තාක්ෂණයෙන් උසස් ජල පෙරන යන්ත්‍ර 499ක් රට පුරා බෙදා හැරියා | දිනමිණ

තාක්ෂණයෙන් උසස් ජල පෙරන යන්ත්‍ර 499ක් රට පුරා බෙදා හැරියා

නුවන් මහේෂ් ජයවික්‍රම
වකුගඩු රෝග නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බළකායේ ව්‍යාපෘති අධ්‍යක්ෂ හා භූ විද්‍යා හා පතල් කාර්යංශයේ සභාපති අසේල ඉද්දවෙල

පූජාවකට ඉස්තරම්ම දේ යොදා ගැනීම ශ්‍රී ලාංකිකයන්ගේ සිරිතයි. ආගම්, දර්ශන භේදයකින් තොරව සියල්ලන්ටම එය එසේමය. ඒ මිසක රටේ පළමු පුරවැසියාට හෝ අන්ත දුගියාට එහි වෙනසක් නොවේ.එහෙත් රටේ නායකයා සාමාන්‍ය ජනයා හා සමානව එක පෙළට එකට සිටගෙන යම් පූජාවක් කළ හැකි නම් මහජනතාවගෙන් ඊට ඉහළ පිළිගැනීමක් ලැබෙනු ඇත්තේය. එවිට ඉන් පිළිබිඹු වනු ඇත්තේ රටක් ජාතියක් වශයෙන් කවුරුත් එක හා සමානව ඉහළින්ම අගය කරන දෙයක් වෙනුවෙන් එකම අවස්ථාවක එකම අරමුණක් වෙනුවෙන් පෙනී සිටීමකි.

මේ කර්තව්‍යය ජාතික ගැටලුවක් නිරාකරණය පිණිස වන්නේ නම් එය රටක, ජාතියක හෙට දවස අදට වඩා සමෘද්ධිමත් වීමට පමණක් නොව උතුම් මනුෂ්‍යත්වය වෙනුවෙන් කරන උපහාරයක් වනු ඇත.එවැනි සද් කාර්යයක් වශයෙන් ජනතා ඇගයුමට ලක්ව ඇති පින්කමක් සැප්. (21 ) දා අලුයම අනුරාධපුරයේ ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ අබියසදී ක්‍රියාත්මක විණි. රජරටට සුවිශේෂ එය ඊට සීමා නොවන්නේ මේ වන විට රජරට මායිමෙන් ඔබ්බට පිහිටි ඇතැම් ප්‍රදේශවලටද ප්‍රති ආශ්‍රැත ජල පෙරන යන්ත්‍රවල වුවමනාව තදින් දැනී තිබෙන හෙයිනි.

ඉඳින් මේ සඳහන් කරන්නේ වකුගඩු රෝග තර්ජනය සම්බන්ධයෙන් බව මේ අමුතුවෙන් ලියන්නට වුවමනා නොවේ. එහෙත් තෙවසරක් තරම් කාලයකදී රටේ ජනතාවට පිරිසුදු පානීය ජලය සපයමින් නිදන්ගත වකුගඩු රෝගවලින් ඔවුන් ගලවා ගැනීමට ආණ්ඩුවක් වශයෙන් ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කතා කිරීම වැදගත්ය.

අප පසුගියදා ඒ සඳහා යොමු වන්නේ වකුගඩු රෝග නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බළකායේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වෙතටය.භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපතිවරයාද වන හෙතෙම අසේල ඉද්දවෙල මහතාය. මෙතැන් පටන් අප ඉද්දවෙල මහතා සමඟ සංවාදයකට පිවිසෙමු.

සභාපතිතුමනි! අපි මේ 21දා සිදුවූ පුණ්‍ය කටයුත්තෙන්ම කතාබහ අරඹමු?

ඇත්තටම එය දුෂ්කර කටයුත්තක් අවසානයේ කණ්ඩායමක් විදියට අප ලැබූ ප්‍රගතියක් විදියට හඳුන්වන්න මං කැමැතියි. ඒ කටයුත්තේ නියමුවාණන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.ජනාධිපතිවරයා නොවන්නට මෙතරම් ප්‍රගතියක් අපට අත් කර ගත හැකි වන්නේ නැහැ.මේ වන විට වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධන බළකාය මඟින් ඉහළ තාක්ෂණයෙන් යුතු ජල පෙරන යන්ත්‍ර ( ප්‍රති ආශ්‍රැතකරණ පද්ධති) හාරසිය අනූ නවයක්ම රට පුරා එම රෝග තර්ජනයට ලක්වූ ජනතාව අතර බෙදා හැර අවසන්. එහි පන්සිය වැනි යන්ත්‍රය ජනතා අයිතියට පත් කිරීමයි ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ අබියසදී සිදුකෙරුණේ.

තවදුරටත් විස්තර කළොත්?

මෙදින අලුයම හය වන විට ජය ශ්‍රී බෝ රජාණන් වහන්සේ අබියසදී මේ කර්තව්‍යය මුල් කරගෙන සිදු කරන වතාවත් ඇරඹෙනවා.එතැන් පටන් හෝරා කිහිපයක් තිස්සේම එම ජල පෙරන යන්ත්‍ර රැගත් පෙරහැර පැවැත්වීම මෙන්ම ඒවා පිරිත් සජ්ජායනා කිරීම් මධ්‍යයේ සිදු කෙරුණා. මේ පින්කම අවසානයේදී එකසිය විසි පස් නමක් සංඝ රත්නයට සංඝගත දක්ෂිණාවක් පැවැත්වෙනවා. එහිදීම පන්සිය වැනි ජල පෙරණ යන්ත්‍රය ජනාධිපතිවරයා විසින් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ජනතා අයිතියට පත් කිරීම සිදු වුණා. එය ස්ථානගත කර තිබෙන්නේ මිහින්තලය - කුරුන්දන්කුලමේ පිහිටි මිහිදු ආරණ්‍ය සේනාසනයේයි.

දැන් ඔබ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරය දරන කර්තව්‍යයේ වගතුග කතා කරමු?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහසකට අනුවයි වකුගඩු රෝග නිවාරණයට කාර්ය සාධන බළකායක් පිහිටුවන්නේ. කරුණු දෙකක් හේතුවෙන් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා. එයින් එකක් වුණේ රජරට ජනතාව මුහුණ දුන් පිරිසුදු පානීය ජල ගැටලුව. අනෙක පුලතිසිපුරය ඇතුළු රජරට ජනතාව නිදන්ගත වකුගඩු රෝගයෙන් ගලවා ගැනීමේ වුවමනාව. මේ කරුණු දේශපාලනයට පිවිසි කාලයේ සිටම රජරට ජනතාවට පිරිසුදු පානීය ජලය සැපයීමේ කටයුත්තට කැපවූ බව ජනාධිපතිවරයා අවධාරණය කරන කරුණක්.මම 2015 වසරේදීයි මම එම කටයුතත්තට කැපවන්නේ. පසුව මට එම කාර්ය සාධන බළකායේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරයේ භාරදූර කටයුත්ත පැවරෙනවා.

මොනවාද ඔබලා එතැන් පටන් ඉටුකළ කටයුතු?

මුලින්ම මේ සම්බන්ධයෙන් විධිමත් වාර්තා එක්රැස් කර ගැනීමේ යෙදුණා. ඊට දෙස් විදෙස් විශ්ව විද්‍යාල, පර්යේෂකයන් ආදීන්ගේ සහාය ලබා ගත්තා.මේ අනුව හඳුනාගත් ප්‍රදේශ ආශ්‍රිත ජනතාව අතරට ගොස් ඔවුන් වෙනුවෙන් ජංගම සායන පවත්වන්නට කටයුතු කළා. ගම්බද ජනතාව නිදන්ගත වකුගඩු රෝගය වැළදී ඇද්ද? නොඑසේ නම් ඒ අවදානම පවතීද කියා සොයා බැලුවා. ඒ අනුව පසුගිය කෙටි කාලය තුළ පමණක් අපට පුද්ගලයන් 851,349ක් සායනිකව පරික්ෂා කළ බලා ඔවුන් සම්බන්ධව වකුගඩු රෝග අවදානම පිළිබඳ ඉදිරි පියවර ගත හැකිව තිබෙනවා.

ඇතැම් ප්‍රදේශවල ජීවත්වන පාසල් ළමයින් අතර පවා වකුගඩු රෝග ඇතිවීමේ අවදානමක් පවතින බවක් අසන්නට තිබෙනවා?

අපි මේ ව්‍යාපෘතියේ දෙවැනි පියවර යෙදුවේ ඒ දෙසටයි.සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව පාසල් මට්ටමින් සහ ග්‍රාමීය සංවිධාන මට්ටමින් සෞඛ්‍ය පහසුකම් හා උපදෙස් ලබා දීමටත් සම්මන්ත්‍රණ පැවැත්වීමටත් කටයුතු කරමින් සිටිනවා.

දැන් පිරිසුදු පානීය ජලය ලබා දීමට ඔබලා ගත් පියවර පිළිබඳ කතා කරමු?

එහිදී විශාල වැඩ කොටසක් පැවරුණේ රජරට වැව් ආශ්‍රිතව පැවැති දූෂිත ජලය පිරිසුදු කිරීමේ කටයුත්තටයි. නොමිලයේ ජනතාවට ප්‍රති ආශ්‍රැත ජල පෙරණ පද්ධති සපයා දීම පහසු කටයුත්තක් වුණේ නැහැ. ඒත් ජනාධිපතිවරයාගේ උපදෙස් මත රුපියල් ලක්ෂ 8000 ක් ඒ කටයුත්තට වෙන්වුණා. ඒ අනුවයි දිනකට පිරිසුදු කළ වතුර ලීටර් මිලියන 50 බැගින් ජනතාවට නොමිලයේ දෙමින් සිටින්නේ.ඒවා වෙළෙඳපොළෙන් මිලට ගන්නට සිදු වූයේ නම් ජනතාවට මසකට දැරීමට සිදුවන වියදම රුපියල් මිලියන 2250කට වැඩියි.

ඔබ පැමිණ සිටින්නේ එහි පන්සිය වැන්නට. කොයි විදියටද සෙසු ප්‍රති ආශ්‍රැත යන්ත්‍ර ජනතාව අතර බෙදා දුන්නේ?

අප ඒවා දිස්ත්‍රික් විස්සක් ආවරණය වන පරිදියි බෙදා දී තිබෙන්නේ.එහිදී වැඩිම වකුගඩු රෝගින් ප්‍රමාණයක් වාර්තාවන අනුරාධපුරයට යන්ත්‍ර 176ක් බෙදා දෙනු ලැබුවා. ඒ හැරෙන්නට රෝගී සංඛ්‍යාව සහ රෝගය පැතිරීමේ අවදානම සලකා කුරුණෑගලට 59ක්ද පොළොන්නරුවට 50ක්ද මොනරාගලට 45ක්ද බදුල්ලට 41ක්ද වව්නියාවට 36ක්ද ලබා දී තිබෙනවා.

අනෙත් ප්‍රදේශවලට එම ජල පෙරන පද්ධති වුවමනා නැති බවක් පෙනුණාද?

නැහැ. මේ වනවිට මාතලේ, ත්‍රිකුණාමලය, මුලතිව්, පුත්තලම, අම්පාර, යාපනය, කිළිනොච්චි, මන්නාරම, හම්බන්තොට, මහනුවර ඇතුළු සෙසු දිස්ත්‍රික්වලත් අප දැනටමත් ප්‍රති ආශ්‍රැතකරණ ජල පද්ධති ස්ථාපිත කර අවසන්.එහිදී නාවික හමුදාවෙන් අපට විශාල සහායක් ලැබුණු බවත් මතක් කළ යුතුමයි.

ඒවායේ නඩත්තුව පැවරෙන්නේ ජනතාව පිටද?

කොහෙත්ම නැහැ.ඒ සියල්ල නඩත්තු කරන්නේ රජයයි. නාවික හමුදාව එහිදී විශේෂ මෙහෙයක් ඉටු කරනවා.ඒ විතරක් නෙවෙයි. ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු පද්ධතිවලින් ඔබ්බට යමින් ගැමි ගෙවල්වලටත් අප ජල පෙරන යන්ත්‍ර ලබා දෙනවා.ඒ යටතේ මේ වන විට යන්ත්‍ර 5000 කට වැඩි ගණනක් බෙදා දී තිබෙනවා.ඉන් පුද්ගලයන් 24850 දෙනකුට සෙත සැලසී තියෙනවා.

ඒ ඔබලා ඉටුකළ කටයුතු. ඊට අමතරව ඉටු කිරීමට නියමිත කටයුතුත් සිහි කළොත්?

වකුගඩු රෝග පිළිබඳ වැඩිදුරටත් පර්යේෂණ පැවැත්වීම සඳහා අංග සම්පූර්ණ රසායනාගාරයක් පිහිටුවීම සඳහා තවත් රුපියල් මිලියන 150ක් රජය මඟින් වෙන් කරදී තිබෙනවා. වකුගඩු රෝගීන්ට ජීවනාධාරයක් වශයෙන් ගෙවන රුපියල් තුන්දහස දැන් පන්දහස දක්වා වැඩි කර ගත හැකිව තිබෙනවා. මේ අනුව වකුගඩු රෝගින් වෙනුවෙන් කිසිම රජයකින් නොකළ වැඩ කොටසක් වත්මන් ආණ්ඩුවට ඉටු කළ හැකි බව අමුතුවෙන් කිව යුත්තක් නෙවෙයි. ඒත් ඒ සියල්ල සිදු කළ හැකි වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ව්‍යාපෘතියේ කටයුතු අධීක්ෂණය කරමින් ඊට නිරන්තරයෙන් ලබා දුන් අත හිත නිසාමයි.

නව අදහස දක්වන්න