පුංචි මයිලෝ ගේ ලොකු වැඩ | දිනමිණ

පුංචි මයිලෝ ගේ ලොකු වැඩ

පොලිස් වැඩ්ඩෝ

ඉංග්ලිෂ් ස්පැනියර් වර්ගයට අයත් කුඩා සිරුරකින් ද දිගු ලොම් වලින් ද යුතු මයිලෝ දුටු පමණින් හැඟෙන්නේ “හුරතල් කරන්නට, සෙල්ලම් කරන්නට නම් මෙයා හොඳයි” ලෙසය. එහෙත්... පොලිස් නිල සුනඛ ඒකකයේ මත්ද්‍රව්‍ය සෙවීම පිළිබඳ මනා පුහුණුවක් ලබා සිටින මයිලෝ හබරණ පැත්තේ කසිප්පු කාරයන්ට, ගංජා, කුඩු කාරයන්ට නම් නිදහසේ සිටින්නට ඉඩක් දෙන්නේම නැත. හුරුබුහුටි වුවාට මයිලෝ රාජකාරියේදී බොහෝ දරුණුය. දක්ෂය.

සංදර්ශන වල දී කප් ගහපු මයිලෝ පසුගිය දින වල දී අපුරු මෙහෙයුමක නිරත විය. ඒ ඉතා රහසිගතව කරගෙන ගිය කසිප්පු ජාවාරමක් අල්ලා දීමය. එදා මයිලෝ කළ හපන් කමින් මෙහෙයුමට එක් වූ හබරණ පොලිසියේ කණ්ඩායම ද මවිතයට පත්විය.

ආසිරිගම, පුස්දිවුල්වැව වාන ළඟ පදිංචි බොරු කකුලක් දමාගෙන සිටින පුද්ගලයා හොර රහසේ කසිප්පු විකුණන බවට හබරණ පොලිසියට තොරතුරක් ලැබී තිබිණි.

කසිප්පු, කුඩු, ගංජා ජාවාරම් කාරයන් ඒවා මිනිස් ඇසට හසුවන ස්ථාන වල සඟවා තබන්නේ නැත. ඒ නිසා මෙවන් මෙහෙයුම් වලට නිල සුනඛයකු යොදා ගැනීම කළ යුතුමය.   

මෙම මෙහෙයුමට සුදානම් වූ උප පොලිස් පරීක්ෂක සුමතිරත්න ඇතුලු කණ්ඩායම හබරණ මත්ද්‍රව්‍ය නිල සුනඛ මයිලෝ ද කැඳවාගෙන යාමට කටයුතු කළේය. ලද දැනුම් දීමට අනුව කොස්තාපල් (85927) ප්‍රදීප් ලීලාරත්ත මයිලෝ ද රැගෙන මෙහෙයුමට පිටත්වන විට වේලාව සවස හතර පසු වී තිබිණි.

“අපි ආවේ තමුන් කසිප්පු විකුණවා කියලා ලැබුණු තොරතුරකට. අපිට ගේ සර්ච් කරන්න ඕන.”

පොලිස් කණ්ඩායමේ ප්‍රධානියා එලෙස පවසද්දී ඔහුගෙන් ලැබුණු ප්‍රතිචාරය එතරම් මට සිලිටු වුයේ නැත.

සරමක් පමණක් හැඳගෙන නිවෙස ඉදිරිපිට පුටුවකට බර දී සිටි ඔහු ඉන් නැඟිට සරම බුරුල් කොට එය ගසමින් “ඔන්න බලාගන්න. මගේ ළඟ මොකුත් තියෙනවා ද” ලෙස කියන්නට විය. සරම ගසද්දී

ඉනේ තිබී මුදල් නෝට්ටු කිහිපයක් බිමට වැටිණි. ඒ අතර වැඩිපුරම වුයේ රුපියල් පන්සියයේ කොළය.

ඒ අනුව ද පොලිස් කණ්ඩායමට යමක් වැටහිණි. ඒ... මොහු මිදුලට වී එන අයට කසිප්පු විකුනමින් සිටින බවය. පොලිස් කණ්ඩායම මෙම නිවෙසට එන මඟ දී හමු වූ පුද්ගලයා ද මෙම නිවෙසට විත් කසිප්පු රැගෙන යන්නට ඇතිය යන සැකය ද මතුවිය.

සරම ගසා පොලිස් කණ්ඩායමට සිය අප්‍රසාදය පල කළ ඔහු “මම ඕවා කරන්නේ නෑ. මගේ ළඟ මොකුත් නෑ. පුලුවන් නම් තියෙන තැනකින් හොයා ගන්නකෝ” ලෙසට සද්ද දමන්නට ද විය.

ඔහු කීවා නිවැරදිය. නිවෙස ඇතුලට ගිය මයිලෝ කොපමණ ඉව ඇල්ලුව ද මත් ද්‍රව්‍යයක් තිබෙන බවට ඉඟි කළේ නැත. එබැවින් මයිලෝ ගේ ඉව වැරදි යැයි සිතා පොලිස් කණ්ඩායම ද නිවෙස පරීක්ෂා කළත් කිසිවක් හමුවුයේ නැත.

දැන්... පාදයක් අහිමි පුද්ගලයා දිනා ඇති සේය. ඔහු.... පොලිස් කණ්ඩායම දෙස බලා ඔච්චමට සිනා වෙද්දී නිවෙසින් පිටතට පැමිණි උප පොලිස් පරීක්ෂක වරයා කියා සිටියේ “මිදුලත් ටිකක් සර්ච් කරලා බලමු” ලෙසය.

මිදුලේ එහාට වන්නට මඤ්ඤාක්කා ගාලක් ඇත. මිදුල දිගේ ඉව කරමින් ඒ දෙසට ගිය මයිලෝ මඤ්ඤොක්කා ගසක් අසල නතර විය. එහි මුල් සහිත කොටස ඉව කළ මයිලෝ ගස වටා කැරකෙමින්, ලීලාරත්න දෙස බලමින් යමක් කියන්නට උත්සාහ කරන අයුරින් හැසිරිණි.

මෙහෙයුමකට ගිය විට මයිලෝ කියන්නේ මොනවා දැයි ලීලාරත්න හොඳටම දන්නේය. මයිලෝ කියන්නේ මේ මඤ්ඤෝකා ගස යට මත්ද්‍රව්‍යයක් වළ දමා තිබෙන බවය.
එම පඳුර මුල පස් ඉවත් කරද්දී රතු පැහැති ෂෙපිං මල්ලක දැමු කසිප්පු සහිත කුඩා මලු රැසක් හමුවිය.

“ඔන්න අපි හොයා ගත්තා. දැන් මොකද කියන්නේ?”

පොලිසිය ඇසු ප්‍රශ්නයට ගෙහිමියාට කට උත්තර නැත. නිවෙසට ගොස් ඔහු කමිසයක් හැඳගෙන ආවේ දෑත් වලට මාංචු දැමීමට පෙරය.

පොලිස් කණ්ඩායම ඔහුගෙන් තවත් යමක් විමසීය. ඒ... පොලිසිය පැමිණීමට ස්වල්ප වේලාවකට පෙර නිවෙසට පැමිණි පුද්ගලයා ගේ පදිංචිය කොහිදැයි කියාය. ඔහු... එම පුද්ගලයා ගේ නිවෙස පිහිටි ස්ථානය කීවේය.

පොලිස් කණ්ඩායම මයිලෝ ද පෙරටු කරගෙන එම නිවෙසට ගියේ ඔහු කසිප්පු රැගෙන විත් සඟවා ඇති බවට ඇති වූ සැකයට අනුවය. එහෙත්... මයිලෝට කරන්නට දෙයක් ඉතිරිව තිබුණේ නැත. ඔහු මුලුතැන්ගෙට වී රැගෙන ආ කසිප්පු බොමින් සිටියේය.

ඒ වෙලාවේ මයිලෝ එම පුද්ගලයා දෙස බැලීය. ඒ.. කසිප්පු අල්ලන්නට බලන ලෙස නොව “මටත් චුට්ටක් දෙන්න පුලුවන් දැයි” විමසන විලාසයකිනි.

මත්ද්‍රව්‍ය එහා මෙහා ගෙන යාම පොදු මගී ප්‍රවාහන සේවා ඔස්සේ සිදුවන බව නොරහසකි. විශේෂයෙන්ම දුර ගමන් යන බස් රථ වලින් එහා කොනේ සිට මෙහා කොනට මත් ද්‍රව්‍ය ප්‍රවාහනය සිදු කෙරේ.

එදා යුද්ධය පැවති සමයේ උතුර - දකුණ වෛරක්කාරයන් වී සිටියත් දැන් උතුර දකුණ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යන බවට නිතර නිතර තොරතුරු ලැබෙන්නට තිබේ.
හබරණ හරහා දුර ගමන් බස් රථ මයිලෝ ලවා සෝදිසි කිරීමට පොලිසිය කටයුතු කළේ ඒ අනුවය.

පසුගිය විසි වැනිදා උදේ දහයේ සිට දොළහ වන තුරු හබරණ ඊරිගොය හන්දියේ මාර්ග බාධයකයක් යොදා ඒ හරහා යන බස් රථ සෝදිසි කිරීමට පියවර ගත්තේ පොලිස් පතිවරයාගෙන් ලද නියෝග වලට අනුවය.

ඒ කාල සීමාවේදී මෙම මාර්ග බාධකය හරහා බස් රථ හතරක් ගියේය. ඉන් තුනක්ම සෝදිසි කළ ද මත් ද්‍රව්‍ය කිසිවක් හමුවුණේ නැන. හතර වැන්න ලෙස පැමිණියේ යාපනය, කතරගම බස් රථයකි.
එහි මගීන් සියල්ලෝම බස්සවා ඔවුන්ගේ ගමන් මලු පොලිස් කණ්ඩායම පරීක්ෂා කරද්දී මයිලෝට පැවරුණේ බසයට නැඟ එහි අසුන් සෝදිසි කිරීමය.

මෙම බස් රථයේ එක් පසෙක දෙදෙනකුට හිඳ ගත හැකි ආසන තිබු අතර අනෙක් පස වුයේ තිදෙනකුට යා හැකි ආසනය. බසය මැද හරියේ තිදෙනකුට යා හැකි ආසනයක් ඉව කළ මයිලෝ ආසන වෙන්වන දාරය පහුරු ගාමින් සුරමින් කටින් ඇද අසුන කඩා දමන්නට උත්සාහ කළේය.

පරීක්ෂා කිරීමේදී අසුන් දෙක අතර අස්සේ සඟවා තිබු කුඩා ගංජා පාර්සලයක් හමුවිය. පොලිසිය මගීන් ට ඒ බවක් ඇඟවුයේ නැත. පොලිස් කණ්ඩායම පවසා සිටියේ බසයට ගොඩවන ලෙසය.
තම තමන් හිඳගෙන සිටි අසුන්වල සියල්ලෝම හිඳ ගනිද්දී ගංජා හසු වූ අසුනේ හිඳ ගත් පුද්ගලයාගෙන් පොලිසිය ඒ බව විමසන්නට විය.

ඔහු කියා සිටියේ තමා ගංජා රැගෙන ආවේ නැති බවය.

මොහු බසයෙන් බස්සවා ගත් පොලිස් කණ්ඩායම ඔහු හිඳගෙන සිටි ජනේලය පැත්තට වන්නට හිඳගෙන සිටි දෙදෙනාගෙන් මොහු ගේ හැසිරිම් රටාව ගැන විමසීය. එවිට ඔවුන් පවසා සිටියේ

පොලිසියෙන් බසය නවත්වා බසින්නට කියන විට අයිනේ සිටි දෙදෙනාම බැස යන තෙක් මොහු හිඳගෙන සිට පසුව බැස ආ බවයි.
පසුව... එම පුද්ගලයා මෙම ගංජා රැගෙන ආවේ තමා බව පිළිගත්තේය.

තක්ෂිලා ජයසේකර

නව අදහස දක්වන්න