සේනානායක මාවත ප්‍රතිසංවර්ධනය කිරීම, අනුරපුර පූජා නගරය තුළ උරුම කළමනාකරණය විධිමත් කිරීම, නවනගරයේ වාහන තදබදයට පිලියම් කිරීම සහ ධාරිතා වර්ධනය මෙම පැකේජ 8 ට අයත් ය.

මේ පිළිබඳ අදහස් පළකළ රණවක මහතා දේශීය හා විදේශීය සංචාරකයන් ඇතුළු වන්දනාකරුවන්ට අවශ්‍ය සේවාවන් සපයමින් අනුරාධපුර නවනගරය සහ පූජා නගරය අතර සමතුලිත වර්ධනයක් තුලින් ඒකාබද්ධ තිරසාර සංවර්ධනයක් ඇති කිරිම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ බව සඳහන් කළේය.

වැසි ජල කළමනාකරණය සඳහා කාණු පද්ධතිය නවීකරණය කිරීම සහ අනුරාධපුර නගරයේ ගංවතුර පාලනය කිරීමේ වැසි ජල කළමනාකරණ සැලැස්මක් ද ව්‍යාපෘතියට ඇතුලත් ය. නාගරික පහසුකම් වැඩි දියුණු කිරීම සිදු කෙරෙන අතර අනුරාධපුර රාජධානියේ ඓතිහාසිකභාවය සුරැකෙන පරිදි උරුමයන් කළමනාකරණය කිරීම සදහා විශේෂ අවධානය යොමු කරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.


ත්‍රිකුණාමලය වරාය සංවර්ධනයට පියවර

ප්‍රාදේශීය වරායයන් සංවර්ධනය යටතේ ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරීමට කටයුතු කෙරේ.

මේ පිළිබඳ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා සහ උප සභාපති පී. ජී. දසනායක මහතා ප්‍රමුඛ ඉහළ කළමනාකාරීත්වය හා නැ‍ෙඟනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දී පැවැත්විණි.

එහිදී නැඟෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා අදහස් දක්වමින් ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරීමේදී ප්‍රථමයෙන් වරාය සතු භූමි ප්‍රදේශයන් නිසි ලෙසින් ආවරණය කරගත යුතු බවත්, ඉඩම් අත්පත්කර ගැනීමේදී නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරමින් කටයුතු කළ යුතු බවත් කීය.

තවද නැ‍ඟෙනහිර පළාත සතු භූමියේ ශක්‍යතා හැඳිනගනිමින් සංචාරක ප්‍රවර්ධන කලාපයක් ලෙසින් ස්ථාපිත කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

එමෙන්ම ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත භූමිය නිසි ලෙසින් හැඳිනගනිමින්, භූමි සංචිතයක් ලෙස පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳවද අවධාරණය කරන ලදී. වැඩිදුරටත් අදහස් දැක්වූ නැඟෙනහිර ආණ්ඩුකාරවරයා නිසි ලෙස කළමනාකරණය කිරීම තුළින් පෞද්ගලික ව්‍යවසායකයින් සමඟ මනා සුසංයෝගීතාවක් පවත්වා ගනිමින් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ප්‍රාදේශීය වරායයන් සංවර්ධනයට පියවර ගන්නා බවත්, ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය සම්බන්ධයෙන් රජය විසින් ගෙන යන තිරසර සංවර්ධන වැඩසටහන යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධන සැලැස්මට සමගාමීව ශක්‍යතා අධ්‍යයනයකින් ‍අනතුරුව ත්‍රිකුණාමලය වරාය සංවර්ධන කටයුතු ඇරඹීමට පියවර ගන්නා බවත් පැවසීය.


ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කලාපය දඹුල්ලේ හා යාපනයේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කලාපය දඹුල්ල හා යාපනය ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කඩිනම් කෘෂිකර්ම සංවර්ධන වැඩපිළිවෙළ වන Òඅපි වවලයි - අපි කන්නේÓ යටතේ කෘෂිකාර්මික වගා කලාප ඒ ඒ ප්‍රදේශවල වගා කෙරෙන බෝග වර්ග හඳුනාගනිමින් ඒවාට ප්‍රමුඛත්වය ලබා දී වගාකිරීම සඳහා මෙම කෘෂිකාර්මික වගා කලාප ස්ථාපිත කිරීමේ අරමුණයි.

ඒ අනුව කෘෂිකාර්මික වගා කලාප ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඇරඹෙන ප්‍රථම වගා කලාපය වන්නේ අඹ වගා සංවර්ධන කලාපයයි. මෙම අඹ වගා කලාපයට ඇතුළත් වන්නේ යාපනය හා දඹුල්ල ප්‍රදේශයි. කෘෂිකර්ම අමාත්‍යාංශය ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය WB assist Agricultural Modernization Project යටතේ මෙම අඹ වගා සංවර්ධන කලාපය ස්ථාපිත කෙරෙන අතර ඒ යටතේ ටොම් ඇන්‍‍ඩ් ජේ. සී. Tom & JC අඹ ප්‍රභේදයට අයත් අඹ පැළ ලක්ෂයක් වගා කෙරේ.

Tom & JC අඹ ප්‍රභේදය දිවයිනේ වියළි හා තෙත් කලාපවල ඉතා හොඳින් වැවෙන හා පහසුවෙන් වගා කළ හැකි අඹ ප‍්‍රභේදයකි. එමෙන්ම වසර පුරාම ඵල හටගන්නා මෙම අඹ විශේෂයට ජාත්‍යන්තර මෙන්ම දේශීය වෙළෙඳ පොළේ ද ඉහළ ඉල්ලුමක් පවතී. එමනිසා අපනයනය ඉලක්ක කර ගනිමින් මෙම අඹ වගාව සිදුකෙරෙන අතර එමඟින් ගොවි ජනතාවට තම ජීවනෝපාය සංවර්ධනය සඳහා අමතර විශාල ආදායමක් උපයාගැනීමට ද හැකියාව පවතී.

පළමු අදියර තුළ දඹුල්ලේ වගා කෙරෙන අඹ පැළ ප්‍රමාණය 12,500 කි.

දඹුල්ල හා යාපනයේ ස්ථාපිත කෙරෙන මෙම අඹ වගා සංවර්ධන කලාපය මෙම මස 28 දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු මැති ඇමැතිවරුන් රැසකගේ සහභාගිත්වයෙන් දඹුල්ලේදී ආරම්භ කිරීමට නියමිතය.

නව අදහස දක්වන්න