මරු පසුකර ජපානයට | දිනමිණ

මරු පසුකර ජපානයට

මඟ හැරුණු මිනිසා 83

“මට මතකයි 71 අරගලයේ නඩු තීන්දුව දුන්න දවසෙ රෝහණ සහෝදරයා එක්ක මාංචු දාගෙන යන්න වෙන කවුරුවත් කැමති වුණේ නැහැ. අපේ තිබුණ මිත්‍රත්වය නිසාම මම රෝහණ සහෝදරයා සමඟ මාංචු දා ගන්න කැමැත්තෙන් ඉදිරිපත් වුණා. හිරෙන් නිදහස් වුණාට පස්සෙත් ටික කාලයක් එකට වැඩ කරපු අපි කෑම-බීම විතරක් නෙමෙයි ඇඳුම්-පැලඳුම් පවා බෙදා හදා ගත්තා. රෝහණ විජේවීර - ශ්‍රීමතී චිත්‍රාංගනී විවාහයට මම සාක්කිකාරයෙක් වුණා. මගෙයි චිත්‍රාගේයි විවාහයට රෝහණ සාක්කිකාරයෙක් වුණා. අපි අපේ දේශපාලන ජීවිතේ දුක සැප දීර්ඝ කාලයක් බෙදා හදා ගත්තා. ඒ වගේම අපි හොඳ යහළුවෝ හැටියට 1983 මැද දක්වාම කටයුතු කළා.

එක් සන්ධ්‍යාවක ලයනල් බෝපගේ මොරටුව සර්වෝදය ඉංජිනේරු අංශයේ ගොඩනැඟිලි සංකීර්ණයේ කාර්යාලයේ සේවයේ යෙදී සිටියදී මෝටර් සයිකලයකින් පැමිණ ඒ අංශයේ ගණකාධිවරයා ව සිටි පී. විමලසේන මහතාගේ කාර්යාලයට කඩා වැදුණු සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙක් කාර්යාලයේ මුදල් සියල්ල පැහැරගෙන බෝපගේ සිටින තැන පෙන්වන්නැයි ගණකාධිවරයාට අණ කළහ. ගණකාධිවරයාගේ කාර්යාලය පිහිටා තිබුණේ ඉංජිනේරු අංශයට ඇතුළු වන ගේට්ටුව අසලම ගොඩනැඟිල්ලේ ය. අනතුර වහා තේරුම් ගත් ස්ථානෝචිත ප්‍රඥාව සහිත ගණකාධිවරයා ලයනල් බෝපගේ කොළඹ ගොස් ඇති බව පැවසීය. සතියක් ඇතුළත ලයනල් බෝපගේ මරා දමන බවට අනතුරු අඟවන තු‍ණ්ඩුවක් ගණකාධිවරයා ළඟ තබා සන්නද්ධ දෙදෙනා පිටව ගොස් ඇත. තම ජීවිතය බේරා දීම ගැන අදත් ගණකාධිකාරී විමලසේන මහතා ඇතුළු සේවක මණ්ඩලයට බෝපගේ සිය බලවත් කෘතඥතාවය පළ කර සිටී.

සිද්ධිය පිළිබඳව පොලිසියට දැනුම් දීමට කටයුතු පිළියෙළ කළ ඔහු වෙනදාටත් වඩා පරීක්ෂාකාරී ව දිවි ගත කළේය. ඔහු තම දින චර්යාව සහ ගමන්-බිමන් රටාව වඩ වඩාත් වෙනස් කළේය. මෙම තත්වය පිළිබඳව දැන ගන්නට ලැබී ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් රැකවරණය සලසන්නට ඉදිරිපත් වූ අය අතර නෝර්වීජියානු සේව් ද චිල්ඩ්රන් - ‘රෙඩ් බාර්නා’ - සංවිධානයේ නේවාසික නියෝජිත සිග්මන්ඩ් කාල්ස්ට්‍රොම් මහතා ද, දරු දෙදෙනාගේ පාසල වූ පන්නිපිටියේ ‘ක්‍රයිස්ට් ද කිං’ විද්‍යාලයේ විදුහල්පතිවරිය ව සිටි ගරු පෝලින් පෙරේරා කන්‍යා සොයුරිය ද වූහ.

උපද්‍රවකාරී වාතාවරණය නිසා වහාම රටින් පිට වී තත්වය සමහන් වන තුරු විදේශගතව සිටින මෙන් ලයනල් බෝපගේ ට මිතුරන්ගෙන් මෙන්ම සර්වෝදය ශ්‍රමදාන සංගමයේ නිර්මාතෘ ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාගෙන් ද, සර්වෝදය ආර්ථික ව්‍යවසාය සංවර්ධන සේවාවේ ප්‍රධාන විධායක නිලධාරි දුලාන් ද සිල්වා මහතාගෙන් ද උපදෙස් ලැබුණි. ඔවුන් දෙදෙනා ඔහුට ජපානයට යාමට අවශ්‍ය ලියවිලි සම්පාදනය කර දුන් අතර සර්වෝදය ආර්ථික ව්‍යවසාය සංවර්ධන සේවාවේ ප්‍රධාන ගණකාධිවරයාව සිටි සංජය බෙනරගම මහතා ජපාන තානාපති කාර්යාලයෙන් ගමනට අවශ්‍ය වීසා කටයුතු සකස් කර දුන්නේය. කළමනාකරණ සේවා ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ සේවය කළ බෝපගේගේ වෘත්තීයමය සගයකු වූ සෙල්වරාජා රාධාක්‍රිෂ්ණන් මහතා, ඒ වන විට ටෝකියෝහි සුගිනාමි නුවර වාසය කළ ඔහුගේ මල්ලී සෙල්වරාජා සෙල්වකුමාර්ගේ නිවෙසේ පවුලේ සාමාජිකයන් සමඟ බෝපගේට නැවතී සිටින්නට ද කටයුතු පිළි‍යෙළ කර දුන්නේය. බෝපගේට ආධාර කරන ලෙස චිත්‍රාගේ පවුලේ අය ටෝකියෝ හි මෙගුරෝ දිස්ත්‍රික්කයේ ‘සීගිරි අවන්හල’ අධිපතිව සිටි ගුණසේන මහතාට ද දන්වා තිබුණි. ඒ අනුව 1989 ජූනි 19 වන දා ලයනල් බෝපගේ ටෝකියෝ බලා පිටත්ව ගියේය.

ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා තමා සතු වූ විශ්වවිද්‍යාල සම්බන්ධකම් ලබා දී තිබුණ ද ඒ ඔස්සේ රැකියාවක් සොයා ගන්නට බෝපගේට අපහසු වූයෙන්, සෙල්වකුමාර් මහතා ඔහුගේ සම්බන්ධකම් තුළින් සුගිනාමි නුවර පිහිටි ජපාන දුම්රිය සේවය සඳහා සංඥා පුවරු නිර්මාණය කරන කර්මාන්ත ආයතනයක වැඩ කිරීමට අවස්ථාව ලබා දුන්නේය. ඒ ආයතනයේ ප්‍රධානීන් වූ යසනූරි සහ මසායා මුනෙමොතො අද දක්වාම බෝපගේගේ මිතුරන්ය. මාස හතක කාලයක් එහි වැඩ කළ නමුත් බෝපගේ ට ලැබුණු ආදායම ජීවත්වීමට තරම් ප්‍රමාණවත් නොවූ බැවින් ටෝකියෝ නගරයේ බොහෝ දෙනකුට මෙන් තවත් රැකියාවක නිරත වෙන්නට ඔහුට සිදු විය.

“ටෝකියෝ කියන්නේ වියදම් අධික නගරයක්. ඒ නිසා දවල් ‘සුගිනාමි’ වැඩබිමේ වැඩ කරලා රාත්‍රි කාලයේ දී ටෝකියෝ නගරයේ යොවුන් පුරය ලෙස හැඳින්වුණ රොප්පොන්ගි දිස්ත්‍රික්කයේ රාජා නමැති ඉන්දියානු අවන්හලේ පිඟන් කෝප්ප සේදුවා. එතැන ප්‍රධාන අරක්කැමියා රාගම ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයෙක්. ඔහු මට බොහොම උදව් වුණා. මා ලංකාවට පැමිණි අවස්ථාවල ඔහු සොයා ගන්නට උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. කාර්ය මණ්ඩලයේ තවත් ශ්‍රී ලාංකිකයන් සේවය කළා. බුරුමයේ හමුදා ආණ්ඩුව පිහිටවපු කාලෙ ජුන්ටාවේ මරණ තර්ජන නිසා පලා ගිය බුරුම ශිෂ්‍යයකුත් හිටියා.”

කෙතරම් දුෂ්කරතා මැද වුවත් ලයනල් බෝපගේ නම් මිනිසා සිය අධ්‍යයන ලෝලිත්වය අත් නොහැරීය. 1971 දී සිරගෙදර දී ඔහු ජර්මන් භාෂාව ඉගෙන ගත්තේය. දෙවන වර ප්‍රංශ ඉගෙන ගත්තේය. දිවි ගලවා ගැනීමට ජපානයට ගිය ලයනල් බෝපගේ දවල් ‘සුගිනාමි’ වැඩබිමේ ද රාත්‍රියෙහි රාජා අවන්හලේ ද රැකියාව කරමින් සති අන්තයේ ජපන් භාෂා පංතිවලට සහභාගි විය. ඒ හරහා සිංහල සහ දෙමළ ශ්‍රී ලාංකික මිතුරන් කිහිප දෙනකු ද ඇති කර ගත්තේය. ශ්‍රී ලංකාවේ මිනිස් සංහාරය නිම නොවනු දුටු ලයනල් බෝපගේ ටෝකියෝ හි චෝෆු නුවර විද්යුත් සන්නිවේදනය පිළිබඳ ජාතික විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය සඳහා ලියාපදිංචි වී ජපානයේ වෙසෙන කාලය දීර්ඝ කර ගැනීමට උත්සාහ කළේය. මේ සඳහා ඔහුට උදව් කළේ ජපන් භාෂාව ඉගෙන ගන්නා සමයේ මිතුරු වූ චෝෆු නුවර විසූ අමරතුංග රන්දෙණිය යි.

ඔහු සිසුවකු ලෙස බඳවා ගැනීමට එකඟ වුවද දින කිහිපයකට පසු අදාළ මහාචාර්යවරයා සිය අදහස වෙනස් කළේ, තම තීරණය වෙනස් කිරීම පිළිබඳ කරුණු දැක්වීමට බෝපගේ මුණගැසීම ද ප්‍රතික්ෂේප කරමිනි. පසුව දැන ගන්නට ලැබුණු ආකාරයට ඊට හේතු වී තිබුණේ එම විශ්වවිද්‍යාලයේම ඉගෙන ගනිමින් සිටි සිංහල ශිෂ්‍යයකු බෝපගේගේ දේශපාලන අතීතය පිළිබඳ මහාචාර්යවරයාට අනතුරු අඟවා තිබීම යි. ප්‍රජාව තුළ රට තුළ දී පැවති ද්වේෂය විදේශගතව සිටියදී ද ඒ අයුරින් ම පවතින බවට ජීවිතය ගලවා ගන්නට විදේශගත වූ බෝපගේ ට අත්විඳින්නට සිදු වූ පළමු අත්දැකීම වූයේ එය යි.

මේ අතර ලංකාවේ තත්ත්වය තව තවත් දරුණු අතට හැරුණි. ධනවත් වතුහිමියකු ලෙස වෙස් ගෙන උලපනේ සිටියදී අත්අඩංගුවට ගන්නා ලද රෝහණ විජේවීර ප්‍රශ්න කිරීමට ලක් කොට, වධ දී මරා දමන ලද බව ලයනල් බෝපගේ ට සැල වුණි. ඔහුට මතක අන්දමට ඒ ගැන දැන ගන්නට ලැබුණේ ටෝකියෝ නුවර ශ්‍රී ලාංකික මිතුරන්ගෙනි. ඒ හා සමඟම මිනීමරු ඝාතක සේනාංකවලින් පැමිණි සිය ගණනක් බෝපගේගේ පිළියන්දල නිවෙසත් වැලිගම ඔහුගේ මවුපියන්ගේ නිවෙසත් මහරගම චිත්‍රාගේ මවුපියන්ගේ නිවෙසත් වටලා බෝපගේ අත්අඩංගුවට ගන්නට සොයා තිබුණි. බෝපගේ ජපානයට ගොස් ඇති බව පිළි ගන්නට වත් සූදානම් නොවූ ඔවුහු බෝපගේගේ මස්සිනා වූ ගාල්ලේ තැපැල් පුහුණු විද්‍යාලයේ විදුහල්පති එම්. ටී. බන්ධුලසේන අත්අඩංගුවට ගන්නට පවා වෑයම් කොට ඇත. අනාගතයේ ජ.වි.පෙ. නායකත්වය අත්කර ගත හැකි සියලු නායකයන් ඝාතනය කර දැමීමට විශේෂ කාර්ය බළකාය අපේක්ෂා කළ බව දක්නට ලැබුණි.

රෝහණ විජේවීරගේ ඝාතනයත් සමඟ ලයනල් බෝපගේ සහ ජ.වි.පෙ. මුල් පරපුර අතර තිබූ අවසාන දේශපාලන සබැඳියාව සුන් වී ගියේය. ඒ පිළිබඳව ඔහු මෙසේ කියයි.

“රෝහණ සහෝදරයා ඝාතනය කර දැමූ ආරංචිය මට මගේ ජීවිතයේ අත්දකින්නට වුණු ඉතාමත් කණගාටුදායක වේදනාසහගත ආරංචියක්. රෝහණ සහෝදරයා ප්‍රසිද්ධ රැස්වීමක් අමතන විටදී මා මූලාසනයේ සිටියා නම් ‘මා සමඟ එකට දුක සැප බෙදා ගත් මුලසුන හොබවන මගේ ආදරණීය ලයනල් බෝපගේ සහෝදරයාගෙන් අවසරයි’ යනුවෙන් කියපු හැටි අදටත් චිත්‍රා මතක් කරනවා. 1983 අත්අඩංගුවේ තබාගෙන සිටියදී මා එවූ යෝජනා අනුව කටයුතු කළා නම් හෝ මගේ ඉල්ලා අස්වීමේ ලිපියේ මා සඳහන් කර තිබුණු කරුණු ගැන මඳක් හෝ සැලකිල්ල යොමු කළා නම් ඒ විනාශය වළක්වා ගන්නට තිබුණ බව මම අදත් දැඩි ලෙස විශ්වාස කරනවා. විශ්වවිද්‍යාලයෙ ඉන්න කාලෙ ඉඳලම රෝහණ සහෝදරයාත් මමත් ළඟම යාළුවෝ වෙලා එකම දේශපාලන අරමුණු ඉෂ්ට කර ගන්න එකට එකතු වෙලා වැඩ කළා. 1971 අප්‍රේල් නැඟිටීමේ ස්වභාවය සහ එහි පැනනැගීම පිළිබඳව අප දැරූ මති මතාන්තර එකිනෙකට වෙනස් වුණත් සිරගෙයි ඉඳිද්දීත් මේ මිත්‍රත්වය වෙනස් වුණේ නෑ.”

“මට මතකයි 71 අරගලයේ නඩු තීන්දුව දුන්න දවසෙ රෝහණ සහෝදරයා එක්ක මාංචු දාගෙන යන්න වෙන කවුරුවත් කැමති වුණේ නැහැ. අපේ තිබුණ මිත්‍රත්වය නිසාම මම රෝහණ සහෝදරයා සමඟ මාංචු දා ගන්න කැමැත්තෙන් ඉදිරිපත් වුණා. හිරෙන් නිදහස් වුණාට පස්සෙත් ටික කාලයක් එකට වැඩ කරපු අපි කෑම-බීම විතරක් නෙමෙයි ඇඳුම්-පැලඳුම් පවා බෙදා හදා ගත්තා. රෝහණ විජේවීර - ශ්‍රීමතී චිත්‍රාංගනී විවාහයට මම සාක්කිකාරයෙක් වුණා. මගෙයි චිත්‍රාගේයි විවාහයට රෝහණ සාක්කිකාරයෙක් වුණා. අපි අපේ දේශපාලන ජීවිතේ දුක සැප දීර්ඝ කාලයක් බෙදා හදා ගත්තා. ඒ වගේම අපි හොඳ යහළුවෝ හැටියට 1983 මැද දක්වාම කටයුතු කළා. අපේ මුල් සහෝදරයන් බොහෝ දෙනෙක් 71 අරගලයේ පරාජයත් සමඟ, විශේෂයෙන්ම අපරාධ යුක්ති විනිශ්චය නඩු විභාගය තිබුණ කාලෙ, අපව හැර දමා ගියා. ජාත්‍යන්තරවත් අරගලවල පරාජයෙන් පසුව මෙවැනි දේවල් වමේ ව්‍යාපාරය තුළ සිදු වී තිබෙනවා. ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි දෙන්න අතර වෙනස් මතයන් තිබුණත් පසුව ජ.වි.පෙ. නායකත්වයට පත් වුණු අය වගේ රෝහණ සහෝදරයා ධනේශ්වර පාලක ප්‍රභූන් එක්ක සන්ධාන ගහන්න උත්සාහ දරපු බවක් හෝ ගහපු බවක් මම දන්නේ නැහැ.”

ආපසු ලංකාවට අවුත් සර්වෝදය ආර්ථික ව්‍යවසාය සංවර්ධන සේවාවේ තමන් කරන්නට බලාපොරොත්තුව සිටි පලතුරු සහ මාළු ටින් කිරීමේ ව්‍යාපෘති ආරම්භ කරන්නට බෝපගේ බලාපොරොත්තුව සිටියද ලංකාවේ තත්වය වඩාත් දරුණු අතට හැරුණු හෙයින් මෙන්ම ජපානයේ තම වීසා කාලය අවසන් වන්නට ළංව තිබූ හෙයින් ද බෝපගේ ජපාන ආගමන දෙපාර්තමේන්තුව අමතා වීසා කාලය දිගු කර ගන්නට උත්සාහ කළේය. නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණි. විකල්පයක් නොමැති වූ බැවින් අවසානයේ දී ජපානයේ සිටියදීම සරණාගතයකු ලෙස පිළිගන්නා මෙන් ජපන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නට බෝපගේට සිදුවිය.

සිසිර යාපා

හෙට - ජපන් දිවියේ දුෂ්කර සමය

නව අදහස දක්වන්න