ජාතික උරුමයට පස්ස හැරවීම! | දිනමිණ

ජාතික උරුමයට පස්ස හැරවීම!

කෙනකුට මහ පාරේ අඩ නිරුවතින් ගමන් කළ හැකි ද? එසේ සිදුකොට එය මගේ නිදහස යැයි තර්ක කළ හැකි ද? නීතිය ඉදිරිපිට ද, සදාචාරය ඉදිරිපිට ද එවැන්නකට ඉඩක් නැත. එබඳු විසමාචාරයක යෙදෙන තැනැත්තාට එක්කෝ නීතියෙන් දඬුවම් විඳීමට සිදුවෙයි. නැතහොත් අවට සමාජයෙන් දඬුවම් විඳීමට සිදුවෙයි. ශිෂ්ට සමාජයක් නිර්මාණය වී ඇත්තේ සාර-ධර්ම හා සාදු ධර්ම පදනම් කරගෙන ය. ඒ තුළ පිළිගත් සම්මුති, ප්‍රඥප්ති හා සම්ප්‍රදායයන් පවතී. ඒවාට අනුගතව ජීවත්වීම ශිෂ්ට සම්පන්න පුරවැසියකුගේ වගවීම බව කිව යුතු ය. එහෙත් නූතන සමාජයේ ඇතැම් තරුණ කොටස් සදාචාරය හා නීතිය නො පිළිගන්නා අවස්ථා තිබේ.

පිදුරංගල ඓතිහාසික පර්වත මුදුනට ගිය තරුණ පිරිසක් එම පර්වත මුදුනේ සිට අඩ නිරුවතින් ඡායාරූප ගෙන ඒවා සමාජ වෙබ් අඩවි වෙත මුදාහැර ආතල් ගනිමින් සිටිති. දැන් එම පින්තූර රට පුරාත්, ලෝකය පුරාත් හුවමාරු වෙයි. මේ දර්ශන දකින විදේශිකයකු අපේ පූජනීය ස්ථානවල තත්ත්වය මැන ගනු ඇත. එලෙස ම ස්වදේශික ජනයා සිද්ධස්ථාන කෙරෙහි දක්වන සැලැකිල්ල ගැන වැරදි තක්සේරුවක් ද ඇතිකර ගනු ඇත. මෙය රටට කළ අපහාසයක් ලෙස ද පූජනීය ස්ථාන සම්බන්ධයෙන් සිදුකළ බලවත් නිග්‍රහයක් ලෙස ද සැලැකිය හැකි ය. ලෝකයේ දියුණු රටවල් මෙබඳු සිදුවීම්වලට ඉඩ තබන්නේ නැත. එහෙත් අපේ බලධාරීන් තව ම නිහඬ බවක් පෙනී යයි.

පිදුරංගල පිහිටා ඇත්තේ ලෝක උරුමයක් වූ සීගිරිය ආසන්නයේ ය. එය බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස දීර්ඝ කාලයක සිට සම්භාවනාවට පාත්‍ර වී තිබේ. සීගිරි කාශ්‍යප රජු සිය රාජධානිය වටා මෙබඳු සිද්ධස්ථාන රැසක් ඇතිකොට ඒවා භික්ෂූන් උදෙසා පූජා කළ බව ඉතිහාසයේ සඳහන් ය. එම ඓතිහාසික වටිනාකම නිසා ද, පුරාණ බෞද්ධ සිද්ධස්ථානයක් නිසා ද, දෙස් - විදෙස් සංචාරකරයෝ පිදුරංගල කරා ඇදී එති. තරුණ පිරිස පර්වත මුදුනේ සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන ඇත්තේ ඒ අතර ය. මෙය සමාජ වෙබ් අඩවි වෙත නිකුත් කර ඇති බැවින් තරුණයන් සිදුකර ඇති අපහාසයට පුළුල් ප්‍රචාරයක් ලැබී ඇත. තවත් පිරිසක් මෙය ආදර්ශයට ගතහොත්; සිදුවන්නේ බලවත් විනාශයකි.

එක්කෝ මේ තරුණ කණ්ඩායම කුදලාගෙන ගොස් ඔවුනට මතක හිටින දඬුවමක් දිය යුතු ය. රජ දවස නම්; මෙබඳු පුද්ගලයන් උල තබනු ඇත. එහෙත් අද තත්ත්වය වෙනස් ය. කෙසේ වුව නීතියෙන් වුව මීට බුරුලක් නො ලැබෙනු ඇත. ඔවුන් පිස්සන් දැ’යි පරීක්ෂාකොට අංගොඩ රෝහලට හෝ මුල්ලේරියා රෝහලට හෝ ඇතුළත් කිරීම මීට ඇති තවත් විසැඳුමෙකි. සිහි - නුවණ ඇති කිසිවකු මෙබඳු අශෝභන ක්‍රියාවක් සිදු කරන්නේ නැත. මේ පිරිස මත්ද්‍රව්‍ය හෝ මත්පැන් හෝ පාවිච්චි කර සිටින්නට ඇත. එසේ නැතහොත් වෙනත් පවිටු ඉලක්කයක් පෙරදැරිකොට මෙවැන්නක් සිදුකළා වෙන්නට ද පුළුවන. කුමක් වුව මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කිරීම අත්‍යවශ්‍ය කාරණයකි.

ජාතික උරුමයන් විනාශ කිරීම, ඉතිහාසය විකෘති කිරීම, පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භාණ්ඩ කොල්ලකෑම දිගට ම සිදුවෙයි. මේ ක්‍රියාවලියෙහි අලුත් විලාසය වී ඇත්තේ ජාතික උරුමයන් සමඟ විහිළු කිරීම ය. නැතහොත් ඒවාට අපහාස කිරීම ය. ස්ත්‍රියගේ යට ඇඳුම්වල සංකේතයක් හැටියට බුදුරුව යොදාගත් අවස්ථාවක් ගැන තොරතුරු පසුගියදා හෙළිදරව් වී තිබිණි. එය සිදුකර තිබුණේ විදේශීය කාන්තාවක් ය. විදේශීය කාන්තාවට යම් පමණක බුරුලක් දැක්විය හැකි ය. මන්ද නොදන්නාකම නිසා එවැන්නක් සිදු විය හැකි නිසා ය. එහෙත් රටේ පුරවැසියන්ට එබඳු බුරුලක් දිය යුතු නැත. ඔවුන් මේ වරදවල් සිදුකරනුයේ හොඳින් දැනගෙන ය.

අපේ නූතන තරුණ පරම්පරාව දෙස බැලුවහොත් ඔවුන්ගෙන් බහුතරයකට රටේ ඉතිහාසය හා සංස්කෘතිය ගැන දැනුමක් හා හැඟීමක් නැත. එක්තරා පොලිස් ස්ථානයක් විසින් අයාලේ ගිය තරුණ පිරිසක අත්අඩංගුවට ගැනිණි. ඔවුන් තහනම් මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බව ද තහවුරු වී ඇත. ඔවුනට කරුණු වටහා දුන් පොලිසිය තරුණ පිරිසගේ මාපියන් ද ගෙන්වා තත්ත්වය සමථයකට පත් කළේ ය. අවසන මාපියනට වැඳ නමස්කාරකොට පිටව යන ලෙස තරුණ පිරිසට අවවාද කැරිණි. ඉන් එක් තරුණයෙක් මවට හෝ පියාට හෝ වඳින ගාථාව දැන සිටියේ නැත. පොලිස් පරීක්ෂකට මවට හා පියාට වඳින ගාථා කියාදෙන්නට සිදු විය. පුදුමය නම්; මවට හා පියාට කියන ගාථා නොදත් තරුණයා මෙවර විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට සුදුසුකම් ලැබුණු තැනැත්තකු වීමය.

ඕනෑ ම රටක දියුණුවට ඒ රටේ ජනතාවගේ ශික්ෂණය හෙවත් විනයගරුකභාවය අදාළ වන බව විද්වතුන්ගේ මතය වෙයි. ශික්ෂණය ලබන ප්‍රධාන මාර්ගයක් වන්නේ අධ්‍යාපනය යි. අපට ඇත්තේ ආසියාවේ හොඳ ම අධ්‍යාපනයක් බව ද කියති. එහෙත් තරුණ පරපුරේ විනය දිනෙන් - දින ම පරිහානියට යයි. එක්තරා විද්වතකු අපේ තරුණ පරම්පරාව හඳුන්වා ඇත්තේ තාක්ෂණික මී-හරක් ලෙස ය. එහි අර්ථය වන්නේ තරුණ පරපුර තාක්ෂණය අතින් බොහෝ ඉදිරියට ගොස් ඇති බව ය. එහෙත් මානව - සාංස්කෘතික හැදෑරීම් අතින් ඉතා දුර්වල මට්ටමක සිටින බව ය. මෙය අපේ අධ්‍යාපනයේ ඇති වැරැද්දක් ලෙස ද සමහරු විග්‍රහ කරති. කෙසේ වුව මීට ප්‍රතිකර්මයක් අවශ්‍ය වේ.

පිදුරංගල සිද්ධස්ථානයේ සිට අඩනිරුවත් ඡායාරූප ගත් තරුණයන්ගේ මානසික මට්ටම සේ ම ඔවුන්ගේ අරමුණු ද විමර්ශනයකට ලක්කිරීම වැදගත් ය. කිසිවකුගේ මෙහෙයැවීම මත මෙවැන්නක් සිදුකළා වෙන්නට ද පුළුවන. එසේ නැතහොත් සිද්ධස්ථානවලට අපහාස කිරීමේ අදහසක් ඔවුන් තුළ තිබෙන්නට ද පුළුවන. කුමක් වුව සිද්ධස්ථානයක සිට ඇඳුම් ගලවා ආතල් ගැනීමෙන් පෙනී යන්නේ ඔවුන් අපේ උරුමය හා පූජනීයත්වය තුට්ටුවකට මායිම් නොකරන බව ය. එය යහපත් දෙයක් නොවේ. රටේ අනාගතය භාරගැනීමට සිටින තරුණ පරපුර විකෘති මානසිකත්වයක් ඇති පිරිසක නම්; අනාගතයේ රටට අත්වන ඉරණම එයින් උපකල්පනය කර ගත හැකි ය.

තුප්පහි සංස්කෘතිය අපේ ජීවිතවලින් තුරන්කර ගන්නාතුරු අපට ජාතියක් හැටියට නැඟී සිටින්නට බැරි බව බොහෝ දෙනා කියති. සමාජ වෙබ් අඩවි හරහා නූතන තරුණ පරපුර ඇදී යන්නේ ඒ දෙසට නොවේ ද? මේවා පිළිබඳ පුළුල් කතිකාවක් සේ ම විසැඳුම් ‍යෝජනාවලියක් ද අවශ්‍ය වේ. එය ජාතික වගකීමකි.

 


නව අදහස දක්වන්න

Or log in with...