සමනල තටු මගේ ජීවිතය වෙනස් කළා | දිනමිණ

සමනල තටු මගේ ජීවිතය වෙනස් කළා

වසර 13කට පෙර සම­නල තටු චිත්‍ර­ප­ටයේ රඟපෑ දුලාං­ජ­ලී ආරි­ය­ති­ලක

මම බලාපොරොත්තුවෙන් හිටියෙ 'ඒ'තුනක්. එහෙත් විෂයයන් දෙකක් එකම දවසේ වැටුණු නිසා පැය හයක් එක දිගට අකුරු ලිවීම අපහසු වුණා. අන්තිම ප්‍රශ්නය එහෙම පිටින්ම අත හැරියා. මොකද ඒ වනවිටත් පෑන ඇනිලා කකුලේ කෑල්ලක් කැඩිලා ගිහින් තිබුණා. ඒ නිසයි ඒ විෂයට 'බී' සාමර්ථ­්‍යයක් ලැබුණේ. ඒත් ඒ ගැන දුකක් නැහැ

හෙට ඔක්තෝ­්බර් පළමු වැනිදායි. හෙට දිනය මේ විශ්වයටම වැදගත් දිනයක් වන්නේ එය දරුවන්ට වෙන්වුණු ලෝක ළමා දිනය යෙදී තිබෙන නිසාවෙනි. වයස අවුරුදු දහ අටට අඩු ඕනෑම කෙනෙක් අපි දරුවන් යැයි හඳුන්වමු. මේ දරුවන් අතර විවිධාකාර දරුවෝ සිටිති.

එනම් පැහැයෙන්, ශරීර හැඩයෙන්, පමණක් නොව උපතින්ම ආබාධිත දරුවෝද වෙති. අපේ කතා නායිකාවත් උපතින්ම ආබාධිතය. එහෙත් ඇය ජීවිතය ජයගත් දිරිය දියණියක් ලෙස හැඳින්විය යුතුය. ඇය දුලාංජලී ආරියතිලක. නම කී සැණින් ඇයව මතකයට නැගෙන්නේ සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ 'සමනල තටු' සිනමා පටය සිහියට නැගෙන නිසාවෙනි.

ඇගේ රංගනය ඇතුළත් සමනළ තටු තිරගත වූයේ මීට වසර දහ තුනකට පෙරය. දැන් දුලාංජලී අවුරුදු විසි තුනක තරුණියකි. ඇයගේ නව තතු දැන ගැනීමට අපි කළුතර මාක් ශ්‍රී ළමා නිවාසයට ගියේ අනෙකුත් දරුවන්ට දුලාංජලී ආදර්ශමත් සොයුරියක නිසාවෙන් සහ ඇයගේ විසිතුන්වැනි උපන් දිනයට සුබ පතන්නත් හිතාගෙන.

"අද මට හරිම සතුටු දවසක්. වෙනදට මම මගේ උපන් දිනය සැමරුවේ ගෙදර කට්ටියත් එක්ක. අද ඔයාලත් ඉන්නවා."

"මම හිතන්නෙ මාව මේ රටේ බොහෝ පිරිසක් හඳුනාගත්තේ සෝමරත්න දිසානායක මාමාගේ සමනල තටු චිත්‍රපටයේ රඟපෑ නිසයි. ඇත්තම කියනවනම් ඒ චිත්‍රපටය තමයි මගේ ජීවිතය වෙනස් කෙළේ. දැනට අවුරුදු දහතුනකට පමණ පෙර තමයි එම චිත්‍රපටයේ රඟපෑවේ. එවිට මගේ වයස අවුරුදු නමයක් විතර ඇති.

ඒ වනතුරු මම පාසල් ගියේ නැහැ. මම විතරක් නෙමෙයි අපේ නිවාසෙ අනික් සහෝදර සහෝදරියනුත් පාසල් ගියේ නෑ. සමනල තටු චිත්‍රපටයේ රඟපෑමෙන් පසු තමයි පාසල් යන්න අවස්ථාව ලැබුණේ. මොකද ඊට පෙර පාසල් යන්න අපිට බයක් දැනුණා. නමුත් චිත්‍රපටයේ රඟ පෑමත් සමග පාසල් යන්න බියක් ඇතිවුණේ නැහැ.

දුලාංජලී කතාව කියාගෙන යයි. ඇය අසලට තවත් රෝද පුටුවකින් ඇගේ සොයුරු චමීර එයි. ඔහුත් ඇය මෙන්ම ආබාධිතය. මොවුන් දෙදෙනාම දැන් ජීවිතයේ ලොකුම කඩ ඉම සමත්ව තිබේ. ඒ සරසවි අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් සපුරා තිබීමයි. දුලාංජලීගෙන් මල්ලීට නියෝගයකි. "මල්ලී කියන්න ඔයා ගැනත් අපි කොහොමද මුල් කාලෙ ඉස්කෝලෙ ගියේ කියලා". චමීර උත්තර බඳින්නට සැරසෙයි.

"මට දැන් අවුරුදු විසි දෙකයි. අක්කට විසි තුනයි. අපි දෙන්නම පාසල් ගියේ කටුකුරුන්ද රෝමානු කතෝලික විදුහලට. අපි මුලින්ම පාසලට ගිය දවසෙ ගුරුවරු වගේම ළමයින් පුදුමයෙන් අපි දිහා බලාගෙන හිටියා. අපිට ඒක දරාගන්න බැරිවුණා. ඒත් අපේ නැන්දා අපි පාසලෙන් ඇරෙන තුරුම අපි ළඟට වෙලා හිටියා. හැබැයි නැන්දට එහෙම ඉන්න වුණේ දවස් දෙක තුනයි. ඊට පස්සෙ අපේ යාළුවන් පාසල ඇරෙන තුරුම අපිව බලාගත්තා"

දුලාංජලී මල්ලීට කතා කරන්න ඉඩ දී ඇගේ විදුලි පුටුවෙන් වේගයෙන් පොත් රාක්කය දෙසට ඇදෙයි. එයින් පොතක් අතට ගත් ඇය එය කිවන්නට පටන් ගනු බලා සිටි මම ඇය අසලට ගියෙමි. මම ඇගෙන් පොත ඉල්ලාගෙන පෙරලා බැලුවෙමි. අලංකාර වටකුරු අකුරු සිත්ගන්නා සුළුය. ශාන් ඔහුගේ කැමරාවෙන් ඒ අකුරු ඡායාරූප ගත කරයි.

'දෝණි කොහොමද මේ තරම් ලස්සනට අකුරු ලියන්නේ' මගේ පැනයත් සමඟ ඇය දඟකාර සිනාවක් මුවට නංවා ගත්තාය . එයට ඇය දුන් ආදරණීය පිළිතුරු ඇය ගැන ඇති ආදරය තවත් වැඩි කරයි.

"මගේ අත් දෙක නැති නිසා පුංචි කාලයේ සිටම කකුල් දෙකෙන් තමයි සියලුම වැඩ කරන්නේ. සංගීත භාණ්ඩ ප්ලේ කිරීම, අකුරු ලිවීම සහ තවත් ගොඩක් දේවල් කරනවා. උසස් පෙළ දක්වාම සියලුම ඉගෙනුම් වැඩවලට අදාළ සටහන් ලිව්වේ කකුලෙන්. එහෙම ලියල තමයි සාමාන්‍ය පෙළ විභාගයෙන් 'ඒ'සාමාර්ථ්‍ය හයක් , 'බී' සාමර්ථ­්‍යයක්, සහ 'සී' සාමාර්ථ්‍ය දෙකක් ලබා ගත්තේ. ඉන් පස්සේ උසස් පෙළට ක්‍රිස්තියානි ධර්මය, ජනමාධ්‍ය සහ ඉතිහාසය හැදෑරුවා. ක්‍රිස්තියානි ධර්මයට සහ ඉතිහාසයට 'ඒ 'සාමාර්ථ්‍ය දෙකක් සහ මාධ්‍යයට 'බී 'සාමාර්ථ්‍යයක් අරගෙන විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබුවා. මම බලාපොරොත්තුවෙන් හිටියෙ 'ඒ'තුනක්. නමුත් විෂයයන් දෙකක් එකම දවසේ වැටුණු නිසාවෙන් පැය හයක් එක දිගට අකුරු ලිවීම අපහසු වුණා. අන්තිම ප්‍රශ්නය එහෙම පිටින්ම අත හැරියා. මොකද ඒ වනවිටත් පෑන ඇනිලා කකුලේ කෑල්ලක් කැඩිලා ගිහින් තිබුණා. ඒ නිසයි ඒ විෂයට 'බී' සාමර්ථ­්‍යයක් ලැබුණේ. ඒත් ඒ ගැන දුකක් නැහැ"

ඇය මදෙස බලා සිනාසෙයි. කුමක් කියන්නද? ඇය අත පය හොඳට ඇතිව ඉපදුණු අප වැන්නන්ට ආදර්ශයකි. ඇයගේ ඇඳ අසලම පොත් රාක්කයේ ඉංග්‍රීසි, සිංහල, පොත් පත් රැසකි. ඒ ගැන අසන්නට පෙරම ඇය නැවතත් ඉතා කඩිසරව විදුලි පුටුවෙන් එදෙසට ගමන් කරයි.

"මේ මගේ පොත්. අපේ ගෙදරට එන හැම කෙනෙක්ගෙන්ම මම ඉල්ලන්නෙ පොත්. දවසකට එක පොතක් කියවනවා. මේ දවස්වල පොත් කියවීම වැඩියි විභාගය අවසන් නිසා"

සමනල තටු චිත්‍රපටයේ රඟපෑව කාලය මතකද?" මම ඇගේ මතකය අතීතයට ගෙන යන්නට ප්‍රශ්නය ඇසුවෙමි.

'හොඳට මතකයි. එතකොට මට වයස අවුරුදු නමයයි. අපි මාසයක් නුවර ෂුටින් කළා. කොළඹ සති තුනක් ෂූටින් කළා. සුමින්ද මාමා, දුලීකා නැන්දා, සෝමරත්න මාමා, රේණුකා නැන්දා, දසුන් අයියා එක්ක හරිම සතුටෙන් තමයි ඒ දවස් ගෙවුවේ. ෂූටින් අතර වාරයෙත් ෂූටින් නැති වෙලාවටත් මමයි, දසුන් අයියයි රණ්ඩු කරනවා. එක සැරයක් අපි දෙන්නව බයිසිකලයෙන් වැටුණා. ඒක නම් හරිම ලස්සන අත්දැකීමක්. දැන් දසුන් අයියා ගොඩක් ලොකුයි. සමහර වෙලාවට කෝල් කරල විස්තර අහනවා. සුමින්ද මාමත් අසනීපෙන් සිටින නිසා බලන්න ගියා"

දුලාංජලී නොනවත්වා කියාගෙන යන්නීය. නැවතත් පැනයක් අසන්නට සිත දුන්නත් ඇය කතාව නොනවත්වයි.

මම කවදාවත් අද ඉන්න තැනට එන්න ලැබෙයි කියල හීන මැව්ව කෙනෙක් නෙමෙයි. නමුත් මටත් හීන තිබුණා. පුංචි කාලෙ සිටම එක එක හීන මැව්වා. රඟපාන්න ලැබුණෙත් එහෙමයි. එඩ්වඩ් ජයකොඩි සර්ගෙන් සංගීතය හැදෑරූ කාලෙ ඔහුගේ මාර්ගයෙන් තමයි සමනල තටු චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව හිමිවන්නේ. සෝමෙ මාමා මට එක එක විදිහට ඇක්ට් කරලා පෙන්නන්න කීවා. මමත් ඒව හරියටම කළ නිසා තමයි මාව චිත්‍රපටියට තෝරා ගත්තා කියා පණිවුඩයක් ලැබුණේ. එදා නම් අපේ ගෙදර හැමෝටම පුදුම විදිහට සතුටුයි. මම හිතන්නේ සමනල තටු වෙන්න ඇති මගේ පළමු සහ අන්තිම රංගනය'

චමීර මල්ලී නැවතත් දුලාංජලී අක්කා අසලට පැමිණෙයි. දෙන්නා මොනවාදෝ කසු කුසු ගාමින් සිනාසෙයි.

"දෙන්නම දැන් අනාගතේ කවුරු වෙන්නද හීන මවන්නේ'මම දෙදෙනාටම අදාළව ප්‍රශ්නයක් ඇසුවෙමි. චමීරගෙන් පිළිතුරකි.

"මම පුංචි කාලෙ නම් ලොකු වුණහම ලොතරැයි විකුණන කෙනෙක් වෙන්න තමයි හිතුවෙ. දැන් නම් පරිගණක ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න ආසයි. අක්ක නම් කාලයකට කියනවා ලෝයර් කෙනෙක් වෙනවා. තව කාලයකට නිවේදිකාවක් වෙනවා කියනව. දැන් නම් මොනව කරනවද කියල හරියට කියන්නෙ නැහැ. මේ දවස්වල අපි දෙන්නම ඕපන් යුනිවර්සිටි එකේ එච්.ආර්. (මානව සම්පත් ) කෝස් එකක් කරනවා. අක්ක කරන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්, මම සිංහල මාධ්‍යයෙන්."

ඔවුන්ගේ අනාගතය පැහැදිලිය. ඔවුන් තමන්ගේ අනාගතය ගැන මැවූ හීන ඉටුවෙමින් තිබේ. දුලාංජලී‍ට මොන හීනය හැබෑ කරගත්තත් තවමත් ඇය තුළ සිටින රංගන ශිල්පිනිය සැඟව ගොසින් නැත. එයට කදිම නිදසුන කාමරය පුරා අලවා ඇති නළුවන්ගේ ඡායාරූප පෙළයි .

"මම කැමැති නළුවන් තුන් දෙනෙක් ඉන්නවා. ටොම් හිට්ල්සන්, බෙනඩික් සහ සාරංග දිසාසේකර. ඉස්සර නම් ශාරුක් ඛාන්ටත් කුල් මෙහෙතාටත් කැමැතියි. දැන් නම් වැඩිපුරම කැමැති සාරංග අයියට."

ඇය ඉතා මිත්‍රශීලීය. ඒ වගේම කඩිසරය. එකතැන විනාඩියක් සිටිය නොහැකිය. ඇගේ විදුලි පුටුව ඇසිපිය ගසන වේගෙන් එහෙට මෙහෙට දුවයි.

"ගණන් ගන්න එපා මට ටිකක් පිස්සු කියල අපේ ගෙදර කට්ටිය දන්නවා. නිකන් ඉන්න වෙලාවට ෆිල්ම් බලනවා. සින්දු අහනවා, පොත් කියවනවා, ටී.වී බලනවා . ඕව තමයි මගේ වැඩ. අපි නිතරම ට්‍රිප් යනවා. ගිය මාසෙත් ට්‍රිප් එකක් ගියා. පාප් වහන්සේ ලංකාවට ආපු අවස්ථාවෙ මගේ හිස අත ගා ආශිර්වාද කළ අවස්ථාව නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඒ වෙලාවෙ මම හිටියෙ පියවි සිහියෙන් නෙමෙයි. ඒක වචනයෙන් කියන්න බැරි අවස්ථාවක්"

මගේ මුහුණු පොතේ යහළු යෙහෙළියන් හයසීයක් විතර ඉන්නවා. ඒ අය අතර එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය රටවල මිතුරු මිතුරියන් ඉන්නවා. ඔවුන් ලංකාවට ආවම මාව බලන්න එනවා. හොඳම යාළුවො ඉන්නේ තුන්දෙනයි. ඒ අය නිසයි මම ආසාවෙන් පාසල් ගියේ. ඒ සියලු දෙනාටත්, මාව බලාගන්න නැන්දා සහ පියතුමා ඇතුළු අපේ ගෙදර හැම දෙනාටම ස්තූතියි".

දුලාංජලී මේ වන විටත් සිතන්නේ විශ්වවිද්‍යාලයට අැතුළු වු සිසුවියක ලෙසිනි. ඇය ක්‍රියා කරන්නේ ද එලෙසින් සිතාගෙනය. නමුත් ඇයටත්, චමීරටත් අධ්‍යාපනය ලබන්නට ගැටලු රැසක් ඇති බව ළමා නිවාසය භාරව කටයුතු කරන ප්‍රසන්න ක්‍රිස්ටෝපර් පෙරේරා පියතුමා පවසයි. පියතුමා පවසන පරිදි විශ්වවිද්‍යාලයට වරම් ලැබුවත් දුලාංජලී රැකබලා ගන්නේ කවුරුන්ද? ඇය පඩිපෙළ මතින් පන්ති කාමරයට ගමන් කරන්නේ කෙසේද? ඇයගේ වගකීම් කවුරුන් දරන්නේද? ඒ සියලු පැනයන්ට තවමත් පිළිතුරු නැත. එහෙත් මේ දිරිය දියණිය තවමත් බලාපොරොත්තු දල්වාගෙන සිටී. ඇයගේ බලාපොරොත්තු ඉටු කරන්නට කවුරුන් හෝ පිහිට වනවා නම් එය උතුම් දෙයකි. 

නයනා වෑත්තෑව ඡායාරූප - ශාන් රූපස්සර


නව අදහස දක්වන්න

Or log in with...