මම හොරකම් කළත් මාත් හිරේ යන්න ඕන | දිනමිණ


 

මම හොරකම් කළත් මාත් හිරේ යන්න ඕන

දුමින්ද සම්පත්
වාරිමාර්ග, ජලසම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක

ආපදා සහන වැඩපිළිවෙළෙහි වත්මන් තත්ත්වය, නිල්වලා ව්‍යාපෘතියේ කොමිස් කතාව, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ චෝදනා, ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප කණ්ඩායම එල්ල කරන අභි‍යෝග ආදිය පිළිබඳ අදහස් දක්වමින් වාරිමාර්ග, ජලසම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිහමුවට එක්වේ.

* අපි තරම් කවුරුවත් නියං ආධාර දුන්නේ නැහැ
* ගාල්ලේ වතුර හම්බන්තොටට දෙනවට ගාල්ල කැමති වුණේ නැහැ
* නිල්වලා කොමිස් ගැන පරීක්ෂණ කළොත් සහය දෙනවා
* සමහරු මට බණින්නෙ ඊර්ෂ්‍යාවට
* ඇමතිකම් අරන් ප්‍රතිලාභ ගත් අය දැන් ආණ්ඩුවට බණිනවා

නියඟයෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්වෙලා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හැටියට පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් මොනවගේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරල තියෙන්නෙ?

අනුරාධපුර දිස්ත්‍රික්කය තමයි නියඟයෙන් වැඩිම පීඩාවට පත්වෙලා තියෙන්නෙ. අපි බලාපොරොත්තු වෙච්ච වර්ෂාපතනය තාමත් ලැබුණෙ නැහැ. පහුගිය කන්න හතරක් පහක්ම ගොවි මහතුන්ට වගාකරන්න බැරිවුණා. වගාව විතරක් නෙවෙයි පානීය ජලය ගැටලුවටත් අද ඔවුන් දැඩිව මුහුණ දෙනවා.

මේ ගැටලු විසඳන්න ගත්තු ක්‍රියාමාර්ග මොනවද?

ජනතාවගේ ගැටලු තනිවම ඔවුන්ට දරාගන්න දුන්නෙ නැහැ. ආපදා කළමණාකරණ අමාත්‍යාංශය 2017 ඉඳලම සහනාධාර දීමට කටයුතු කළා. 2017 මාර්තු, අප්‍රේල් විතරක් පවුල් පන්ලක්ෂ විසිතුන්දහසක් වෙනුවෙන් රුපියල් මිලියන 5230 ක සහනාධාර දුන්නා. 2017 අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් වෙන කොට පවුල් 7,40,000කට රුපියල් මිලියන 5100ක් වියදම් කළා. 2018 පවුල් 2,81,000ක් වෙනුවෙන් රුපියල් මිලියන 2014ක් වියදම් කළා. සහනාධාර ලබාදෙන්න විතරක් මේ වෙනකොට රුපියල් මිලියන 12434ක් වෙන්කරල තියෙනවා.

2018 පානීය ජලය ලබාදෙන්න විතරක් රුපියල් මිලියන 65කට ආසන්න මුදලක් මේ වෙන කොට වියදම් කරල තියෙනවා. 2017 ජලය ලබාදෙන්න රුපියල් මිලියන 125ක් වියදම් කළා. ජලය නොමැති ප්‍රදේශවලට ජල ටැංකි 11012ලබා දුන්නා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 91 වියදම් කළා. ජල බවුසර් 407ක් මේ වෙනකොටත් නියඟය තිබෙන ප්‍රදේශවල වැඩකරනවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 805ක් ලබාදුන්නා. රජයක් විදියට මේ ආපදා තත්ත්වයෙදි රුපියල් මිලියන 13519ක් දැනට වියදම් කළා. ඉතිහාසයෙ මෙවැනි සහනාධාර දුන්න ආණ්ඩුවක් තිබුණෙ නැහැ. අපිත් කලින් ආණ්ඩුවල හිටියනෙ. කලින් ආණ්ඩුවලින් මෙහෙම සහනාධාර ලැබුණෙ නැහැ.

ඔබ ඔය කියන්නේ කරපු වැඩ ටික ගැන. ඉදිරි ක්‍රියාමාර්ග මොනවද?

මේ සම්බන්ධව කැබිනට් මණ්ඩලයේදී කීප වතාවක්ම සාකච්ඡා කළා. සහනාධාර මුදල් නැවත අනුරාධපුර දිස්ත්‍රික්කයට ලබා දෙන්න රුපියල් මිලියන 700ක් පමණ අවශ්‍ය වෙනවා. මේ වෙනකොට අනුරාධපුර දිස්ත්‍රික්කයට මුදල් ලබාදුන්නා. විසිවෙනිදා මේ මුදල් ලබාදීම විලච්චියෙන් හා මනුප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ආරම්භ කළා. වගාකරගන්න බැරිවෙච්ච, ධීවර කර්මාන්තයෙ යෙදෙන්න බැරි වුණු ගොවිජනතාව වෙනුවෙන් බඩු මල්ලක් ලබා දෙනවා.

නියඟයෙන් ගොවීන්ගේ වගා හානියට පත්වෙලා. මේ වගාහානියට ආණ්ඩුව ලබාදෙන උත්තරය මොකක්ද?

කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ගොවි මහත්වරුන්වත්, වගා බිම් ටිකත් අපි රක්ෂණය කළා. ඒ හින්දා ඒ රක්ෂණ යෝජනාක්‍රමය යටතේ ඒ අයට වන්දි ගන්න පුළුවන්.

නිල්වලා ගඟ සහ ගිංගඟ යෝජනා ක්‍රමයෙන් විශාල කොමිස් මුදලක් ඔබටත් ලැබුණු බවට චෝදනා එල්ල වෙනවා?

තාමනම් මට ලැබුණෙ නැහැ. ඔය කියන කට්ටියගෙන්ම තමයි අහන්න ඕන.

මේ ව්‍යාපෘතියට මුදල් නිකුත් කිරීම ගැන පහුගිය කාලෙ ගැටලු මතුව තිබුණා. ව්‍යාපෘතියේ අලුත් තත්ත්වය කොහොමද?

මේ ව්‍යාපෘතිය ගැන පහුගිය කාලෙ දේශපාලන වේදිකාවෙත් කතා වුණා. කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරල 2009 දී මේ ව්‍යාපෘතිය ආරම්භ වුණේ. 2015 ජනවාරි 08 ඡන්දෙ තියෙන කොට 2015 ජනවාරි 07 මේ ව්‍යාපෘතියට රුපියල් බිලියන 4ක් නිකුත් කළේ කොහොමද කියන එක ගැන සැකයක් ඇති වුණා. මේ ගැන ප්‍රශ්න කළේ යහපාලන ආණ්ඩුවෙ පාර්ශ්වයමයි. ඒ ගැන FCID එකෙත් ජනාධිපති විමර්ශන කොමිසමේත් පරීක්ෂණ පැවැත්වුණා. දැන් මේ ව්‍යාපෘතිය කරන්න අපේ අමාත්‍යාංශයට ඇවිත් තියෙනවා. ගාල්ලෙ වතුර ටික හම්බන්තොටට දෙනවට ගාල්ලෙ දේශපාලනඥයො අති බහුතරයක් විරුද්ධ වුණා. ඔවුන් කිව්වෙ මේ හින්ද ගාල්ලට වතුර නැති වෙනව කියලා. අපි අගමැති තුමාගෙ ප්‍රධානත්වයෙන් මේ ගැන සාකච්ඡා කළා. ගාල්ලටත් ජලය ලැබෙන විදියට මේ ව්‍යාපෘතිය කරන්න. අගමැති තුමාගෙ කමිටුවෙන් තීරණය කළා. ජලමූලාශ්‍ර නැති නොවෙන විදියටත්, ගාල්ලට ජලාශ දෙකක් හදන්නත් ඉතිරි වතුර ටික හම්බන්තොටට දෙන්නත් පුළුවන් ව්‍යාපෘතියක් අපි හැදුවා. මේ ගැන අලුත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ නැත්නම් හම්බන්තොට ආර්ථික කලාපයට වතුරත් නැහැ. හම්බන්තොට ජනතාවට බොන්න වතුරත් නැහැ. මේ ව්‍යාපෘතිය අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක්.

එතකොට මේ කොමිස් මුදල් කතාව බොරුවක්ද?

මේ ගැන තවදුරටත් සැකයක් තියෙනව නම් විධිමත් පරීක්ෂණයක් නැවත පවත්වන එක හොඳයි. අපි අමාත්‍යාංශය හැටියට ඒ ගැන සම්පූර්ණ තොරතුරු අවශ්‍ය පරීක්ෂණයකදී දෙන්න ඉතාමත් කැමතියි. මේ ව්‍යාපෘතිය තවමත් ක්‍රියාත්මක නැහැ. තාමත් තියෙන්නෙ ගිය ආණ්ඩුව කාලෙ නිදහස් කරපු රුපියල් බිලියන 4 විතරයි. අලුතින් රුපියලක්වත් අපි වියදම් කරල නැහැ. අපි කළේ ගාල්ලට ජලය ලැබෙන විදියට මේ ව්‍යාපෘතිය වෙනස් කරල කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම විතරයි.

මේ චෝදනාව ඔබට කරන්නෙ හිටපු සන්ධාන මහලේකම්, සුසිල් ප්‍රේම් ජයන්ත මහත්තය.

එතුමා ගැන මම ඉතාම කනගාටුවෙනවා. එතුමයි මායි පාර්ලිමේන්තුවට එන්නෙ එකම අවුරුද්දෙ. එතුම මට වඩා වයසයි. මගෙ තාත්තටත් වඩා වයසයි. ඒ වුනාට අපි දෙන්නම. පාර්ලිමේන්තු ආවෙ 2000 අවුරුද්දෙ. වැඩිහිටි පුද්ගලයෙක් විදියට එතුම ගැන මට තියෙන්නෙ කනගාටුවක්.එතුමට මාත් මහින්ද අමරවීර ඇමතිතුමත් ගැන පුද්ගලික වෛරයක් ඇතිවෙන තත්ත්වයක් තමයි පේන්න තියෙන්නෙ. මේ ආණ්ඩුවේ මම පක්ෂ ලේකම් මහින්ද අමරවීර සන්ධාන ලේකම් වීමත් එක්ක අපි එක්ක පුද්ගලික වෛරයක් හදාගෙන තියෙනවා. ජ්‍යෙෂ්ඨ දේශපාලකයො හැමදාම කියන්නෙ දෙවෙනි පරම්පරාවක් හදනව, තරුණයන්ට අතදෙනව කියලනෙ. එහෙනම් මේ කියන වයසින් වැඩි ජ්‍යෙෂ්ඨයො තමන්ගෙ තරුණ පරම්පරාව හැදෙනකොට සතුටුවෙන්න ඕන නේද? එහෙම නැතුව තමන්ම මේකෙ අයිතිකාරයො වෙලා තමන්ම මැරෙනකම්ම මෙතන ඉඳල දෙවෙනි පරම්පරාවක් හදන්නෙ කොහොමද? අපිට වරදිනව නම්, හරියනව නම් ඒවාට සහාය ලබාදෙනව මිසක් විවේචනය නෙමෙයි වෙන්න ඕන. දරුවො ඉන්න තාත්ත­ා කෙනෙකුටත් ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒ අය කරන්න ඕන ඊළඟ පරම්පරාවට අතදෙන එකයි. කාත් එක්කවත් මට පුද්ගලික තරහක් නැහැ. එතුමගෙ ප්‍රකාශවලින් පේන්නෙ එතුම අපි ගැන වෛරයෙන්ඉන්න බවයි. එතුම අපිත් එක්ක එකට ඉන්නකොට ඕව කිව්වෙ නැහැ. හොඳට හිටිය.

කෘෂිකර්ම අමාත්‍යාංශයෙ බිල්ඩිම ගැනත් විවිධ ප්‍රකාශ කරල තිබුණා.

ඔව් ඒ කතා මටත් ඇහුණා. කෘෂිකර්ම අමාත්‍යාංශයෙ බිල්ඩිම ගන්න කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන කොට එතුම ඒ කැබිනට් එකේ හිටිය. එතකොට එතුම ඇමැති කෙනෙක්. ඒ මුදල් ගෙවන්න අනුමැතිය ගන්න කොට කෘෂිකර්ම ගොඩනැගිල්ල පාර්ලිමේන්තුවට බාර දෙන්න අනුමැතිය ගන්න කොට, ගෘහ භාණ්ඩ ගන්න මුදල් අනුමත කරන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන කොට, එතුම මේ කැබිනට් මණ්ඩලේ සාමාජිකයෙක්. එදා වචනයක්වත් කතා නොකර අද එහා පැත්තට ගිහින් මේ දේවල් කියන එකට රටම කනගාටුවෙනව ඇති.

ආණ්ඩුවට දැන් වැඩිපුරම දොස් කියන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයගෙ කණ්ඩායම නෙවෙයි. කැබිනට් මණ්ඩලයෙම හිටපු අයයි. එහෙම වෙන්නෙ ඇයි?

මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ කණ්ඩායමත් එක්ක අපිට තියෙන්නෙ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්. පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. අපට දොස් කියන්නෙ අපිත් එක්ක කැබිනට් මණ්ඩලේ ඉඳල ඇමතිවරු හැටියට ඉඳගෙන පඩි අරගෙන, රට සවාරි ගිහින්, යානවාහන, නිල නිවාස,පාවිච්චි කරල මේ ආණ්ඩුවෙම හිටපු කට්ටිය, අපේම කට්ටිය තමයි දෝෂාරෝපණය කරන්නෙ. ඒ ගැන කනගාටුයි.

මහා සංඝරත්නය පිළිබඳව මේ ආණ්ඩුවෙ ක්‍රියාකලාපය දැඩිව විවේචනයට ලක්වෙනවා නේද?

මහා සංඝරත්නය, බුදු දහම ගැන වැඩි තැකීමක් නැහැ කියන චෝදනාව අපිට එල්ලවෙනවා. ඒ කෙ කිසිම පදනමක් නැහැ. ව්‍යවස්ථාවට අනුව බුද්ධාගමට, සිංහල ජාතියට ලැබිල තියෙන කිසිම දෙයක් එක දශමයකින්වත් අපි අඩුකරන්නෙ නැහැ. ඒ ව‍ෙග්ම අපි අනෙකුත් ජාතීන්ටත් සැලකිය යුතුයි කියන කාරණාව ගැන කතා කරනවා. සියලුම ජාතීන් සතුටින් එකහා සමානව ශ්‍රී ලාංකික ජාතියක් හැටියට ගොඩනැඟීම තමයි අපේ බලාපොරොත්තුව. ව්‍යවස්ථාව ගැන කතා කරද්දි අපිට විවිධ චෝදනා එල්ල කළා. හැම අවස්ථාවකදීම අපි ඒ බොරු කතා ගැන කිව්වා. අද වෙනකොට ඒ කතා සියල්ල බොරු බවත් ඔප්පුවෙලා. දැන් ඒ ගැන කතාවක් වත් නැහැ. ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කරන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉදිරිපත්කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතියත් ලැබුණා. ඒ ගැන කවුරුවත් කතා බහ කරන්නෙ නැහැ. බෞද්ධකම ඇ‍‍ඟේ තවරගෙන පන්සල් ගිහිල්ලත් බොරු කියන අයත් මේ රටේ ඉන්නවා. පන්සිල් පද පහේ තියෙනවනෙ බොරු කියන්නෙ නැහැ කියල. හැබැයි පන්සලේ වේදිකාවෙ ඉඳගෙන බොරු කියන අයත් අපි දැකල තියෙනවා.

ආණ්ඩුව දැන් හොරු අල්ලන එක පැත්තකින් තියල වගෙයි?

මහින්ද රාජපක්ෂ මහත්තයව අයින්කරල මෛත්‍රීපාල සිරිසේන මහත්තයව ජනාධිපති පුටුවෙ වාඩි කෙරෙව්වෙ ඔළුගෙඩි මාරුවකට නෙවෙයි. මේ රටේ ක්‍රමවේදය වෙනස් කරන්නයි අපිට වුවමනා වුණේ. ගිය ආණ්ඩුවෙ හොරු ඇල්ලීම නෙවෙයි මේ ආණ්ඩුවෙ වගකීම. අපිට ඕන හොරකම් නොකරන රටක් බවට මේ රට පත්කරන්නයි. හෙට දිනයෙදි දුමින්ද හොරකම් කළොත් දුමින්දත් හිරේයන්න ඕන. පහුගිය ආණ්ඩුවෙ හොරුටික අල්ලල හිරේ දාල, මේ ආණ්ඩුවෙ කට්ටිය හොරකම් කරල ඊළඟ කට්ටිය ආවම මේ ආණ්ඩුවෙ හොරු හිරේ දාන යුගය අවසන් වෙන්න ඕන. හොරකම් කරන්න බැරි නීතිරීති ගේනන ඕන.

විශේෂ මහාධිකරණය හැදු‍ෙව දේශපාලන පළිගැනීම් කරන්න බවයි කියන්නෙ.

මේ විශේෂ අධිකරණයෙන් නඩු අහන්නෙ මේ රටේ නීති අණ පනත් අනුවයි. ඒව වෙනස් වෙන්නෙ නැහැ. හැබැයි අවුරුදු පහක් දහයක් ගිය නඩුව මාස තුනෙන් අහල ඉවර කරන්න මේ අධිකරණයෙන් කටයුතු කරනවා. ඒක විතරයි වෙනස. නඩු ප්‍රමාදය නිසා මිනී මරුවොත් බේරෙනවා. නඩුවෙ පැමිණිල්ලත් මැරිල සාක්කි කාරයොත් මැරිල නඩුව ඉවර වෙනකොට මේක වෙනස් වෙන්න ඕන නැද්ද? වැරදි කාරයන්ට ඉක්මනින් දඬුවම් දෙන්නත්. වැරදි නැත්නම් ඉක්මනින් නිදහස් වෙන්නත් මේක හොඳ අවස්ථාවක්.

නව අදහස දක්වන්න