රට හැදෙන හැටි - 2 | දිනමිණ

රට හැදෙන හැටි - 2

ඇඹිලිපිටිය ආයුර්වේද රෝහලට ලක්ෂ 800ක නව තෙමහල් ගොඩනැගිලි සංකීර්ණයක්

ඇඹිලිපිටිය ආයුර්වේද රෝහල සඳහා අංගසම්පූර්ණ නව තෙමහල් ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කරයි. මේ සඳහා රජය වැය කරන මුළු මුදල රුපියල් ලක්ෂ 800කි. මේ වන විට ‍එම ගොඩනැගිලි සංකීර්ණයේ ප්‍රථම අදියරේ ඉදිකිරීම් අවසන් වෙමින් පවතී.

නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විතව ඉදිකෙරෙන මේ නව තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය තුළ අංගසම්පූර්ණ වාට්ටු සංකීර්ණ, වෛද්‍ය සායන මධ්‍යස්ථාන, බාහිර රෝගී ඒකක සහ ඔහු ගබඩාවලින් සමන්විතය. දැනට මෙම ආයුර්වේද රෝහලේ පවතින ගොඩනැගිලි අබලන් තත්ත්වයට පත්ව ඇත.

නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමට අමතරව එම අබලන් ගොඩනැගිලි පද්ධති ද නවීකරණය කිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කරයි. සබරගමුව පළාතේ මෙන්ම දකුණු සහ ඌව පළාත්වලට මායිම්ව පිහිටා ඇති මෙම ආයුර්වේද රෝහල මඟින් රත්නපුර, ඇඹිලිපිටිය, මොණරාගල, හම්බන්තොට, ගාල්ල ඇතුළු ප්‍රදේශ රැසක ප්‍රජාවට සෙත සැලසේ.

මේ රෝහල ආශ්‍රිතව ආයුර්වේද ඔසු නිෂ්පාදනාගාරයක් ද පවතී. මේ නව ගොඩනැගිලි සංකීර්ණයේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට පසුගියදා (20) සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ද එක්ව සිටියහ.

ඇඹිලිපිටිය ප්‍රා‍දේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ශාන්ත රත්නායක, පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රියානි පද්මලතා, එම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සැලසුම්) එම්. බී. එස්. එන්. කුමාරගේ සහ පළාත් ආයුර්වේද කොමසාරිස් ඩග්ලස් පතිරගේ යන මහත්ම මහත්මීන් මේ අවස්ථාවට එක්ව සිටියහ.


කලාවැව වගේ පස් ගුණයක් විශාල ජලාශයක් නිර්මාණය කිරීම මගේ සිහිනයක්

අනුරාධපුර මධ්‍යම විශේෂ

ජනාධිපති මොරගහකන්ද ජලාශය නිර්මාණය කිරීමට දුටු සිහිනය මෙන් වාරිමාර්ග ඇමැතිවරයා ලෙස තම සිහිනය වන්නේ පහළ මල්වතු ඔය ජලාශය නිර්මාණය කර ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලා යන අක්කර අඩි මිලියනයක ජලයෙන් කලාවැව වගේ පස් ගුණයක් විශාල ජලාශයක් නිර්මාණය කිරීම බව වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකණ ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි.

ලෝක ගංගා දිනය නිමිති කර ගනිමින් මෙරට දිගින් දෙවැනි ගංගාව වන අනුරාධපුර මල්වතු ඔය අසලදී ලෝක ගංගා දින සැමරුම් උත්සවයක් පැවැත්වුණු අතර ඇමැති දුමින්ද දිසානායක මහතා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් මේ බව පැවසීය.

සැප්තැම්බර් 23 වැනි දිනට යෙදුණු ලෝක ගංගා දිනය නිමිති කර ගනිමින් අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් උත්සවය සංවිධාන කර තිබුණි.එහිදී නාවික හමුදා නිලධාරීන් හා ගොවි සංවිධාන නියෝජිතයන්ගේ ශ්‍රම දායකත්වයෙන් මල්වතු ඔයේ පවතින සැල්වීනියා හා කැළි කසළ ඉවත් කරනු ලැබීය.ශුද්ධ පවිත්‍ර කෙරුණු අනුරාධපුර මල්වතු ඔය හරහා බෝට්ටුවකින් ගමන් කරමින් ඇමැතිවරයා නිරීක්ෂණයේ නියැළුණි.

අනතුරුව උත්සව සභාව ආරම්භ කෙරුණු අතර, එහිදී ආරාධිත දේශනය දැදුරු ඔය හිටපු ව්‍යාපෘති අධ්‍යක්ෂ වත්මන් වාරිමාර්ග අධ්‍යක්ෂ (විශාල ඉදිකිරීම්) සුනිල් පෙරේරා මහතා විසින් සිදුකරනු ලැබීය.

ඇමැති දුමින්ද දිසානායක මහතා-

මල්වතු ඔය ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කර දැන් කෙටි කාලයක් වෙනවා.ලෝක ගංගා දිනය වෙනුවෙන් කරන උත්සවය මල්වතු ඔයේම සිදු කළොත් හොඳයි කියා තීරණය කළා.අපේ බලාපොරොත්තුව තියෙන්නේ මල්වතු ඔයත් සංරක්ෂණය කර ගැනීම.මල්වතු ඔයට සිදුවෙන හානිය අවම කර ගත්තොත් අපිට පුළුවන්කම ලැබෙනවා ඉදිරි පරම්පරාවලටත් මල්වතු ඔය හරහා ප්‍රයෝජන ලබා ගැනීමට.

පානීය ජලය ලබා ගැනීමට මෙරට තියෙන ප්‍රධාන ගංගා රාශියක් උපයෝගී කර ගන්නවා.අපි ආණ්ඩුවක් ලෙස රජයක් ලෙස, නිලධාරීන් බලධාරීන් ලෙස සූදානම් ගංගා ආරක්ෂා කර දෙන්න.හැබැයි ඒවා පවත්වාගෙන යාමේ වගකීම මහජනතාව, ගොවිජනතාව හා ගංගා ආශ්‍රිතව ජීවත් වෙන ජනතාවට පැවරෙනවා.අපි කොච්චර ශුද්ධ පවිත්‍ර කළත් අපේම කට්ටියක් ඇවිත් තමයි කුණු රොඩු ටික වැසිකිළි බටෙත් ගඟට දාන්නේ.

අපි මොනවා කළත් ජනතාවගේ ඔළුව වෙනස් කර නෑ.ඔළුවට අවශ්‍ය දේවල් එකතු කර නෑ.භෞතික සම්පත් දියුණු කර තියෙනවා .හැබැයි ජනතාවගේ ඔළුව හදන වැඩේට කිසිම ආණ්ඩුවක් දායක වෙලා නෑ.අපි සියලු දෙනාම මේ ගංගා ටික ආරක්ෂා කර ගන්න ඕනෑ කියන හැඟීමෙන් කටයුතු කළා නම් අපි කවුරු අතින්වත් වරදක් වෙන්නේ නෑ.හානියක් වෙන්නේ නෑ.මේක තේරුම් නොගත්තාම යම් යම් හානි සිද්ධ වෙනවා.ඒ නිසා ගඟට ඇළකට දොළකට හානියක් සිද්ධ වෙනවා නම් ඒ සෑම තැනකදීම ඒවා ආරක්ෂා කර ගන්න පෙරමුණට එන්න කියා ආරාධනා කරනවා.

මල්වතු ඔය සංවර්ධනය කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරනවා.මල්වතු ඔය හරහා අක්කර අඩි මිලියනයක ජල ප්‍රමාණයක් වාර්ෂිකව ගලා යනවා.මෛත්‍රීපාල සිරිසේන මහතාට මොරගහකන්ද ජලාශය හැදීමේ සිහිනය තිබුණා වගේ 2015 වර්ෂයේ නව ආණ්ඩුව පිහිටුවලා වාරිමාර්ග හා කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස පත් වුණ වෙලාවේ මගේ සිහිනය වුණේ පහළ මල්වතු ඔය ජලාශය හැදීම.මේ වසර අවසානයේ හෝ ලබන වසරේ මුල් භාගයේ පහළ මල්වතු ඔය ජලාශයේ වැඩ ආරම්භ කර හැකි වෙනවා.අපි ප්‍රයෝජනයක් නොගෙන මුහුදට ගලාගෙන යන අක්කර අඩි මිලියනයක ජලයෙන් අපිට කලාවැව වගේ පස් ගුණයක් විශාල ජලාශයක් නිර්මාණය කරගත හැකි වෙනවා.ඊට සමගාමීව ජල විදුලි බලාගාරයක් උස්සාන ජල යෝජනා ක්‍රමයක් මගින් විලච්චිය තන්තිරිමලය ප්‍රදේශයේ ගොවිතැන් සඳහා ජලය ලබාදීමටත් බලාපොරොත්තු වෙනවායැයි ඇමැතිවරයා පැවසීය.

මහා සංඝරත්නය හිටපු වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති ඩබ්ලිව්.බී ඒකනායක අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රීලනිප නැඟෙනහිර ආසන සංවිධායක ප්‍රේමසිරි හෙට්ටිආරච්චි මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ ප්‍රසන්නද සිල්වා මහතා වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් නාවික හමුදා නිලධාරීන් ගොවි සංවිධාන නියෝජිතයෝ හා ප්‍රදේශවාසීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.


සෙනරත්වෙල මහා විදුහලට නව තාක්ෂණ විද්‍යාගාර ගොඩනැගිල්ලක්

කරල්ලියද්ද සමුහ කේ- විජේසිරි නිශ්ශංක

තෙල්දෙණිය අධ්‍යාපන කලාපයට අයත් සෙනරත්වෙල මහා විදුහල සඳහා රුපියල් මිලියන තුන්සියයක මුදලකින් ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ නව තාක්ෂණ විද්‍යාගාරයක් ඉදිකර ඇත.

මේ නව තාක්ෂණ විද්‍යාගාර ගොඩනැගිල්ල පසුගියදා මධ්‍යම පළාත් ප්‍ මහ ඇමැති සරත් ඒකනායක මහතා අතින් විවෘත කර සිසු අයිතියට පත් කෙරිණි.

පළමු වන වසරේ සිට එකොළහ වසර දක්වා පන්ති පැවැත්වෙන සෙනරත්වෙල මහා විදුලේ සිසුන් තුන්සිය පනහක් අධ්‍යාපනය ලබයි. සෙනරත්වෙල මහා විදුහලේ විදුහල්පති ලෙස නිමල් ගුණරත්න මහතා කටයුතු කරයි.

ඡායාරූපය - කරල්ලියද්ද සමුහ- කේ. විජේසිරි නිශ්ශංක


පරිසරය සුරකින්න අගුණකොළපැලැස්සට දාහත්ලක්‍ෂ පනස්දාහක පලතුරු පැළ

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - අම්බලන්තොට සමුහ

දකුණු පළාත් පරිසර ඇමැති එච් .ඩබ්ලිව් ගුණසේන මහතාගේ සංකල්පයක් අනුව දකුණු පළාත් පරිසර අමාත්‍යාංශය මෙහෙයවීමෙන් සිදුකරනු ලබන ගෙවතු වගා සඳහා ඌන භාවිතා පලතුරු ලබාදීමේ වැඩ සටහනට සමගාමීව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුණකොළපැලැස්ස කොට්ඨාසයේ පවුල් 350ක් සඳහා රුපියල් 5000ක පමණ වටිනාකමින් යුත් පලතුරු පැළ කට්ටලයක් ලබාදීම පසුගිය 20 වැනිදා දකුණු පළාත් පරිසර ඇමැති එච් .ඩබ්ලිව් . ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අගුණකොළපැලැස්ස පුරහලේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සිදුවන පරිසර විනාශය නතර කර අනාගතය වෙනුවෙන් පරිසරය සුරැකීමත් පරිසර හිතකාමී ගෙවත්තක් සඳහා ජනතාව යොමු කිරීමේ අරමුණින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. මේ වැඩ සටහනට සමගාමීව අක්ෂි සායනයක් පවත්වා පෙනීමේ දුර්වලතා ඇති පුද්ගලයන් 600ක් සඳහා ඇස් කන්නාඩි ලබාදීමද සිදුකෙරිණි.


උඩදුම්බර උදාගම්මානයේ ඉදිකිරීම් වැඩට මුල්ගල් තබයි

මීගහකිවුල සමූහ- එන් නවරත්න

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය , සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය එක්ව ක්‍රියාත්මක කරන ගම් උදාව ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ උඩදුම්බර මැතිවරණ කොට්ඨාසයේ ඉදිවෙන තුන්වෙනි උදාගම්මානයේ ඉදිකිරීම් කටයුතු සඳහා මුල්ගල් තැබීම, මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායක චානක අයිලප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා හපුකන්ද ගම්මානයේදි සිදු කෙරිණි. නව උදාගම්මානය නිවාස 41කින් සමන්විතය. උත්සවයට එක් වූ චානක අයිලප්පෙරුම මහතා නව නිවාස ව්‍යාපෘතියට මුල් ගල් තැබූ අයුරු.


නව අදහස දක්වන්න

Or log in with...