ජනපති උපන්දින සැමරුමට පොළොන්නරුවේ වැඩසටහන් රැසක් | දිනමිණ

ජනපති උපන්දින සැමරුමට පොළොන්නරුවේ වැඩසටහන් රැසක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 67වන උපන්දිනයට සමඟාමීව පොළොන්නරුව මහනගරාධිපති චානක සිදත් රණසිංහ මහතාගේ සංවිධානත්වයෙන් උතුරුමැද ආණ්ඩුකාර ජී. එච්. එම්. ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව මහ නගර සභා බල ප්‍රදේශයේ වැඩසටහන් රැසක් පැවැත්විණි.

පොළොන්නරුව මහ නගර සභා බල ප්‍රදේශයට අයත් සියලුම ග්‍රාම සේවා වසම්වල හඳුනාගත් ගැටලු හා කැළිකසළ බැහැර කිරීම විධිමත් කිරීම, මහනගර සභා බල ප්‍රදේශය පුරා මාර්ග පද්ධති අලංකාර කිරීම ඇතුළු වැඩසටහන් මාලාවක් පොළොන්නරුව නව නගරය පොත්ගුල් පෙදෙස ග්‍රාම සේවා වසමෙන් ආරම්භ විය.

පොළොන්නරුව මහ නගර සභාව පිහිටුවා මාස කිහිපයක් යන්නට මත්තෙන් ‍පොළොන්නරුව කදුරුවෙල නගරය හා නවනගරය ඇතුළු පොළොන්නරුවේ වැදගත්ම නාගරික ස්ථාන ආශ්‍රිතව පවතින ගැටලු හඳුනාගැනීමේ වැඩපිළිවෙළක් ඇරඹූ ප්‍රථම නගරාධිපතිවරයා චානක සිදත් රණසිංහ මහතාය. ඒ මහතාගේ සංකල්පයක් අනුව ‘පුරසබයේ ඇරඹුමක් - නගරයට නව දැක්මක්’ යන තේමාව ඔස්සේ ග්‍රාම සේවා වසම් 18ම ආවරණය වන පරිදි වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කෙරිණි.

එහි ආරම්භය සනිටුහන් කරමින් පොළොන්නරුව නව නගරය පොත්ගුල් පෙදෙස ග්‍රාම සේවා වසම තුල මාර්ග අලංකාර කිරීම, කැළිකසළවලින් තොර කලාපයක් බවට පත්කිරීම, විධිමත් ලෙස කැළිකසළ බැහැර කිරීම, ගැබිනි මව්වරු සඳහා විශේෂ මාතෘ සායන හා පින්බර දරු සම්පත් ලබාගැනීමේ මඟ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන්, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් වෙනුවෙන් පැවැත්වෙන ජීවිතය දිනන මහ බෞද්ධාගමික වැඩසටහන් මාලාව, කොස්, පොල්, අඹපැළ, එළවළු බීජ බෙදාදීම විහාරස්ථානවල බෝධිපූජා පැවැත්වීම, විධිමත්ව හා පොළොන්නරුවේ පෞරාණික බව ආරක්ෂා වන අන්දමේ බස්නැවතුම්පොළවල් ඉදිකිරීම, වරිපනම් බදු යාවත්කාලීන කිරීම, ජංගම සේවා, කියවීම ප්‍රවර්ධනය කිරීම සඳහා පුස්තකාල සාමාජිකයින් වැඩිකර ගැනීම, නාගරික කානු පද්ධති පිළිසකර කිරීම, වීථි පහන් සවිකිරීම ඇතුළු වැඩසටහන් රාශියක් මෙහිදී ක්‍රියාත්මක විය.

පොළොන්නරුව නව නගරය ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දෙමුන්නෑවේ උපරතන නායක ස්වාමින් වහන්සේගේ ආශිර්වාද මත හා පොළොන්නරුව පුර්සාණ ඉසිපතනාරාමාධිපති උඩුගම ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේ, කදුරුවෙල ජයන්ති විහාරාධිපති කදුරුවෙල ධම්මපාල නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ හා දසසිල් මාතාවන්ගේ අනුශාසකත්වය හා ආශිර්වාද මත මෙම වැඩසටහන පැවැත්විණි.

පොළොන්නරුව දිසා සමූහ - ඇම්. පී. සරත්


නව අදහස දක්වන්න