අපනයන ශක්තිය | දිනමිණ

අපනයන ශක්තිය

ශ්‍රී ලංකාව ඉංග්‍රීසිනට අයත්ව තිබූ යටත්විජිත යුගයේ හම්බන්තොට රාජකාරි කටයුතු කළ ලෙනාඩ් වුල්ෆ් බ්‍රිතාන්‍ය සිවිල් සේවයේ නිලධාරියෙකි. රාජකාරි සමයේදී ඔහු ලද අත්දැකීම් සහ ජනජීවිතය පාදක කරගනිමින් ලෙනාඩ් වුල්ෆ් ලියූ ද විලේජ් ඉන්ද ජන්ගල් නම් නවකතාව 1913දී ලන්ඩනයේ හෝගාර්ත් ප්‍රකාශනයක් ලෙසින් ප්‍රකාශනය කරන ලදුව, පසු කලෙක බැද්දේගම නමින් සිංහල බසට ද පරිවර්තනය විය. මේ ගමට පිටස්තර ජන සමාජය සමඟ දැඩි සබඳතාවක් තිබුණේ නැත. උපයාගත් ආදායමෙන් විශාල කොටස ණයට සහ පොලියට හිළව් වූ පසු අතේ ඉතුරුවුණ සුළු අස්වැන්නෙන් ගැමියෝ පණ රැකගත්හ. අතමිට හිඟවූ පසු ගැමියෝ ණය ගත්හ. ඔවුහු ණය උගුලක සිරවී සිටියහ.

ගම සහ මහ වනය අතර අනවරත අරගලයකි. විවිධ අතෝර නිසා ගමේ ජන සංඛ්‍යාව අඩුවී අවසානයේ ඒ ගම මහකැලය විසින් ගිලගන්නා ලදී. මේ කතා පුවත විවිධ අයුරින් විචාරයනට හසුව තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා බැද්දේගම නවකතාව ආර්ථික විද්‍යානුකූලව විවරණයට ලක් කර තිබුණි. ඔහුගේ විවරණයට අනුව එදා බැද්දේගම වැනි රටවල් අද ද දක්නට ලැබේ. එබඳු රටවලට පිටස්තර ලෝකයා සමඟ සබඳතා අවශ්‍ය නැත. අවසානයේ මේ රටවල් හුදෙකලාවී ආර්ථිකව ව්‍යසනයට පත්වෙති.

ශ්‍රී ලංකාව ද එවැනි හුදෙකලා රාජ්‍යයක් වීමේ අවදානමකට ලක්ව තිබුණි. ආර්ථික සම්බාධක පැනවීමට ආසන්න තත්ත්වයක් උදාවෙමින් තිබියදී, යු‍රෝපා සංගමය ශ්‍රී ලංකා මත්ස්‍ය තහනමක් ක්‍රියාත්මක කෙළේය. ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන්මගට ජාත්‍යන්තර බාධක එල්ලවන ලකුණු පහළ විය. මේ සියලු බාධක මැඩගත් ශ්‍රී ලංකාව සිය 22 වන ජනාධිපති අපනයන සම්මාන උළෙල පසුගිය සතියේ පවත්වන ලදී. අපනයනය දිරිමත් කර ගැනීමට රටරටවල් සමඟ සබඳතා දැඩිකර ගැනීම රටක ආර්ථික සනීපයට හේතු වෙයි.

අභියෝග ජයගැනීම

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන ගමනාන්තය අමෙරිකා එක්සත් ජනපදයයි. අනතුරුව එක්සත් රාජධානියයි. තුන්වන ගමනාන්තය ඉන්දියාවයි. ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ හතරවන වෙළෙඳ පොළ ජර්මනියයි. ජර්මනිය පසුගිය පස්වසර තුළ නොකඩවා ශ්‍රී ලංකාවෙන් මිලදීගත් භාණ්ඩ ප්‍රමාණය සහ වටිනාකම වැඩිකර දීමෙන් ඉමහත් ආර්ථික සවිබල ගැන්වීමක් අපට ලබාදුන් රාජ්‍යයකි.

2013දී ජර්මනිය සමඟ කරන ලද වෙළෙඳාමෙන් ශ්‍රී ලංකාව ඇ. ඩොලර් දසලක්ෂ 468ක් උපයා ගත්තාය. එම ඉපැයීම ඇ. ඩොලර් දසලක්ෂ 498 දක්වා වැඩිකර ගැනීමට 2014දී හැකිවිය. 2015දී ඉපැයීම ඇ. ඩොලර් දසලක්ෂ 476ක් වුවද, 2016දී එය ඇ. ඩොලර් දසලක්ෂ 500 දක්වා ඉහළ ගියේය. 2017දී ජර්මනිය සමඟ කරන ලද අපනයනයේ වටිනාකම ඇ. ඩොලර් දසලක්ෂ 540කි.

ජර්මන් ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළෙඳාමේ විශේෂ වැදගත්කම මේ ගනුදෙනුවල වෙළෙඳ වාසිය ශ්‍රී ලංකාවට හිමිවීමයි. 2017 ශ්‍රී ලංකාව ජර්මනියෙන් ඇ. ඩොලර් දසලක්ෂ 540ක් උපයාගත් නමුත් ශ්‍රී ලංකාව ජර්මනියෙන් ආනයනය කෙළේ ඇ. ඩොලර් දසලක්ෂ 400ක භාණ්ඩ ප්‍රමාණයකි. වෙළෙඳ වාසිය අපටය. ජර්මානු වෙළෙඳ දූත කණ්ඩායමක් පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමෙන් පසු කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා වැඩි කිරීමට ඉදිරියේදී ජර්මනිය ඉදිරිපත්වන බවයි. ඉදිරි දෙවර්ෂය තුළ මේ ආයෝජන ගලාඒම සිදුවන බවට ද ඔවුහු අනාවැකි පළ කළහ.

ශ්‍රී ලංකාවේ පවතින පාරිසරික නීතිරීති මෙන්ම පිරිවැය ද තමනට එතරම් ප්‍රශ්නයක් නොවන බවද ඔවුහු ප්‍රකාශ කළහ. ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාල අංශය ප්‍රකාශ කෙළේ ශ්‍රී ලංකාව තුළ ජර්මානු ඍජු විදේශ ආයෝජනය ඇ. ඩොලර් බිලියන 1.2ක් බවයි. එසේම 2017දී ජර්මානු ආයෝජනය ඇ. ඩොලර් දසලක්ෂ 6කි.

ඉදිරි දෙසතිය තුළ ශ්‍රී ලංකා ව්‍යාපාරික දූත පිරිස් දෙකක් ජර්මනියට පිටත්ව යෑමට ද නියමිතය. එසේම ප්‍රැන්ක්ෆර්ට්, හම්බෝග් සහ බර්ලින් නගරවල ව්‍යාපාරික ප්‍රවර්ධන වැඩසටහන් තුනක් ක්‍රියාත්මක කිරීමද ඉදිරි දිනවල දී සිදුවේ. මෙසේ ශ්‍රී ලංකා ජර්මානු වෙළෙඳ සබඳතා ශක්තිමත් වෙමින් තිබේ.

ජර්මනිය වත්මන් ලෝකයේ ආර්ථික ශක්තිය අනුව සිව්වන බලවත් ආර්ථිකයයි. දෙවන ලෝක මහා යුද්ධයේදී සහමුලින් විනාශයට පත් ජර්මනිය 1948 අප්‍රියෙල් 3 වනදා බලාත්මක කරන ලද මාෂල් සැලැස්ම අනුව නව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකට අනුගතව ආර්ථික සංවර්ධනය ළඟා කරගත් රාජ්‍යයකි. ජර්මන් භාෂාවෙන් WIRTSCHAFTSWUNDER නමින් හැඳින්වෙන එම වැඩපිළිවෙළ අනුව ජර්මනියට ඍජු විදේශ ආයෝජන ගලා ආවේය. 1955 වන විට ජර්මනිය නැවත බලවත් රාජ්‍යයක් බවට පත්වී හමාරය.

ජර්මනියේ දැවැන්ත ආර්ථික ශක්තිය සහ එහි උදව් උපකාර වත්මන් ඉන්දියාවේ කාර්මික හා තාක්ෂණ දියුණුවට හේතුවූ බව ව්‍යාපාරික ලෝකයට රහසක් නොවේ. ඉන්දියා‍වේ මෝටර් රථ කර්මාන්තය සඳහා අතහිත දුන්නේ ජර්මනියේ බෙන්ස් මෝටර් රථ සමාගමයයි. එහිදී ඉන්දියාව සහ ජර්මනිය නවතම ආර්ථික මොඩලයක් හඳුන්වා දුන්නාය. ඉන්දියානු දේශපාලනඥයන් හා ව්‍යාපාරිකයන්ගේ දූරදර්ශී බුද්ධියේ තරම එම ව්‍යාපෘතියෙන් පැහැදිලි වේ.

ආකර්ශනය දිනාගැනීම

මර්සිඩීස් බෙන්ස් ඉන්ඩියා සමාගමය පිහිටුවන ලද්දේ 1994දී පූනා නගරය කේන්ද්‍රකර ගනිමිනි. අද වනවිට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ CHAKAN හි පිහිටුවා ඇති ප්‍රධාන කර්මාන්ත ශාලා පරිශ්‍රයේ විශාලත්වය අක්කර 100කි. මර්සිඩීස් බෙන්ස් පර්යේෂණාගාරයට සම්බන්ධව සිටින විද්‍යාඥයන්ගේ සංඛ්‍යාව 3000කට අධිකය. ඔවුහු මෝටර් රථ කර්මාන්තයේ නව පර්යේෂණ කරති.

මර්සිඩීස් බෙන්ස් මාදිලි 9ක් ඉන්දියාවේදී එකලස් කරනු ලබන අතර 2016දී නවතම මාදිලි 14ක් එහි නිෂ්පාදන ජාලයට එක්කර ඇත.

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපතිවරයා පසුගියදා කොළඹදී ප්‍රකාශ කෙළේ ශ්‍රී ලංකාව තම රටේ ව්‍යාපාරික අංශය දියුණු කර ගැනීමට නම් EASE TO DOING BUSINESS INDEX දර්ශකයේ ඉහළ ස්ථානයකට ළඟා විය යුතු බවයි.

ව්‍යාපාරික කටයුතු සඳහා සැපිරිය යුතු නිර්ණායක 10 එම දර්ශකයට අයත්ය. ඍජු විදේශ හා ආයෝජන ආකර්ෂණයේදී මේ දර්ශකය හැදෑරීම ජාත්‍යන්තර ක්‍රියා පටිපාටියකි.

මේ දර්ශකයේ අංක 01 ව්‍යාපාරයක් ඇරඹීමේදී ඊට ගතවන කාලය, අනුගමනය කළ යුතු නීතිරීති, අවශ්‍ය අවම මූලධනය පිළිබඳවයි.

දෙවැන්න ගොඩනැගිලි ඉදිකිරීමේ ක්‍රමවේදයයි.

තෙවැන්න ව්‍යාපෘතිය සඳහා විදුලිබල පහසුකම් පිළිබඳවය. මෙවැනි කරුණු 10ක් සපුරාදීමට සත්කාරක රට උනන්දුවන්නේ නැතිනම් එම රටට ආයෝජකයන්ගේ බැල්මක් ලැබෙන්නේ නැත.

ජර්මානු තානාපතිවරයා පැවසූ අන්දමට එම දර්ශකයේ ඉහළ තලයකට ළඟාවීමට ශ්‍රී ලංකාව අදහස් කර හමාරය. ශ්‍රී ලංකාවේ ඉලක්කය මේ ගෝලීය ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ ඒකක 70 කරා ළඟා වීමයි. පොහොසත් රටක් දැක්මේ 20 වන පිටුවේ ඒ බව සඳහන් වේ. දැනට 70 වන ස්ථානයේ සිටින්නේ ජැමෙයිකාවයි. 71 ඕමානයයි. ශ්‍රී ලංකාව දැනට ස්ථානගතව තිබෙන්නේ 111 වන ස්ථානයේය. අපට ඉහළින් සිටින්නේ මලාවියයි. අපට පහළින් සිටින්නේ ස්වාසිලන්තයයි.

ශ්‍රී ලංකාව මැද පෙළට

මේ දර්ශකයේ වර්ග කිරීම් අනුව ඉතා පහසු, මධ්‍යම හා පහළ මට්ටමේ රටවල් වශයෙන් ශ්‍රේණිගත කිරීම් ඇත. ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇත්තේ මධ්‍යම කාණ්ඩයේය. පකිස්ථානය (147) මාලදිවයින (136) සහ ඉන්දියාව (100) යන රටවල් ද මධ්‍යම කාණ්ඩයට අයත්ය. ඉන්දියාව පසුගිය වසරේ 130 වන ස්ථානයේ සිටියත් මෙවර 100 දක්වා ඉහළට පැමිණ ඇත. චීනය 78 වන ස්ථානයේ ද භූතානය 75 වන ස්ථානයේද වියට්නාමය 68 වන ස්ථානයේ ද සිටී. වියට්නාමය 82 සිට 68 දක්වා ඉදිරියට පැමිණ ඇත. ඒ 2018 දීය.

මේ දර්ශකය අනුව ව්‍යාපාර ඇරැඹීමට ඉතාම සුදුසු ‍රටවල් 10 පිළිවෙළින් මෙසේය. නවසීලන්තය, සිංගප්පූරුව, ඩෙන්මාක්, දකුණු කොරියා, හොංකොං, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, නෝර්වේ, ජෝර්ජියා සහ ස්වීඩන්.

ව්‍යාපාර සඳහා පහළම දර්ශකය වන 190 හිමිව ඇත්තේ සෝමාලියාවටයි. අවසාන රටවල් 10 චාඩ්, හයිටි, කොං‍ගෝ ජනරජය, ඇෆ්ඝනිස්ථානය, මධ්‍යම අප්‍රිකාව, ලිබියා, යේමන්, දකුණු සුඩානය, වෙනිසියුලා සහ එරිට්‍රියාවයි. මේ රටවලට ජාත්‍යන්තරය අවශ්‍ය නැත. ඒවා බැද්දේගම නවකතාවේ එන සිළිදුලාගේ වෙදරාළලාගේ, පුංචිරාළලාගේ සහ කර්ලිනාහාමිලාගේ රටවල්ය.

2017 ආදායම් වර්ෂය ශ්‍රී ලංකා අපනයනය ඉහළම වාර්තාගත ආදායමක් ලැබූ වර්ෂයයි. ඇමෙරිකානු ඩොලර් බිලියන 11.7ක් වූ එම ආදායම ඉහළ මට්ටමකට ගෙන ඒමට ජී. එස්. පී. සහනය නැවත හිමිවීම ද ප්‍රධාන හේතුවකි. එසේම ඇඟලුම් හා රෙදිපිළි අංශයේ වර්ධනයද අපනයන ආදායම් ඉහළ යෑමට හේතුවිය. 2017දී තේ අපනයන ආදායම ද රුපියල් බිලියන 233.3 දක්වා ඉහළ ගියේය.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති 2018 අපනයන සම්මාන උළෙලේදී වසරේ ශ්‍රී ලාංකික අපනයනකරුවා, උපරිම විදේශ විනිමය ඉපැයීමට සම්බන්ධ ව්‍යාපාරිකයා, වෙළෙඳපොළ වැඩිම විවිධාංගකරණයක් සහිත අපනයනකරුවා, අපනයනයේ නියැළි හොඳම බහුජාතික සමාගම, තිරසර සංවර්ධනයට දායකවන හොඳම අපනයනකරුවා, වැඩිම රැකියා උත්පාදකයා, ප්‍රාදේශීය වශයෙන් අපනයනයට සම්බන්ධ හොඳම අපනයන ව්‍යාපාරිකයා, හොඳම නැගීඑන අපනයනකරුවා, හොඳම ඇසුරුම්කරුවා ආදී වශයෙන් වූ ක්ෂේත්‍ර 11ක් සඳහා සම්මාන පිරිනැමීම සිදුවිය.

නොවැම්බර් 05 වනදා ඉදිරිපත් වෙතැයි සැලකෙන 2019 අය-වැය යෝජනාවලට අපනයන කටයුතු නංවාලන නව යෝජනා ඇතුළත් වන බවට දැනටම තොරතුරු පළ වේ.

අපනයන ආදායම ඉහළට

2018 වසරේ මුල් මාස 6 තුළ අපේ අපනයන ආදායම 2017ට සාපේක්ෂව වර්ධනයව තිබේ. 2017 ජනවාරි - ජූනි අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් 5397.55 කි. මේ ආදායම 2018 ජනවාරි ජූනි කාලසීමාවේදී ඇ. ඩොලර් දසලක්ෂ 5731.86 දක්වා වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. කර්මාන්ත නිෂ්පාදන, ආහාරපාන සහ දුම්කොළ, රෙදිපිළි සහ ඇඟලුම්, පෙට්‍රෝලියම් නිෂ්පාදන, සම්භාණ්ඩ සහ රබර් නිෂ්පාදන යන අංශයන්ගේ අපනයන ආදායම 2018 මුල් මාස 6 තුළ වැඩිව තිබේ.

කෘෂිකාර්මික සහ ඛනිජ අංශයේ පමණක් අපනයන ආදායම අඩුව ඇත. පොදුවේ අපනයන ආදායම් වර්ධනය සියයට 6.19කි.

එසේ අපනයන ආදායම වැඩිවුවත්, ආනයන වියදම වැඩිවීම ගැන සතුටට පත්වීමට පිළිවන්කමක් නැත. 2017 මුල් මාස 6 ආනයන වියදම ඇ. ඩොලර් දසලක්ෂ 10148.99ක් වුවත් 2018 මුල් මාස 6 ආනයන වියදම ඇ. ඩොලර් දසලක්ෂ 11441.07 කි. 2017 අපනයන ආදායම පරදා වියදම හෙවත් වෙළෙඳ හිඟය ඇ. ඩොලර් බිලියන 4.7කි. ශ්‍රී ලංකා මුදලින් එය රුපියල් දසලක්ෂ 719646.07කි. 2018 ජනවාරි, ජූනි වෙළෙඳ හිඟය ඇ. ඩොලර් දසලක්ෂ 5709.21 කි. හෙවත් ශ්‍රී ලංකා රුපියල් දසලක්ෂ 891230.25 කි.

අපනයන ආදායම වැඩිකිරීම සඳහා ජාතික අපනයන උපායමාර්ගික සැලැස්මක් (NES) ක්‍රියාත්මක කරයි. අපනයන ආදායම 2022දී ඇ. ඩොලර් බිලියන 28 දක්වා වර්ධනය කිරීම මේ සැලැස්මේ එක් පියවරකි. මේ ඉලක්කය ජයගැන්මට 2022 වනවිට අපේ අපනයනය සියයට 100% කින් වැඩිකර ගත යුතුව තිබේ. කුළුබඩු, සංචාරක අංශය ආශ්‍රිත දේ, සකස් කළ ආහාර පාන, බෝට්ටු නිෂ්පාදනය, විදුලි සහ ඉලෙක්ට්‍රොනික් උපකරණ තොරතුරු තාක්ෂණය යන අංශ දියුණු කර අපනයන වෙළෙඳ පොළ ජයගැනීම ර‍ජයේ එක් අපේක්ෂාවකි.

දේශීය ආහාර ද්‍රව්‍ය වගාවට පහසුකම් සපයා දෙමින් පිටරටින් ආහාර ද්‍රව්‍ය ගෙන්වීමේ කලාවෙන් අත්මිදී රටේ ජාතික ධනය රට තුළම රඳවා ගැනීම අනෙක් අපේක්ෂාවයි. ශ්‍රී ලංකාව බැද්දේගම නවකතාවේ එන හුදෙකලා ජනාවාස සංකල්පයෙන් මුදා ගැනීමට පියවර නොගතහොත් ශ්‍රී ලංකාවද නතර වන්නේ අප්‍රිකාවේ චාඩ්, හයිටි, කොංගෝ මධ්‍යම අප්‍රිකාව එරිට්‍රියාව, සුඩානය යන රටවල් අතරට ගොසිනි.

කරුණාරත්න අමරතුංග


නව අදහස දක්වන්න