මම හිතන්නේ වැඩේ ගැන විතරයි | දිනමිණ

මම හිතන්නේ වැඩේ ගැන විතරයි

දම්මික හේවාදුවත්ත

කලා අධ්‍යක්ෂණ කටයුතු නිසා තරමක් කාර්යබහුල වෙලා වගේ?

ළඟදි මං කලා අධ්‍යක්ෂණය කරපු, ජැක්සන් ඇන්තනී මහත්මයාගේ ෆිල්ම් එකක වැඩ අවසන් වුණා. මේ දවස්වල ප්‍රසන්න විතානගේ මහත්මයාගේ “ගාඩි” චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණ කටයුතුවලට සූදානම් වෙනවා. ඒක 1814 -15 කාල වකවානුවේ කතාවක්. කොහොමත් මම හුඟක්ම කලා අධ්‍යක්ෂණය කළේ ඉතිහාස කතාවල. මේකත් ඒ වගේ ම ඉතිහාස කතාවක්. ඊට අමතරව මේ දවස්වල චරිත් අබේසිංහ මහත්මයාගේ “මිණිගංදෑල” ටෙලි නාට්‍යයේ වැඩ කරගෙන යනවා. “හේව් ආර්ට්” කියන අපේ කම්පැණි එක හරහා තමයි මේ සියලු කටයුතු කෙරෙන්නෙ.

ඇයි මේ වැඩිපුරම ඉතිහාස කතාවල වැඩ කරන්නෙ?

මම මුලින්ම ටෙලි නාට්‍යවල තමයි කලා අධ්‍යක්ෂණය කළේ. මගේ හැරවුම් ලක්ෂ්‍යය විදිහට මම දකින්නෙ සුගත් සමරකෝන් මහත්මයාගේ “විජය කුවේණි” චිත්‍රපටය. එතැන් පටන් ඉතිහාස කතාවලට මම නැඹුරු වුණා සහ මට ඒ සම්බන්ධයෙන් වැඩි වැඩියෙන් අවස්ථාවන් ලැබුණා. මමත් පෞද්ගලිකව කැමතියි ඉතිහාස කතාවලට. මොකද ඒවා ඇතුළෙ මහන්සි වෙලා, යම්කිසි නිර්මාණයක් කරලා එළි දක්වන්න පුළුවන්. ඒත් මේක ඇත්තටම දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. ඉතිහාස කතාවක් කරනවා කියන එක සහ 1814 -15 කාල වකවානුවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්වත් අලලා යන කතා කියන්නෙ තව ටිකක් අමාරුයි. මොකද කියනවා නම් එවකට තිබුණු සියලු දේවල් අදටත් කෞතුකාගාරවල දකින්න තියෙනවා. දැන් අපි ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ සිංහාසනය හදන්න ඕනෙ නම් ඒක අපි දැනට දකින්න තියෙන විදිහට ම හදන්න ඕනෙ. ඒක ඇත්තෙන්ම අසීරු කාර්යයක්. අපි අපේ හිතලුවක් නිර්මාණය කරනවා වගේ නෙවෙයි. ඒ නිසාමයි මම ඉතිහාස කතාවලට ගොඩක්ම නැඹුරු වුණේ. නමුත් මම කොටු වෙන්න කැමති නෑ. මහන්සි වෙලා යමක් කරන්න තියෙන, යමක් කරලා පෙන්නන්න තියෙන, ඕනම වැඩකට මං කැමතියි.

මෑතකදි සම්මානෙකුත් ගත්තා නේද?

සුමති සම්මාන උළලෙදි ජැක්සන් ඇන්තනී මහත්මයාගේ “සී රජ” ටෙලිනාට්‍යය වෙනුවෙන් හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සම්මානය මට ලැබුණා. සම්මානේ ලැබුණ එක ගැන සතුටුයි. නමුත් සම්මාන උළෙලවල් ගැන ලොකු පැහැදීමක් නෑ. ඇත්තටම කොහොමද මේක මනින්නෙ? මොකක්ද මේ මිනුම් දණ්ඩ කියලා ගැටලුවක් මට පෞද්ගලිකව තියෙනවා. ඊට කලින් තිබුණ සම්මාන උළෙල දෙකකදීත් “සීරජ” හොඳම කලා අධ්‍යක්ෂණයට නිර්දේශ වෙලා තිබුණා. ඒ දෙකේදි මට සම්මානයක් ලැබුණෙ නෑ, මේකෙදි විතරක් ලැබුණා. ඒ දෙකෙත් අනිවාර්යෙන් ලැබෙන්න ඕනෙ කියලා දෙයක් නෙවෙයි තියෙන්නෙ. නමුත් මොකක්ද මේ මිනුම් දණ්ඩ කියලා ගැටලුවක් තියෙනවා. මං හිතන්නෙ මට ඕනම වැඩකදී පළවෙනි සම්මානය ලැබෙන්නෙ අධ්‍යක්ෂකවරයාගෙන්. මම මහන්සිවෙලා අවශ්‍ය පසුතලය හදලා තිබ්බම අධ්‍යක්ෂකවරයා ඈත ඉඳන් එන විදිහ මං බලාගෙන ඉන්නවා. ඒ මූණේ තියෙන හිනාවෙන්ම මට සම්මානෙ ලැබිලා ඉවරයි. ජැක්සන් ඇන්තනී මහත්මයා එක්ක වැඩ කරද්දි එයා සෙට් එකට එනකොට ඈත ඉඳන් මට සම්මානෙ විසි කරන් එන්නෙ “මෙන්න උඹගේ සම්මානෙ උඹ ගනින්” කියලා. ඒක මට වටිනවා, දෙනෝදාහක් ඉස්සරහා වේදිකාවක නැගලා අරගන්න සම්මානෙට වඩා. අධ්‍යක්ෂකවරයාගෙන්, නිර්මාණයට අදාළ නළු නිළියන්ගෙන් ඒ වෙලේ ලැබෙන සම්මානය තමයි මට ඉතාමත් ප්‍රබල විදිහට දැනෙන්නෙ.

කලා අධ්‍යක්ෂකවරයෙකුගේ වගකීම කුමක්ද?

කලා අධ්‍යක්ෂකවරයා කියන පුද්ගලයා ඇත්තටම පොඩි බොරුවක්නෙ කරන්නෙ. හිතන්නකො නිර්මාණයක් වෙනුවෙන් මම රජ මාළිඟාවක් මවනවා. නමුත් මිනිස්සුන්ට තේරෙනවනෙ, මේක මේ කාලෙ තියෙන එකක් නෙවෙයි හදපු එකක් කියන එක. ඒ වුණත් ප්‍රේක්ෂකයාව ඒ නිර්මාණය අවසන් වන තුරු හරි අපිට ඒ බොරුව ඇතුළෙ අල්ලලා තියාගන්න පුළුවන් නම්, ඒක රජ මාළිඟාවක්ම තමයි. මේ පේන්න තියෙන සේරම ඇත්ත කියලා චිත්‍රපටියක හෝ ටෙලිනාට්‍ය කොටසක හෝ රඳවා ගන්න පුළුවන් නම් ඒක තමයි ජයග්‍රහණය. මම කියන්නෙ ප්‍රේක්ෂකයාව නිර්මාණයට බැඳ තියාගන්න පුළුවන් විදිහෙ දෙයක් කරන්න පුළුවන් නම් ඒක තමයි කලා අධ්‍යක්ෂවරයාගේ වගකීම.

කලා අධ්‍යක්ෂකවරයෙකු ලෙස ක්ෂේත්‍රය තුළ ඔබ දකින අභියෝග මොනවාද?

මම මේ වෙනකොට ඉතිහාස කතා සම්බන්ධ චිත්‍රපට දහයක් පහළොවක් කරලා තියෙනවා. නමුත් මේ දැන් අලුතින් වැඩක් බාර ගත්තත් ඒක අභියෝගයක් හැටියට තමයි මම සලකන්නෙ. මගේ ජීවිතේ පළවෙනි වැඩේ කියලා හිතලා, සියට දෙසීයක තුන්සීයක සැලකිල්ලක් දීලා, ලොකුම අභියෝගයක් කියලා හිතලා තමයි මම ඒක කරන්නෙ. ඒ වගේම මම සාර්ථකයි කියන දේ මම නිර්භයව කියනවා. මං ගැන අඩු තක්සේරුවක් මම කොයි මොහොතෙවත් තියන්නෙ නෑ. මොකද මං මට ගරු කරන්නෙ නැත්තන් වෙන කෙනෙක්ගෙන් මට ගරුත්වයක් ලැබෙන්නෙ නෑ. මම මගේ වැඩේට ඇබ්බැහි වෙනවා. ඒ වැඩේ ඉවර වෙනකල් ඒ හැර කෑමක්බීමක්, ගෙයක් දොරක්, පවුල් ජීවිතයක් කියන කිසි දේකට විශේෂ අවධානයක් දෙන්න විදිහක් නෑ. එහෙම වෙද්දි යම් යම් ගැටලු සහගත තැන් ඇතිවෙනවා. එතකොට මගේ බිරිඳ ඒ හැමදෙයක්ම තේරුම් අරගෙන, ගේදොර වැඩ කටයුතු සමබරව කරගෙන යනවා. මට නම් හැමදේම අතෑරෙනවා මගේ වැඩෙත් එක්ක. ඒ ඇබ්බැහි වීම තුළ අපිට නිර්මාණයෙන් පිටට යන්න බෑ. ඒ ඇතුළෙමයි අපි ජීවත් වෙන්නෙ. ඉතිං ඒක ඇත්තටම අභියෝගයක්. ඒ වගේ ම අද වෙද්දි නිර්මාණයක් අවසානයේ ගිවිසුමේ සඳහන් වේතනය ලබාගන්න එකත් අපිට අභියෝගයක් වෙලා. අධ්‍යක්ෂකවරුන්ගෙන් සහ නිෂ්පාදකවරුන්ගෙන් මට විශාල මුදලක් ලැබෙන්න තියෙනවා, මං මේ වෙනකල් කරපු වැඩවලට. ඒක අපේ ක්ෂේත්‍රයේ මං දකින විශාල ව්‍යසනයක්. අපි රෑ එළි වෙනකල් නිදිවරාගෙන, අවංකව කැපවෙලා අපේ වැඩ කොටස කරනවා. නමුත් වැඩේ අවසන් වෙලා, වේතනය ගන්න ගියාම කෝල්ස් ලක්ෂයක් විතර දෙන්න ඕනෙ. මං කියන්නෙ ඒ තත්ත්වය වෙනස් වෙන්න ඕනෙ.

කලා අධ්‍යක්ෂණයෙන් ඔබ්බට ගිහින් වෙනයම් කලා කටයුත්තක් අත්හදා බැලීමේ අදහසක් නැද්ද?

මගේ ජීවිතේ කුඩා කාලෙ ඉඳලම එහෙම අත්දැකීම් සම්භාරයක් තියෙනවා. මම ඒ දේ ප්‍රගුණ කරලා නැති වුණත් මූර්තියක් හදන්න වුණත්, චිත්‍ර අඳින්න වුණත්, ලී කැටයමක් කපන්න වුණත් ඒ හැම දෙයක් ගැනම මට අත්දැකීම් තියෙනවා. මං ඒ හැමදේටම කැමතියි. පොඩි කාලෙ ඉඳලම මම හැම ක්ෂේත්‍රයකින් ම වගේ ජීවිතේට පොඩ්ඩ පොඩ්ඩ අත්දැකීම් එකතු කරගත්තා. ඒ අත්දැකීම් එකතු කරගෙන හදාගත්ත පන්නරය තමයි මේ කලා අධ්‍යක්ෂකවරයා කියන භූමිකාවට මට ලොකු ආභරණයක් වුණේ. ඊට අමතරව මම මුලින්ම සහය අංගරචන ශිල්පියෙක් විදිහට වැඩ කළා. එතනදි මං මතක් කරන්න ඕනෙ සුමිත් හිරාන් කියන්නෙ කලා ක්ෂේත්‍රය තුළ මගේ එකම ගුරුවරයා. පසුව මම කලා අධ්‍යක්ෂණයට යොමු වුණා. කාලයක් තිස්සෙ එකතු කරගත්තු අත්දැකීම් තමයි මාව මෙතැනට ගෙනාවේ. දැන් මගේ එකම බලාපොරොත්තුව වෘත්තීය කලා අධ්‍යක්ෂකවරයෙක් විදිහට නිවැරදිව මේ කර්තව්‍ය කරන්න මට අවශ්‍ය වපසරිය හදාගන්න එකයි.

ඔබේ විවාහ උත්සවය පැවැත් වුණෙත් තරමක අමුතු තාලයේ තේමාවක් යටතේ. මොකක්ද ඒ සංකල්පය?

ඒක ඇත්තටම අවුරුදු හතරකට පහකට කලින් ඉඳන් මගේ හිතේ තිබුණු අදහසක්. මම ඉතිහාස කතාවල වැඩ කරනකොට මගේ අත් දෙකෙන් ම රාජකීය මංගල්‍ය හත අටක් කරලා තියෙනවා. රජ කාලෙ රජවරුන් බන්දලා තියෙනවා, ඉතිහාස කතා ඇසුරෙන් කළ නිර්මාණ හරහා. ඒකෙදි තමයි මගේ ඔළුවට ආවෙ ඇයි මගේ වෙඩින් එක මට මෙහෙම ගන්න බැරි කියලා. කාලෙක ඉඳලා සැලසුම් කරලා පසුගිය මාර්තු මාසේ මං හිතුවටත් වඩා හොඳට, වෙනස් විදිහකට වෙඩින් එක අරගත්තා. සියලුම දේවල් සකස් කරලා තිබුණෙ රාජකීය මංගල්‍යයක විදහට. හෝම් කමින් එකට මං පාවිච්චි කළේ යටත් විජිත කාලෙ කොස්ටියුම්. ප්‍රී ෂූට් එක ගත්තොත්, ඒකත් කළේ වෙනස්ම විදිහට කැලෑ ගම්මානයක් හදලා, රොබින් හුඩ් ටයිප් එකට. ඒ හැම දේකදිම මගේ ළඟින් ඉඳන් උදව් කරපු අය ගොඩක් හිටියා.

කාංචනා සිරිවර්ධන


නව අදහස දක්වන්න