ජනහිතකාමී නායකයා එස්. ඩබ්.ආර්.ඩි.බණ්ඩාරනායක ශ්‍රීමතාණෝ | දිනමිණ

ජනහිතකාමී නායකයා එස්. ඩබ්.ආර්.ඩි.බණ්ඩාරනායක ශ්‍රීමතාණෝ

ස්වදේශික ජාතික ප්‍රතිපත්තිය උදෙසා ප්‍රමුඛත්වය ලබා දීම එතුමාගේ මූලික දේශපාලනික දර්ශනය විය. එතුමා බ්‍රිතාන්‍ය නාමමාත්‍රික ධුර සහ ගෞරව නම්බු නාම යන සියල්ල අහෝසි කිරීමට පියවර ගන්නා ලදී.

මෙරට දේශපාලනයේ සුවිශේෂී සංදිස්ථාන රැසක් බිහිකළ අසහාය නායකයන් අතරින්, ඉතා අග්‍රගණ්‍ය ස්ථානයක් හිමිකරගන්නා චරිතයක් ලෙස දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්.ආර්.ඩි.බණ්ඩාරනායක මැතිතුමා නිතැතින් සිහිපත් කළ හැකි වේ . අදට යෙදෙන එතුමාගේ 59 වැනි ගුණානුස්මරණ දිනය වෙනුවෙන් මේ විශේෂ ලිපිය, මෙරට අදටත් බණ්ඩාරනායක ශ්‍රීමතාණන් සහ එම චින්තනය වෙත ආදරය ගෞරවය පළ කරනා සුවහසක් ජනතාව වෙත බැතියෙන් තිළිණ කෙරේ.

වේයන්ගොඩ අත්තනගල්ල හොරගොල්ල වලව්වේ ශ්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහමුදලි තුමාට සහ ඩේසී ඇසිලින් ඔබේසේකර මැතිනියට දාව වර්ෂ 1899 හි ජනවාරි 08 වැනි දින මෙළොව එළිය දුටු සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායකයන් නොහොත් එස්. ඩබ්. ආර්. ඩි බණ්ඩාරනායක දරුවා මූලික අධ්‍යාපනය හදාරන ලද්දේ එවකට මෝදර පිහිටි ශාන්ත තෝමස් විද්‍යාලයෙනි.

ඉන්පසු උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්හි ක්‍රයිස්ට් චර්ච් විශ්ව විද්‍යාලයට ඇතුළත් වන ඔහු දර්ශනය, දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව සඳහා උපාධිය 1923 වසරේදී හිමි කර ගන්නා අතර, ඔහු දේශපාලන දිවියේ අත්පොත් කියවනුයේද එහිදීය. ඔක්ස්ෆර්ඩ් යුනියන් හි ලේකම්වරයා වන ලෙස තේරී පත් වන ඔහු, 1924 දී අධිනීතිඥ විභාගය ඉතා ඉහළින් සමත්ව පෙරලා මෙරටට පැමිණ ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයකු ලෙස දිවුරුම් දෙනු ලැබිය.

1926 වසරේ මෙරට ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට එක්වන ඔහු, එම වසරේම ලංකා ජාතික කොංග්‍රසය මඟින් කොළඹ නගර සභාව සඳහා මරදාන ආසනයට තරඟ කොට, ඉහළින් ජයග්‍රහණය කරනු ලබන්නේ එහි බලමුළු බැඳ සිටි කම්කරු නායක පතාකයා වූ ඒ. ඊ. ගුණසිංහ මැතිතුමාව පරාජය කරමින්ය. එම ජයග්‍රහණය ඔහුගේ ආත්ම විශ්වාසය තීව්‍ර කළ දේශපාලනික සන්ධිස්ථානයක් විය. 1931 වසරේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යටතේ පැවති පළමු මැතිවරණයේදී වේයන්ගොඩ ආසනයට නිතරඟයෙන් තේරී පත්වූ බණ්ඩාරනායක තරුණ මන්ත්‍රී සහිකයා, චාල්ස් බටුවන්තුඩාවේ මැතිතුමා විසින් මුලසුන දැරූ ස්වදේශ පරිපාලන විධායක කමිටුවේ සාමාජිකයකු වීමට තරම් භාග්‍ය ලැබීය.

1936 වසරේ පැවති ඊළඟ මැතිවරණයේදී ද නිතරඟයෙන් තේරී පත්වූ බණ්ඩාරනායක මැතිතුමා, එවර පෙර කී විධායක කමිටුවේ මුලසුන දරන්නා බවට පත් වූ අතර, එම කමිටු ක්‍රමයේ මුලසුන දරන්නා හෙවත් සභාපතිවරයා ආදාළ විෂය භාර අමාත්‍යවරයා බවට පත් වන හෙයින් එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මැතිතුමා ප්‍රථම වරට, ස්වදේශ කටයුතු පරිපාලන අමාත්‍යවරයා බවට පත් විය.

යටත්විජිතවාදී ලංකාවේ බහුතර ජනගහණය වූ සිංහල බෞද්ධ ජන පදනමේ සිතුම් පැතුම් සහ හදගැස්ම ඉතා මැනවින් අවබෝධ කර ගත් එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මැතිතුමා එම වසරේදී සිංහල මහා සභාව සඳහා අඩිතාලම යොදමින්, සිංහල ජන සමාජය සහ සංස්කෘතික උන්නතිය උදෙසා තම මෙහෙවර වඩාත් වේගයෙන් දියත් කළේය.

කිසිදා නොසිතු විරු ලෙස මතුදිනෙක ජනහිතකාමී නායකයෙකු වීමට අවැසි යෝධ සෙවණැල්ලක් සේ ශක්තියක් එතුමා වෙත සැපයු පතිනිය වන සිරිමාවෝ රත්වත්තේ කුළ කුමරිය සරණ පාවා ගැනීම 1940 වසරේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදු විය. බණ්ඩාරනායක මැතිදුන්ගෙන් පසු මෙරට නායකත්වය භාරගත් කාන්තාව වූ ඇය එම දේශපාලනික පරිචය, තම මවු නිවස වන රත්වත්තේ වලව්වෙන් සහ බණ්ඩාරනායක ඇසුරෙන් ලබා ගන්නට ඇති බව නිතැතින්ම විශ්වාස කළ හැක්කකි. බණ්ඩාරනායක මැතිතුමා සහ මැතිනියට සුනේත්‍රා, චන්ද්‍රිකා සහ අනුර යනුවෙන් දරු තිදෙනක් ලැබූ අතර එම දරුවන් මතු දිනෙක මෙරට දේශපාලනික ගමන් මගේ තීරණාත්මක චරිත වන බැව් කිසිදා නොසිතන්නට ඇත.

එතුමා 1945 සහ 1947 දී නිදහස් පනත මන්ත්‍රණ සභාව වෙත ඉදිරිපත් කිරීම සඳහා පුරෝගාමීව දායක විය. සභානායක ලෙස ඩි. එස්. සේනානායක මැතිතුමා එවක සෝල්බරි ව්‍යවස්ථාව මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ මොහොතේ, එහි සිටි විශාලතම තනි පක්ෂය වූ සිංහල මහා සභාවේ නායකයා ලෙස එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මැතිතුමා එම යෝජනාවට සහාය පළ කරන ලදී.

වර්ෂ 1946 දී ඩි. එස්. සේනානායක මැතිතුමාගේ ආරාධනයකට අනුව ලංකා ජාතික සංගමය සහ සිංහල මහා සභාව ඇතුළු අනෙකුත් සුළු ජන පදනමේ නියුතු පක්ෂ කිහිපයක් ඒකරාශිව එක්සත් ජාතික පක්ෂය ආරම්භ කිරීම උදෙසා එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මැතිතුමා නොමසුරුව තම දායකත්වය සැපයිය. මෙරට යටත්විජිත වාදයෙන් මුදවා ගැනුමට නම් පොදු සතුරා වන බ්‍රිතාන්‍ය පාලනය පරාජය කිරීම උදෙසා ආරම්භය ගැනීමට දේශපාලනික වශයෙන් එකතු වී කටයුතු කිරීමට තිබු අවශ්‍යතාවය ඔහු හට ඉතා දැඩිව අවබෝධ වී තිබුණි.

සෝල්බරි ව්‍යවස්ථා ක්‍රමය යටතේ පැවතී පළමු මැතිවරණයෙන්, අත්තනගල්ල ආසනය වෙත එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදී, එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මැතිතුමා එහිදී විශිෂ්ට ජයක් ලබා නව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් සභාව වෙත තේරී පත්විය. එම අමාත්‍ය මණ්ඩලයේ ස්වදේශ කටයුතු සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීම ලබා ගත් එතුමා තම සේවය මැනවින් පිරිනමින් ඉතා ආදර්ශමත් දේශපාලඥයකු ලෙස තම සේවය රට දැයට පිරිනැමිය. එතුමා දේශීය වෛද්‍ය විද්‍යාවේ උන්නතිය උදෙසා ආයුර්වේද රෝහල් ප්‍රචලිත කිරීමට පියවර ගන්නා ලදී. 1950 වසරේ ජිනීවා නුවර පැවති, තුන්වන ලෝකයේ සෞඛ්‍ය සමුළුව සඳහා මෙරට ප්‍රධාන නියෝජිතයා ලෙස එහි සහභාගී වෙමින්, මෙරට සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ලෝක අවධානය යොමු කර ගන්නා ලදී.

එම පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස තේරී පත්වුයේද එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මැතිතුමාය. එවක අගමැතිවරයා වූ ඩි. එස්. සේනානායක මැතිතුමාට පසු කැබිනට් මණ්ඩලයේ සිටි ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා වුයේද බණ්ඩාරනායක මැතිතුමායි.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් ස්වාධීන වීම උදෙසා නිදහස් කෙටුම්පත සකස් කිරීමේදී එම කාර්ය උදෙසාද එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මැතිතුමා තම අසහාය දායකත්වය සැපයීය. එම කෙටුම්පතේ ඇති යම් යම් කරුණු සමඟ ඔහු හදවතින් පුර්ණ ලෙස ඒ මොහොතේ එකඟ නොවුවද, යටත්විජිතවාදී බ්‍රිතාන්‍ය පාලනයෙන් මෙරට මුදවා ගැනීම සඳහා ලැබෙනා යම් ඉඩහසරක් වේද ඒ වෙනුවෙන් ඔහු ඒ සියල්ල යටපත් කර ගැනීමට පෙළඹුණි. 1948 පෙබරවාරි සිවුවැනි දින අප රට නිදහස අත් කරගත් ඒ ඵෙතිහාසික මොහොතේ, එම උත්සව අවස්ථාව අමතා ස්තුති කතාව ඉදිරිපත් කරන ලද්දේද බණ්ඩාරනායක මැතිතුමා විසින්ය.

එවක ඉංග්‍රීසි පාලන සමයේ මෙරටට විවිධ වෘත්තීයන් සඳහා රැගෙන පැමිණි, ඉන්දීය සහ පකිස්ථානු ජාතික පිරිස් මෙරට පුරවැසිභාවය ලබා ගැනුමට උත්සහ දරන අවධියක, එය පාලනය කිරීම උදෙසා ලංකා පුරවැසි පනත සෙනෙට් සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී බණ්ඩාරනායක මැතිතුමා ඒ උදෙසා තම සහාය නිරතුරුව පළ කරන ලදී.

නමුත් යුරෝපිය සංස්කෘතික ක්‍රමයක ස්වරුපය ගත් පාලන ව්‍යුහය තුළ දේශීයත්වය කරා ප්‍රමුඛත්වයක් නොලැබෙන බව හා එහි කඩිනම් බවක් නොතිබෙන බැව් ඔහු තරයේ විශ්වාස කළේය. කලෙක පටන් තම චිත්ත ප්‍රසාදයට ලක් නොවූ යම් යම් තීරණ හේතුකොටගෙන 1951 වසරේ ජුලි මස ඔහු එම ඵෙතිහාසික තීන්දුව ගනිමින් එක්සත් ජාතික පක්ෂයෙන් සහ ඔහුගේ අමාත්‍ය ධුරයන්ගෙන් ඉවත්ව විපක්ෂය කරා ගමන් කළේය. සිංහල මහ සභාවේ තම සමීපතමයින් කිහිප දෙනෙකු සමඟ එක්ව ඔහු 1951 සැප්තැම්බර් 02 වැනි දින සිංහල මහ සභාව විසුරුවා හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති අද මහා වෘක්ෂයක් බඳු පක්ෂයේ පැළය රෝපණය කරන ලදී .

1952 වසරේ නිදහස් ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වූ මහාමාන්‍ය ඩි. එස්. සේනානායක මැතිතුමාගේ හදිසි අභාවයෙන් හිස්වූ අගමැති අසුන සඳහා ජෝන් කොතලාවල මහතාගේ බලාපොරොත්තුවක් තිබුණද, එවක අග්‍රණ්ඩුකාර සෝල්බරි සාමිවරයා විසින් ඩි. එස්. සේනානායක මැතිතුමාගේ පුතු වූ එවක කෘෂිකර්ම ඇමතිවරයා ලෙස කටයුතු කළ ඩඩ්ලි සේනානායක මැතිතුමාව, ඒ ධුරය වෙනුවෙන් පත් කරන ලදී. ඩඩ්ලි මැතිතුමා විසින් මැතිවරණයක් කැදවූ අතර, එහිදී එකසත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ ආසන 54 ක් ලබා ගැනීමට සමත් විය.

එම මැතිවරණයේදීද අත්තනගල්ල ආසනය සඳහා තරඟ වැදුණු බණ්ඩාරනායකයන් ජයග්‍රහණය කර නැවත පාර්ලි‌‌මේන්තුවට තේරී පත් විය. මේ කාල පරාසය තුළ එතුමා විපක්ෂ නායක ධුරය සඳහා පත් වූ අතර, සැබෑ විපක්ෂ නායකයෙකු ලෙස රටට අවැසි හඬ එතුමා විසින් නිසි අන්දමින් ලබා දුනි. වාමාංශික නායකයන් විසින් 1953 වසරේ දියත් කළ හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් ඩඩ්ලි සේනානායක මහතා තම පියවර මදක් පසුපසට ගෙන ඉල්ලා අස්වූ හෙයින්, ජෝන් කොතලාවල මහතා එම අග්‍රාමාත්‍ය ධුරය සඳහා තේරී පත් විය.

විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරනා සමයේ බණ්ඩාරනායක මැතිතුමා තම පක්ෂයේ ප්‍රවර්ධනය උදෙසා ඉතා වෙහෙස මහන්සි වී කටයුතු කරන ලදී. ඒ උදෙසා නොයෙක් පිරිස් ඒකරාශී කරගැනීමට එතුමා උත්සුක විය. එකසත් ජාතික පක්ෂය මෙන් ධනවත් පිරිස්වලින් සුසැදි පක්ෂයක් නොවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ග්‍රාමීය දුෂ්කර ජනතාවගේ හදගැස්ම හදුනා ගත් එකම පක්ෂය බවට පත් කරගැනුමට එතුමාට වැඩි කල් නොගොස් හැකියාව ලැබුණි, ඒ උදෙසා මහා සඟරුවනගේ ආශීර්වාදය ද නොමදව හිමි විය. පනහ දශකය මැද භාගය වන විට ස්වභාෂා ප්‍රතිපත්තිය හදුන්වා දීම උදෙසා එම සංකල්පය ඔස්සේ ඉදිරියට ගමන් කළ එතුමා, තම දේශපාලනික චින්තනයේ අරටුව නිර්මාණය කරන ලද්දේ සිංහල භාෂාව, බුදුදහම සහ දේශීය වෛද්‍ය විද්‍යාව මුල්කොටගෙනය. එහි ප්‍රතිඵලය ලෙස එතුමා වටා සංඝ වෙද ගුරු ගොවි කම්කරු යන පංච මහා බලවේගයන් ඒකරාශී විය.

1956 වසර එතුමන්ගේ ජිවිතයේ තීරණාත්මක වසරක් විය. ඊට වසර 10 කට පෙරාතුව මියගිය තම පියාගේ අවමංගල්‍ය සඳහා බොහෝ වියදමක් දැරීමට සිදුවූ අතර, කෙතරම් ප්‍රභූ පවුලක් වුවද උද්ගත වූ ආර්ථික අර්බුධ හමුවේ තම දේශපාලනික දිවිය ඉදිරියටම රැගෙන පැමිණියේය. 1956 වසරේ මැතිවරණයට මුහුණ දීම සඳහා තම රොස්මිඩ් පෙදෙසේ තිබු නිවස ලංකා බැංකුව වෙත උකස් කරන ලද්දේ රුපියල් ලක්ෂ දෙකක මුදලකටය. එම මැතිවරණය සඳහා මුහුණ දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් කුඩා කම්කරු කණ්ඩායම් පක්ෂ කිහිපයකින් සුසැදිව මහජන එක්සත් පෙරමුණ බිහි කරන ලදී.

1956 වසර මෙරට දේශපාලන ගමන් මග උඩුයටිකුරු කරමින්, මහජන එක්සත් පෙරමුණ, ඉතා විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කරන කොට පාර්ලි‌‌මේන්තුවේ බහුතරය ලබා ගත් හෙයින්, අග්‍රආණ්ඩුකාරවරයා විසින් රජයක් පිහිටුවීමට ආරාධනා කරන ලදී. නිදහස් ලංකාවේ සිවුවන අගමැතිවරයා ලෙස 1956 වසරේ අප්‍රේල් මස 12 වැනි දින එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මැතිතුමා දිවුරුම් දුන් අතර, නව යුගයක පෙරළිය අරභයා නව කැබිනට් මඬුල්ලක් එතුමා විසින් පත්කර ගන්නා ලදී.

ස්වදේශික ජාතික ප්‍රතිපත්තිය උදෙසා ප්‍රමුඛත්වය ලබා දීම එතුමාගේ මූලික දේශපාලනික දර්ශනය විය. එතුමා බ්‍රිතාන්‍ය නාමමාත්‍රික ධුර සහ ගෞරව නම්බු නාම යන සියල්ල අහෝසි කිරීමට පියවර ගන්නා ලදී. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම මඟින් ස්වදේශිකත්වය සඳහා ස්ථාවරයක් නිර්මාණය කිරීම එතුමාගේ අභිලාෂය විය. නමුත් එමගින් නොසිතු විරු ජාතික ගැටලු රැසක ආරම්භය රැගෙන ආ බැව් නැවත ඉතිහාසය දෙස හැරි බලන කළ පෙනී යන්නකි.

එතුමාගේ විදේශ ප්‍රතිපත්තිය වඩාත් නැඹුරු වුයේ, සමාජවාදී බල කඳවුරු වෙතය. ඒ අනුව මහජන චීන සමුහාණ්ඩුව සහ රුසියානු සමුහාණ්ඩුව සමඟ ඉතා යහපත් සහයෝගිතාවයක් එතුමා නිර්මාණය කර ගන්නා ලදී. නිදහස් ලංකාවක් වුවද තවමත් මෙරට රැඳී තිබූ කටුනායක සහ ත්‍රිකුණාමල බ්‍රිතාන්‍ය ගුවන් හමුදා කඳවුරු ඉවත් කිරීමට එතුමා 1957 දී වහා පියවර ගන්නා ලදී.

මෙරට ආර්ථික ප්‍රතිපත්තිය තුළදී එතුමා විසින් සිදුකළ සුවිශේෂි මෙහෙවර ඉතා අගය කළ යුත්තකි. එතුමා කම්කරු අයිතීන් සුරැකීම උදෙසා නව නීති සම්පාදනය කරමින්, කම්කරු වැටුප් ඉහළ නැංවීමට පියවර ගන්නා ලදී. එමෙන්ම වැඩකරන ජනතාවගේ සුරක්ෂාව උදෙසා සේවක අර්ථසාධක අරමුදල ස්ථාපිත කිරීම සහ කම්කරු දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස ස්ථාපිත කිරීම එතුමා විසින් ගත් උදාර පියවරයන්ය.

ගොවි ජනතාව සහ ඔවුන්ගේ අයිතීන් සුරැකීම උදෙසා කුඹුරු පනත ගෙන එන ලදී. 1958 වසරේදී පොදු ප්‍රවාහනය බලාත්මක කරමින් එය ජනසතු සේවාවක් බවට පත්කළ අතර කොළඹ වරායේ බහාලුම් ඒකකය ඇතුළු එහි මෙහෙයුම් සියල්ල ජනසතු කිරීමටද එතුමා පියවර ගන්නා ලදී. එතුමා ජනසතු කළ ප්‍රථම බස් රථය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තවමත් ප්‍රදර්ශනයට තබා ඇත.

නිදහස් ලංකාවේ නව දේශපාලනික ප්‍රවණතාව නිර්මාණයේ පුරෝගාමියා වූ, එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මැතිදුන්ගේ ජිවිතයේ ඉරණම් ගමන තීන්දු කළ දිනය වුයේ 1959 වසරේ සැප්තැම්බර් 25 වැනි දිනයයි.

අද මෙන් එදා කිසි කලෙක රටේ නායකයා හමුවීමට කිසිවකුට බාධාවක් නොවිය. එදින උදැසන භික්ෂුන් වහන්සේ නමක් අගමැතිතුමා බැහැදැකීමට රොස්මිඩ් පෙදෙස් නිවසට පැමිණි නමුත් ඒ සිටින්නේ චීවරධාරී වේශයෙන් පැමිණි සහසිකයකු බැව් එතුමා කිසි කලෙක විශ්වාස නොකරන්නට ඇත. පංච මහා බලවේගයේ අගමැති සලකුණ වූ එතුමා නිරතුරුව සංඝයා දුටු කළ ඇතිවන ගෞරවසම්ප්‍රයුක්ත හැඟුම පළ කරමින් නමස්කාර කළද, රුදුරු සාහසිකයා චීවරය තුළින් ඉවතට ගත් පිස්තෝලය මඟින් වෙඩි උණ්ඩ කිහිපයක් අගමැතිතුමා වෙත මුදා හැරියේය. ඉක්බිති එතුමාව රෝහල් ගත කළ නමුත් පුරා පැය හයක ශල්‍යකර්මයකින් පසුත් නිසි සුවය නොලැබ ඉතා ගිලන් විය. ඒ මොහොතේ පවා එතුමා ජාතියෙන් අයැද සිටියේ තමන් හට වෙඩි තැබූ සාහසිකයා හට කිසිදු දඬුවමක් නොකරන ලෙසත්, රටේ සාමය සියල්ලන් අතරේ පවත්වා ගන්නා ලෙසත්ය.

කෙසේ නමුත් පසු දින එනම් සැප්තැම්බර් 26 වැනි දින ආසියාවේ රිදී සීනුව ලෙස විරුදාවලි ලත් එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමාගේ හඬ සදහටම නිහඬ විය. එවක දේශපාලනය කෙතරම් ආදර්ශමත් ද යත් එතුමාගේ මියයන විටත්, රොස්මිඩ් පෙදෙසේ නිවස උකසේම තිබු හෙයින් ආර්. ජි. සේනානායක මැතිතුමා මැදිහත්ව අනුග්‍රාහකයන් මඟින් මුල්‍ය උපකාර ලබාගෙන එම නිවස උකසින් නිදහස් කරගැනීමට කටයුතු කොට තිබුණි. මන්දයත් එවක තිබු පසුබිම තුළ උකසේ තිබු නිවසකට දේහයක් රැගෙන එම වාරණය කිරීමට ප්‍රතිපාදන තිබී ඇති හෙයිනි.

එතුමා වෙන්ව ගියද එතුමාගේ චින්තනය පෙරදැරිව එතුමාගේ ප්‍රිය බිරිය වූ සිරිමාවෝ රත්වත්තේ බණ්ඩාරනායක මැතිනිය 1960 වසරේදී අති විශිෂ්ට ජයක් ලබා ලොව පළමු අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වුයේ ලාංකීය නම ලොව බබලවමින්ය. එමෙන්ම බණ්ඩාරනායක සලකුණ ලාංකීය දේශපාලනයේ කඩඉම් ලකුණක් වුයේ එම පවුලේ දෙටු දියණිය, 1994 දී ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනපතිනිය ලෙස තේරී පත්වීමත් සමඟය. එම රජයේ අගමැතිනිය ලෙස නැවත වරක් සිරිමාවෝ මැතිනිය පත් වූ අතර ඇයගේ අභාවය තෙක්ම එම ධුරයේ කටයුතු කරන ලදී. එම පවුලේ එකම පිරිමි දරුවා වූ අනුර බණ්ඩාරනායක මැතිතුමාද මන්ත්‍රීවරයෙක්, අමාත්‍යවරයෙක් යන භූමිකා ලාංකීය දේශපාලනයේ නියෝජනය කරමින්, උත්තරීතර පාර්ලිමේන්තුවේ කථානායකවරයා දක්වා ගමන් කිරීමටද සමත් විය.

මෙරට දේශපාලනය නවමු හැරවුම් ලක්ෂයක් බවට පත් කළ පංච මහා බලවේගයේ දේශපාලනික සලකුණ සැමරීම උදෙසා අද දින උදැසන 07:00 ට නිට්ටඹුව හොරගොල්ලේ පිහිටි බණ්ඩාරනායක සමාධිය අසළදී සැමරුම් උත්සවය සහ සවස 04:00 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී “ බණ්ඩාරනායක ත්‍රිත්වයේ සැමරුම් උළෙල” පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙවැනි උත්තරීතර සදානුස්මරණීය චරිත නැවත කිසිදා මෙරට දේශපාලනය වෙත හිමි වේද යන්න පිළිබඳව ඇත්තේ බලාපොරොත්තු ඡායා මාත්‍රයක්ම පමණක්ම බව ඉතා සංවේගයෙන් යුතුව වුවද පැවසිය යුතුමය.

ආචාර්ය හේමකුමාර නානායක්කාර
ආණ්ඩුකාරවර - බස්නාහිර පළාත


නව අදහස දක්වන්න

Or log in with...