අප්පච්චි ඇවිත් විශිෂ්ට ඇයි? | දිනමිණ

අප්පච්චි ඇවිත් විශිෂ්ට ඇයි?

සමන් වික්‍රමාරච්චි

නිස්සංකගේ මානසික තත්ත්වය විග්‍රහ කිරීම සඳහා, කතුවරයා යොදා ගන්නා උපාය මාර්ග තර්කානුකූල ය. එලෙසම, විද්‍යාත්මක ය. අප්පච්චී ඇවිත් නවකතාව පරිපූර්ණ නවකතාවක් බවට පත් වන්නේ, ප්‍රධාන හේතු දෙකක් මත ය. පළමුවන්න සංවාදයට හසුවන විෂයයට අදාළ සියලු විද්‍යාත්මක පාර්ශ්ව කතුවරයා විසින් ස්පර්ශ කරනු ලැබේ. දෙවැන්න, නවකතාවේ ශිල්පිය අංග මනාව සංකලනය කොට, පරිපූර්ණ ආඛ්‍යානයක් ගොඩනගනු ලැබේ. මේ නවකතාව විශිෂ්ට වන්නේ ඒ නිසා ය.

සමන් වික්‍රමාරච්චි මහතාගේ ‘අප්පච්චි ඇවිත්’ ප්‍රබන්ධය ගොඩගේ සාහිත්‍ය උලෙළෙහි හොඳ ම නවකතාව බවට පත් විය. එය ම පෙරළා ‘ස්වර්ණ පුස්තක’ සම්මානය දිනා ගැනීමට ද සමත් විය. එහි එක් අර්ථයක් වන්නේ, ඉකුත් වසරේ සිංහල ස්වතන්ත්‍ර නවකතා අතර විශිෂ්ට රචනය ‘අප්පච්චි ඇවිත්’ කෘතියට හිමිවන බව ය. මේ තීරණය යුක්ති සහගතදැ’යි විමසන කෙනකුට; නිශ්චිත කාල පරාසයේ සියලු නවකතා කියවා නිගමනයකට එළැඹිය හැකි ය.

2017වසරේ පළ වූ සිංහල ස්වතන්ත්‍ර නවකතා එකසිය ගණනක් අපගේ විමර්ශනයට හසු වී ඇත. පොදුවේ ගත් කල ඒවා සරල වර්ගීකරණයකට ලක් කළ හැකි ය. එනම්; ඓතිහාසික නවකතා, උන්නතිකාමී නවකතා, ස්ත්‍රීවාදී නවකතා, සමාජ විද්‍යාත්මක නවකතා හා විචිත්‍ර නවකතා ලෙසින් ය. මේ හැරෙන්නට සමලිංගිකත්වය හෝ නපුංසක ජීවිත හෝ පාදක කොට රචනා වූ පොත් කිහිපයක් ද තිබිණි.

මේ ප්‍රබන්ධවල දක්නට ලැබෙන පොදු දුර්වලතා කිහිපයකි. ඉන් පළමු තැනට පත් වන්නේ, දැඩි ඒකාකාරී බව ය. ප්‍රවීණ නවකතාකරුවන්ගේ රචනා තුළ ඒකාකාරී බව බහුල ලක්ෂණය බවට පත්ව තිබේ. අන්තර්ගතය,ආකෘතිය, ඉදිරිපත් කිරීම හා භාෂා භාවිතය අතින් ඉහත සඳහන් ඒකාකාරී බව හොඳින් ප්‍රකට වෙයි. දෙවැනි දුර්වලතාව වන්නේ, සංස්කරණයක් නොමැතිකම ය. ඒ අනුව අනවශ්‍ය විවරණ , විස්තර හා තොරතුරු ගෙන හැර දැක්වී‍මෙන් කතා රසය විනාශ කරගෙන තිබේ. ඇතැම් කතාවක ශිල්පීය හරඹ දක්නට ලැබෙන අතර, තවත් කතාවක් ගැඹුරු අර්ථ -සාධනය සඳහා ගොස්, විකෘති කරගෙන තිබේ. මේවා කියැවීම අතිශය වෙහෙසකර ය. නවකතාවේ මූලික කාර්යය පාඨකයාට වින්දනයක් ලබා දීම බව බොහෝ දෙනෙක් අමතක කරති.

2017 වසරේ සිංහල ස්වතන්ත්‍ර නවකතා සම්බන්ධයෙන් ගොඩගේ සාහිත්‍ය උලෙළෙහි සමීක්ෂක මණ්ඩලය දක්වා ඇති අදහසක් මෙහි ලා සිහිපත් වෙයි. එය මෙසේ ය. “සමාජ සංවාදයට ලක්වන විවිධ විෂයයන් පාදක කොට රචනා වූ නවකතා ඇත්තේ ස්වල්පයක් පමණි. එහි අර්ථය වන්නේ, තෝරාගනු ලබන විෂය ක්ෂේත්‍ර අනුව සිංහල ස්වතන්ත්‍ර නවකතාවේ විවිධත්වය හ විචිත්‍රත්වය ප්‍රකාශමාන නොවන බව ය.”

2018 -සමාප්ති සටහන

එම සමීක්ෂක මණ්ඩලය තවදුරටත් දක්වන්නේ, 2017 ස්වතන්ත්‍ර සිංහල නවකතාවලින් 30% ක් පමණ පරිසමාප්තියට පත් නොවූ ඒවා බව ය. තව ද, 10%ක් පමණ ප්‍රබන්ධ නවකතාවේ ශිල්පීය ලක්ෂණ හා විශේෂතා හඳුනා නොගත් ඒවා ලෙස ද, ඒවා පුරාණ කතාන්දරවලට සම කළ හැකි බව ද සමීක්ෂකයෝ දක්වති. අපේ නූතන නවකතාව පිළිබඳ දළ සටහනක් ඉහත සාධක ඔස්සේ ගොඩනඟා ගත හැකි ය. මේ අතර වැදගත් ප්‍රශ්නය වන්නේ, ‘අප්පච්චි ඇවිත්’ නවකතාව ඉහත මන්දනයෙන් ගොඩ යන්නේ කවර සාධක මත ද යන්න ය. ඊට අදාළ යම් සාක්ෂ්‍යක් ගොඩගේ සමාප්ති සටහනෙහි දක්වා තිබේ.

“සමන් වික්‍රමාරච්චි මහතාගේ “අප්පච්චි ඇවිත්” කෘතිය වසරේ විශිෂ්ටම නවකතාව ලෙස නම් කිරීම, සමීක්ෂක මණ්ඩලයේ ඒකමතික තීරණය විය. එහි අන්තර්ගතය, තේමාව, ආකෘතිය, ඉදිරිපත් කිරීම, නිරූපණ, භාෂා භාවිතය පමණක් නොව; සංක්ෂිප්තතාව ද සමීක්ෂක මණ්ඩලයේ වි‍ශේෂ ඇගැයීමට ලක් විය.”

(2018 ගොඩගේ සමාප්ති සටහන)

ඉහත සාධක හැරුණු කොට තවත් විශේෂ ලක්ෂණ කිහිපයක් ඔස්සේ “අප්පච්චි ඇවිත්” නවකතාවේ වෙනස විශ්ලේෂණය කළ හැකි ය. ඒ සඳහා ප්‍රධාන සංවාද හතරක් තෝරාගත හැකි ය.

I අන්තර්ගතයේ ප්‍රධාන සංවාදය

II ආකෘතියේ නැවුම් බව

III ඉදිරිපත් කිරීමේ විලාසය

IV ප්‍රබන්ධයේ පරිපූර්ණත්වය

අප්පච්චි ඇවිත් නවකතාව මූලික වශයෙන් සාකච්ඡා කරන්නේ පියා හා ප්‍රත්‍රයා අතර පවත්නා අන්‍යන්ත සම්බන්ධය යි. එය පියාගේ නාමකරණය, පියාගේ බලපෑම හෝ වෙනත් යෙදුමකින් හැඳින්විය හැකි ය. වැදගත් වන්නේ, ඒ සඳහා යොදන වචන නොව; සම්බන්ධයට අදාළ විවරණය යි. පියා පුත්‍රයා කෙ‍රෙහි බලපෑම අමුතු දෙයක් නොවේ. පියා හා පුත්‍රයා අතර ජානමය සම්බන්ධතා පවතී. චර්යාත්මක සම්බන්ධතා පවතී. සංස්කෘතික සම්බන්ධතා පවතී. මුළුමනින් ගත් කළ මෙය ඉතා සංකීර්ණ ය. මිනිසා වටහා ගැනීම සඳහා මේ සම්බන්ධය විග්‍රහ කර ගැනීම වැදගත් ය.

සාමාන්‍ය ව්‍යවහාරයට අනුව ගතහොත්, ඕනෑම දරුවකුගේ පළමු වීරයා තාත්තා වන්නේ ය. පසුව ඔහු තාත්තා අනුකරණය කරන්නට පටන් ගනී. ඊටත් පසුව තාත්තාගේ දෘෂ්ටියෙන් ලෝකය දෙස බලන්නට උත්සාහ ගනී. කෙනකුට සිය පියා ආවේශ වන්නට පුළුවන. මේ කතාවේ එන නිස්සංකට ද පියා ආවේශ වී ඇත. පියා මිය ගොස් ඇති නමුදු, නිස්සංක පියා කැටුවම ජීවත් වෙති. මේ අතර නිස්සංක චුදිතයා බවට පත් කරවන මිනිස් ඝාතන තුනක් සිදු වෙයි. ඝාතනවලට පියාගේ ද යම් බලපෑමක් ඇති බව පෙනෙයි. නිස්සංකට සිදුවී ඇත්තේ කුමක් ද? ඔහු මානසික රෝගියෙක් ද? නැතහොත් මේ වෙනත් තත්ත්වයක් ද? කතුවරයා නිරූපණය කරන්නේ අතිශය සංකීර්ණ ක්‍රියාවලියකි.

රොබට් බ්ලොව් රචනා කරන ලද සයිකෝ නවකතාවේ එන නෝමන් බෙට්ස් සිහියට නඟා ගත හැකි ය. ඔහුට තම මියගිය මවගේ බලපෑමක් තිබේ. බෙට්ස් මව මියගිය බව පිළිගන්නේ නැත. ඔහු මළමිනිය ගබඩා කාමරයක තබාගෙන, ඇගෙන් උපදේශන ලබා ගනී. තානායම්කරුවකු වන බෙස්ට්, මිනිස් ඝාතන කිහිපයකට සම්බන්ධ වෙයි. එම ඝාතන සිදුවන්නේ ද මවගේ බලපෑමට අනුව ය. මේ සංකීර්ණ තත්ත්වය විද්‍යාත්මක ගැළවීම් ද සහිත ව නිරූපණය කිරීමට ‍රොබට් බ්ලොව් උත්සුක වෙයි.

පියාගේ බලපෑම පුත්‍රයා වෙත එල්ල වන ආකාරය පිළිබඳ වෙනත් ආකාරයක විවරණයක් සහිත ප්‍රබන්ධයක් 1990 ගණන්වල පළ වී ඇත. “ඉන් ද නේම් ඔෆ් ද ෆාදර්” ලෙස එය හඳුන්වා ඇත. එම කෘතියෙහි සඳහන් ආකාරයට එය රචනා වී ඇත්තේ, සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ය. 1974 දී ලන්ඩන් නුවරට ආසන්නයේ හෝටල් දෙකක සිදුවූ බෝම්බ පිපිරීම් දෙකක් පසුබිම් කර කෘතිය රචනා වී ඇත. පුත්‍රයා එහි සැකකරුවෙකි. ඔහු තම පියාගේ නම ප්‍රධානකොට නඩු මඟට යයි. මෙහි නිරූපණය වන්නේ පියාගේ නාමකරණය පිළිබඳ වෙනත් විලාසයකි. මෙය සංවාදයට ලක්වන ප්‍රබල විෂයයක් බව ඉන් පෙනී යයි.

ජීවමාන මිනිසුන් කෙරෙහි මළවුන් බලපාන ආකාරය ගැනත්; ජීවමාන මිනිසුන් මළවුන් කෙරෙහි දක්වන ආකර්ෂණය ගැනත් පර්යේෂණ සිදු වී ඇත. මේ විෂයය’ නෙත්‍රොෆීලීයා’ ලෙස හඳුන්වනු ලැබේ. නිස්සංක නම් චරිතය ඔස්සේ ද එම විෂයයට සමීප විය හැකි ය.

අප්පච්චී ඇවිත් නවකතාව සාකල්‍යයෙන් ගත් කල, එය නඩු විභාගයකි. සාක්ෂි සටහන් කිහිපයත්, විත්තියේ නීතිඥයාගේ දේශන සටහනක් ඊට ඇතුළත් ය. මේ ඔස්සේ සංවාදයට ගනු ලබන්නේ නිස්සංක සාමාන්‍ය පුද්ගලයකු ද? නැතහොත් මානසික රෝගියෙක් ද? යන්න ගැන ය.

කතුවරයා ඉදිරිපත් වී කරන විග්‍රහ, විවරණ හා විස්තර කිරීම් කිසිවක් කතාවට ඇතුළත් නැත. වරෙක එය අපරාධ නවකතාවක ඇති කුතුහලය හා ත්‍රාසය අප වෙත ගෙන එයි. තව වරෙක මනෝ විශ්ලේෂණ නවකතාවක ඇති විමතිය අප වෙත ගෙන එයි. කතාවේ මුලසිට අග දක්වා ම ආකර්ශණය රඳවාගෙන තිබේ. විත්තිකරු විසින් ලියන ලද සටහන් ‍පොතක් ද නඩුවේ සාක්ෂියක් ලෙස ගෙන තිබේ. එය විත්තිකරුගේ ඇතුළාන්තය හෙළිදරව් කරන සාධකයක් ලෙස පවතී.

පියාගේ නාමකරණය පිළිබඳ සාධකයේ යථාව සොයා යෑම කතුවරයාගේ අභිලාසය බව පෙනෙයි. නඩු විභාගය, වෛද්‍යවරුන්ගේ වාර්තා හා සංවාද මේසඳහා සූක්ෂ්ම ලෙස යොදාගෙන තිබේ. අප්පච්චී වරෙක සිය පුත්‍රයාට කියා සිටින්නේ, මගේ හෙවණැල්ලෙන් මිදෙන්නට උඹට බැරි බව ය.

“උඹට එහෙම යන්න බැහැ” උඹ ඉන්න ඕනෑ මම ළඟ මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ”.

(පිටුව - 14)

“ඔය උ‍‍‍ඹේ කතා හැම එකක් ඇතුළෙම ඉන්නෙ මමනෙ. කියපන් ඉතින්!”

(පිටුව - 58)

මේ සංවාද දෙකෙන් ම මතුවන්නේ, අප්පච්චී නිස්සංක කෙරෙහි බලපවත්වන ආකාරයයි. එහෙත්, මේ සංවාද සැබෑ පියාගේ වචන නොව; නිස්සංකගේ කාල්පනික පියාගේ වචන ය. පියා කෙරෙහි දැඩි සේ ආශක්ත වූ සයිකෝසිකයකු අපට මෙහි දී මුණ ගැසෙයි. පුත්‍රයා පියා කෙරෙහි දක්වන බිය, වෛරය, ආදරය, ගෞරවය යන ඕනෑම දෙයක් නිසා, මෙවන් තත්ත්වයක් මතු විය හැකි ය.

මෙහි පරිච්ජේද අංකිත කොට නැත. එකිනෙකා නිරූපණය නිදහස්ව ගලා යයි. කතාව ආරම්භ වන්නේ, නිස්සංකගේ බිරියගේ මරණය ගැන අසල්වැසි කාන්තාවක ලබා දෙන සාක්ෂියකින් ය. ඊළඟට දෙවැනි සාක්ෂිය, මරණකාරියගේ පියා ලබා දෙයි.

සාක්ෂි සටහන් දෙකෙන් පසු කතුවරයා සිය අවධානය යොමු කරන්නේ, නිස්සංකගෙ අතීතාවර්ජනයක් කෙරෙහි ය. අප්පච්චිගේ හා නිස්සංකගේ සංවාදය එතැන් සිට දිග හැරෙයි. පිටු 223 කින් මුළු කතාවම අවසන් වෙයි. කෙටි නවකතාවක ශිල්පීය ලක්ෂණ භාවිත කරමින් සංක්ෂිප්තතාව රැකගෙන තිබේ. කතාව වේගයෙන් විකාශය වෙයි. සංකේත හා උත්ප්‍රාස බහුලව භාවිත කෙරේ.

සිංහල ස්වතන්ත්‍ර නවකතා බොහොමයක ඇති කියැවීමේ වෙහෙසකරභාවය මේ කෘතියේ නැත. කතුවරයා භාවිත කරන ආකෘතිය, ශෛලිය හා භාෂාවත් මේ ආකර්ෂණයට හේතුවක් වෙයි. භාෂා ශෛලිය ගතහොත්, සරල කෙටි වාක්‍යවලට කතුවරයා වැඩි කැමැත්තක් දක්වන බව පෙනෙයි. එය හෘදයාංගම කතාවක් නිර්මාණය කරයි.

“ගෙදර මළ පාලුයි. ඊයෙ රෑ පුරා ම මම හිටියෙ නිදිවර්ජිතව, මට වැඩියක් ම නින්ද නොගි‍යෙ අප්පච්චිගෙ කාමරෙන් ඇහිච්චි සද්ද හින්දා අප්පච්චි කහිනවා, අඬනවා. බැරිම තැන මම හයියෙන් කෑ ගහලා කිව්වා “අප්පච්චි නිදාගන්නකො අප්පච්චී ඇහැරල ඉන්න කොට මට නින්ද යන්නෙ නැහැ”

ඊට පසසේ අප්පච්චි වගේ වගක් නැතිව නිශ්ශබ්ද වුණා.”

(පිටුව- 9)

පියා හා පුත්‍රයා අතර පවත්නා සංවාද ජීවමාන ය. හෙමිංවේ වැනි රචකයකුගේ ජීවමාන සංවාද අප සිහියට නැ‍ඟේ. මේ කතාවේ පිටු අංක 144 සිට පිටු අංක 148 දක්වා ඇති කොටස, දුරකථන සංවාදයකට වෙන් වෙයි. එම සංවාදය මිනිසා හා ගැහැනිය අතර පවත්නා ලිංගික ආකර්ෂණය අපූරුවට නිර්මාණය කරයි. එය නිස්සංකගේ ෆැන්ටසියක් ලෙස ද ගත හැකි ය. විවිධාර්ථ සහිත සංවාදයකි. මිනිස් ජීවිතවල ඇතුළාන්තය ඉන් එළියට පනී. කතුවරයා විවෘත ව, නිදහස් ව හා නිර්භීතව සිය වචන භාවිත කර තිබේ.

නිස්සංක හා මනෝ වෛද්‍යවරයා අතර පවත්නා සංවාදය, පාඨක ආකර්ෂණය දිනා ගනු ලබන තවත් අවස්ථාවක් ලෙස දැක්විය හැකි ය. එම සංවාදයට අනුව නිස්සංක නම් උමතු රෝගියාට මනෝ වෛද්‍යවරයා රැවටෙයි. හැබෑවට ම පිස්සු නිස්සංකට ද? නැත්නම් අවට සමාජයටද? යන ගැටලු පාඨකයාට ඇති වෙයි.

“ඒ විදිහට හිතෙන්නෙ හරි දැනෙන්නෙ හරි පිස්සන්ටනෙ ඩොක්ටර්. මට නම් කවදාවත් එහෙම දෙයක් දැනිලා නැහැ”

(පිටුව - 111)

වෛද්‍යවරයා මේ අවස්ථාවේ මහත් අපහසුතාවට පත් වෙයි. ඔහු පුටුවේ ඇඹරෙයි. නිස්සංක දෙබිඩි චරිතයක්දැ’යි පාඨකයාට සිතෙයි.

නිස්සංකගේ මානසික තත්ත්වය විග්‍රහ කිරීම සඳහා, කතුවරයා යොදා ගන්නා උපාය මාර්ග තර්කානුකූල ය. එලෙසම, විද්‍යාත්මක ය. අප්පච්චී ඇවිත් නවකතාව පරිපූර්ණ නවකතාවක් බවට පත් වන්නේ, ප්‍රධාන හේතු දෙකක් මත ය. පළමුවන්න සංවාදයට හසුවන විෂයයට අදාළ සියලු විද්‍යාත්මක පාර්ශ්ව කතුවරයා විසින් ස්පර්ශ කරනු ලැබේ. දෙවැන්න, නවකතාවේ ශිල්පිය අංග මනාව සංකලනය කොට, පරිපූර්ණ ආඛ්‍යානයක් ගොඩනගනු ලැබේ. මේ නවකතාව විශිෂ්ට වන්නේ ඒ නිසා ය.

නව අදහස දක්වන්න