වසරේ පාපන්දු ක්‍රීඩකයා ක්‍රොඒෂියාවේ මොඩ්රික් | දිනමිණ

වසරේ පාපන්දු ක්‍රීඩකයා ක්‍රොඒෂියාවේ මොඩ්රික්

දශකයට අධික කාලයක් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ වසරේ ක්‍රීඩකයා සම්මානයට උරුමකම් කී පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සහ ආජන්ටිනාවේ ලයනල් මෙසීගේ ආධිපත්‍ය බිඳ දැමූ ක්‍රොඒෂියා පාපන්දු පිලේ නායක ලූකා මොඩ්රික් මේ වසරේ එම සම්මානය සියතට ගැනීමට සමත්විය.

ඔහු වසර 2017-18 පාපන්දු තරගවාරයේ හොඳම ක්‍රීඩකයා ලෙස පිදුම් ලැබුවේ රියල් මැඩ්රිඩ් පිල වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිවුවැනි වරටත් චැම්පියන් ලීග් කුසලානය සිය කණ්ඩායමට අත්කර දීමට සමත්වීමත්, ක්‍රොඒෂියාව පළමුවරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නායකත්වය ලබාදීමත් නිසාය. 2007 වසරේදි බ්‍රසීලයේ කාකා මේ සම්මානය දිනාගැනීමෙන් පසුව රොනල්ඩෝ සහ මෙසී අතර එය දෝලනය වූයේ අන් කිසිවකුට සමීප වීමටවත් ඉඩ නොතබමිනි.

එහෙත් මෙවර ලූකා මේ කීර්තිමත් සම්මානය ක්‍රොඒෂියාවට ගෙන ගියේ සම්මාන සටනට පිවිස සිටි රොනල්ඩෝ සහ ඊජිප්තුවේ මොහොමඩ් සාලා පරාජය කරමිනි.

ලන්ඩන් නුවර රාජකීය උත්සව ශාලාවේ පෙරේදා පැවැති මේ සම්මාන උළෙලේ දී වසරේ පාපන්දු ක්‍රීඩිකාවට හිමි සම්මානය 6 වැනි වතාවටත් දිනාගනු ලැබුවේ බ්‍රසීලයේ මාර්තා විසිනි.

නව අදහස දක්වන්න