සතොස භාණ්ඩ ගත්තේ දිළිඳු ජනතාවට දෙන්න නොවේ | දිනමිණ

සතොස භාණ්ඩ ගත්තේ දිළිඳු ජනතාවට දෙන්න නොවේ

ලංකා සතොස ආයතනයෙන් භාණ්ඩ නිකුත් කැර තිබෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිළිඳු ජනතාවට බෙදාදීමට නොව ‘එන්. ඩබ්ලිව්. පී. ඉලෙක්ෂන්’ නමින් සඳහන් කොට තිබූ ගිණුමට බැව් ඊයේ(25දා) පෙරවරුවෙහි ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට එරෙහිව කුරුණෑගල මහාධිකරණයෙහි විභාගවන මූල්‍ය වංචා නඩුව හමුවේ සාක්කිදුන් සතොස හිටපු සභාපතිවරයාගේ ලේකම්වරියකවු සධානා නිමාලි ‍විජේවික්‍රම මහත්මිය කියා සිටියාය.

මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඉදිරියේ ‍මෙම නඩුව විභාග වෙයි. තවදුරටත් සාක්කි දුන් ඇය පරිගණක පද්ධතියට අනුව මෙම ණය ගනුදෙනුවට අදාළ භාණ්ඩ නිකුත් කර තිබෙන්නේ පළමු විත්තිකරුකගේ ඉල්ලීම මත බවත්, එම භාණ්ඩ නිකුත්කිරීම සිදුවී ඇත්තේ හිටපු ගණකාධිකාරිවරයෙකු වූ මනෝජ් මහතාගේ කාලයේදී බවත් කියා සිටියාය. පළමු විත්තිකරු විසින් ණයට භාණ්ඩ ලබාදෙන ලෙස ඉල්ලා තිබූ ලියවිල්ලෙහි සඳහන් වී තිබුණේ ‘ණය ගනුදෙනු සම්බන්ධව ඇමැතිවරයාගේ ඉල්ලීම පරිදි’ යන කොටස පමණක් බවද ඉතිරි කොටස මකාදමා තිබෙන බවද ඇය සාක්කි දෙමින් කියා සිටියාය. ණය ගනුදෙනු සම්බන්ධයෙන් සටහන්කර තිබෙන ඉලක්කම් අපැහැදිලි බවත් ඇය එහිදී කීවාය. මේ අනුව එම ලියවිල්ල පිළිගැනීමට නොහැකි තත්ත්වයක පැවැති බවද ඇය සඳහන් කර සිටියාය.

විත්තියේ නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතාගේ හරස් ප්‍රශ්න හමුවෙහි සාක්කිදුන් ඇය, මෙම ආහාර ද්‍රව්‍ය ඉල්ලුම්කර තිබෙන්නේ පළමු වැනි විත්තිකරුට යැයි කියා සිටියාය.

මේ අනුව මෙම ආහාර ද්‍රව්‍ය නිකුත් කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිළිඳු ජනතාවට නොව ‘එන්. ඩබ්ලිව්. පී. ඉලෙක්ෂන් ගිණුමට’ බවද ඇය එහිදී කියා සිටියාය. කාබන්කොළ පාවිච්චිකරමින් සකස් කරතිබු ලියවිල්ලටද අත්සන් කර තිබුණේ පළවෙති . විත්තිකරු බවත්, මෙම ලියවිලිවල පිටපත් සියල්ලම සතොස මුදල් අංශයට ඉදිරිපත් කළ බවත් ඇය කියා සිටියාය.

මේ අනුව දෙපක්ෂයේම නීතිඥයින්ට දැනුවත්කළ මහාධිකරණ විනිසුරුවරිය විත්තිකරුවන් තවදුරටත් රිමාන්ඩ් භා‍රයෙහි තබන ලෙසට නියෝග කරමින් වැඩිදුර විභාගය අදට (26දා) කල්තබනු ලැබුවාය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රක්ෂණ අබේසූරිය මහතා ප්‍රමුඛ තිදෙනෙකුගෙන් යුත් නීතිවේදීන් පිරිසක් පැමිණිල්ල මෙහෙයවූ අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස සහ අනිල් සිල්වා යන මහත්වරුන් සමඟ නීතිවේදීන් වන ඉන්දික ගිරාගම, රිෂාන් විදානගමගේ සහ කාන්චන රත්වත්තේ යන මහත්වරුන් පෙනී සිටියහ.

කුරුණෑගල මධ්‍යම විශේෂ කුරුණෑගල දකුණ සමූහ


නව අදහස දක්වන්න

Or log in with...