ලබන වසරේදි යොවුන් රග්බි පිලට ජාත්‍යන්තර තරගාවලි 5ක් | දිනමිණ

ලබන වසරේදි යොවුන් රග්බි පිලට ජාත්‍යන්තර තරගාවලි 5ක්

ෆවුස් මොහොමඩ්

වසර 2019දී මෙරට පාසල් රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරගාවලි 5කට සහභාගි වීමේ අවස්ථාව උදාවී තිබේ. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය පසුගියදා ප්‍රකාශයට පත් කළ වසර 2019 පාසල් රග්බි තරග කාලසටහනට අනුව ආසියානු යොවුන් රග්බි තරග බිමේ සිය දස්කම් උරගා බැලීමේ අවස්ථා 5ක් මෙරට පාසල් රග්බි ක්‍රීඩීක ක්‍රීඩිකාවන්ට හිමිවී ඇත.

ලබන වසරේ අගෝස්තුවේ ආසියානු අවුරුදු 20න් පහළ රග්බි තරගාවලියට ශ්‍රී ලංකා පිල එක්වන අතර එම මාසයේදීම ආසියානු අවුරුදු 20න් පහළ බාලිකා රග්බි තරගාවලියකට ක්‍රීඩා කිරිමේ අවස්ථාව ද මෙරට පාසල් රග්බි ක්‍රීඩිකාවන්ට ලැබෙනු ඇත. මීට අමතරව ලබන වසරේ ඔක්තෝබර් මාසයේදී ඔවුන්ට අවුරුදු 18න් පහළ ආසියානු රග්බි තරගාවලියක් ද ලැබී ඇති අතර නොවැම්බර් මාසයේදී එහි බාලක තරගාවලිය පැවැත්වෙයි. ආසියානු අවුරුදු 18න් පහළ බාලක තරගාවලිය පැවැත්වීමට නියමිත අතර දෙසැම්බර් මාසයේදී ආසියානු අවුරුදු 19න් පහළ රග්බි ශූරතාවලියට සහභාගි වීමේ අවස්ථාව ද ලැබෙනු ඇත.

ලබන වසර සඳහා පාසල් රග්බි සංගමයෙන් ප්‍රකාශයකට පත් වූ රග්බි තරග කාලසටහනට අනුව දේශීය තරගාවලි 13ක් පෙළ ගස්වා තිබේ. අවුරුදු 19න් පහළ පළමු පෙළ තරගාවලිය, සත් සාමාජික තරගාවලිය සහ පිළිමලුන් පිටුදැකීමේ තරගාවලිය ද ඒ අතර තිබේ.

අවුරුදු 19න් පහළ පළමුපෙළ හා දෙවැනි පෙළ රග්බි තරගාවලි ලබන වසරේ මාර්තු මස ආරම්භ වන අතර මැයි මාසයේ සිට ජූනි දක්වා පිළිමලුන් පිටුදැකීමේ තරගාවලිය පැවැත්වීමට නියමිතය. සත් සාමාජික රග්බි තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජූනි මස 15 සහ 16 දෙදිනය. මීට අමතරව අවුරුදු 19න් පහළ පළාත් රග්බි තරගාවලියක් පැවැත්වීමට ද පාසල් රග්බි සංගමය කටයුතු යොදා ඇත .

පළමුපෙළ බාලිකා රග්බි තරගාවලිය ලබන වසරේ මැයි මාසයේ පැවැත්වෙන අතර අවුරුදු 12න් පහළ තරගාවලියක්, අවුරුදු 14න් පහළ තරගාවලියක් සහ අවුරුදු 16න් පහළ තරගාවලියක් ද ලබන වසරට පෙළ ගස්වා තිබේ.

පාසල් රග්බි තරග කාලසටහනට අනුව ලබන වසරේදි මෙරට පාසල් රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පුහුණු කඳවුරු හා සංවර්ධන පුහුණු වැඩසටහන් මාලාවක් ද සංවිධාන කිරීමට පාසල් රග්බි සංගමය පියවර ගෙන තිබේ. මින් එක් පුහුණු කඳවුරක් යාපනයේ සහ තවත් පුහුණු කඳවුරක් හලාවත පැවැත්වීමට නියමිතය.

නව අදහස දක්වන්න